2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

කෙනෙහිලිකම් ඉවසන්නේ නැහැ මම කුඹුරු කොටන්න ගමට යනවා

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3898

ලක්ෂ 3 1/2 පඩිය දාලයි ආවේ
ගෙවන වැටුපවත් අනුමත කර නැහැ
මට බනින්නේ වැරදි වහගන්නයි


ආණ්ඩුවෙන් තමාට සිදුවන කෙනෙහිලිකම් තවදුරටත් පැවතුණහොත් විශ්‍රාම යනතුරු බලා නොසිට තනතුර අතහැර දමා ගමට ගොස් කුඹුරු කොටන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

තමා රැපියල් 69,000/-ක මාසික වේතනයකට මෙම තනතුරට පැමිණියේ මුලින් දැරූ තනතුරේ මසකට රුපියල් ලක්ෂ 3 ½කට අධික වැටුප පවා නොසලකා හැර බව පවසන විගණකාධිපතිවරයා තමා බලාපොරොත්තු වූයේ මුදල් පිළිබඳවම නොසලකා ජනතා සේවයට කැපවීමේ අදිටනින් කටයුතු කිරීම බවද කියයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම් දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන් හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

තමාට දැනට ගෙවන වැටුප පවා නිත්‍යනුකූල භාවයට පත්වී නොමැති අතර තමා තනතුරට පත්ව මාස 14ක කාලයක් ගියත් තම වැටුප පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව ඔහු කීවේය. ඒ නිසා තම වැටුප් මුදල් වෙනම ගිණුමක පවත්වාගෙන යන බවද විගණකාධිපතිවරයා හෙළි කළේය.

මේ රටේ කිසිදු විගණකාධිපතිවරයකුට තමාට තරම් විරුද්ධවාදිකම් ඇතිවී නොමැති බව පවසන හෙතෙම තම වයස අවුරැදු 60 පිරීමට ඇත්තේ තවත් අවුරුදු 2 මාස 2ක පමණ කාලයක් බව කියයි. එම කාලය තුළ පාරදෘශ්‍ය භාවයෙන් සහ ස්වාධීනව තම රාජකාරි කරන අතර කුමන බලපෑම් පැමිණියත් කිසිවිටෙකත් මෙම තනතුර දේශපාලනීකරණය නොකරන බවද පවසයි.

යසවර්ධන රුද්රිගු |