2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ඇමැති 2කට එරෙහිව ශ්‍රීලනිප කැරැල්ලක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 696


රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු රජයේ යහපාලන සංකල්පයට පටහැනි ලෙස තම පෞද්ගලික අභිමතාර්ථ උදෙසා ක්‍රියා කරන බැවින් ඔවුන් ගැන වහාම සොයා බලා කඩිනමින් දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

ජනපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් කැඳවා රජයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නට පැවති සමාලෝචන රැස්වීමකදී මෙම චෝදනාත්මක පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ජාතික ආර්ථික ක්‍රියාවලියට හා ප්‍රධාන ජාතික සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ විෂයන් දෙකක් භාරව සිටින මෙකී අමාත්‍යවරුන්ට චෝදනා නගා ඇති ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් මෙකී අමාත්‍යවරුන් දෙදෙනා කරන කියන කටයුතු ගැන දීර්ඝ ලෙස කරුණු දක්වා වහාම ඔවුන්ගේ විෂයයන් වෙනස් නොකළොත් රජය අනතුරට පත්වන බවද සඳහන් කර ඇත. මේ ගැන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසද ඔවුන් ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම පැමිණිල්ලෙන් දින දෙකකට පසු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා පැයකට අධික කාලයක් පෞද්ගලික සාකච්ඡාවක් කර තිබේ. ඒ සඳහා සහභාගි වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණි. මේ හමුවේදී සාකච්ඡා කළ දේ මාධ්‍යයට අනාවරණය වී නැතත් ඉදිරියේ කළ යුතු වෙනස්කම් ගැන ජනපතිවරයාගේ මතය අගමැතිවරයාට දන්වා ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

I දේශපාලන වාර්තාකරු