2017 ජනවාරි 21 වන සෙනසුරාදා

අාහාර හිඟයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:33 240

උග්‍ර නියඟය දිස්ත්‍රික්ක 17ක් කළඹයි


හැට වසරකට පසුව මෙරටට බලපෑ දැඩි නියඟය හේතුවෙන් ඉදිරි කාලයේදී රටේ දැඩි ආහාර හිඟයක් ඇතිවීමේ අනතුරක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි. 

මේ ගැන ප්‍රබල අනාවැකියක් පළකළ රජයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් සඳහන් කළේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බැවින් ජනතාව කොස්කොළ, ක්‍රෝටන් කොළ සහ කෝප්ප කොළ අනුභවයට පවා සූදානම් විය යුතු බවය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය තවත් ප්‍රබල ජාත්‍යන්තර ආයතන ගණනාවක් නියං අවදානම ගැන පර්යේෂණාත්මක තක්සේරු කිහිපයක් මේ වනවිට සිදුකර තිබේ. නියඟය තවදුරටත් උග්‍ර වුවහොත් එහි ඍජු බලපෑම එල්ල වන ජන සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවනු ඇති බවට මෙම සංවිධාන පුරෝකථනය කර ඇත. එම ලක්ෂ 20න් දස ලක්ෂයකට පමණ දිනකට එක් ආහාර වේලකට වඩා සපයා ගැනීම දුෂ්කර වීමෙන් තත්ත්වය බරපතළ විය හැකි බවටද මෙකී සංවිධාන කල්තබා අනතුරැ අඟවති. මෙයට පිළියම් යෙදීමට එ.ජා. සංවිධානය දැනටමත් රජය සමඟ සාකච්ඡා කර ඇත.

අප වෙත වාර්තා වන දත්ත අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් ලක්ෂ 10 කට අධික පිරිසකට නියඟයේ ඍජු බලපෑම් එල්ල වී තිබේ. රජරට පළාතේ දිස්ත්‍රික්කවල හා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟයක් හටගෙන ඇත. කළු ගඟෙන් ජලය සැපයෙන ප්‍රදේශ ගණනාවකට මුහුදු ලවණ ජලය මිශ්‍ර වීමෙන් මේ ප්‍රශ්නය උද්ගත විය.

ජල හිඟය උග්‍ර ප්‍රදේශවල අලුතින් නළ ළිං 400ක් ඉදිකිරීමටත් තිබෙන ළිං 1000 ගැඹුරැකොට අලුත්වැඩියා කිරීමටත් ජල සම්පාදන අමාත්‍යංශය සැලැසුම් කර ඇත.

පවතින තත්ත්වය යටතේ උග්‍ර වන නියඟයට මුහුණදීමට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක් පමණ අවශ්‍ය වෙතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේශකයෝ දේශයට කීහ. පවතින ආහාර හිඟයට පිළියම් ලෙස අවම වශයෙන් මසකට හාල් මෙට්‍රික් ටොන් 1,50,000ක් පමණ ආනයනය කළ යුතුව ඇති අතර විදුලිය නිෂ්පාදනය සඳහා අමතර ඉන්ධන තොග ආනයනයටද සිදුවෙයි. දළ ඇස්තමේන්තු අනුව අමතර ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණද සහල් හා සෙසු ආහාර පාන ආනයනයට තවත් ඩොලර් මිලියන 500ක් පමණද වැය කිරීමට සිදුවීම අනපේක්ෂිත අර්බුදකාරී තත්ත්වයකි. මේ ගැන පිළියම් යෙදීමට ජනාධිපතිවරයා දැනටමත් කාර්යසාධන බළකායක් ස්ථාපිත කර ඇති අතර ත්‍රිවිධ හමුදාවද හදිසි සේවා සැපයුම් සඳහා කැඳවා තිබේ.

| දේශපාලන වාර්තාකරු

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00