2017 ජුලි 01 වන සෙනසුරාදා

ඩෙංගු කීටයන් අල්ලා දුන්නොත් සල්ලි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259


ඩෙංගු කීටයන් සිටිනා ස්ථානයකින් එම කීටයන් අල්ලා රජය විසින් නියමකරන මධ්‍යස්ථානවලට බාරදෙනු ලබන පුද්ගලයන් වෙත විශේෂ මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රජයට යෝජනා කර ඇත.

ඩෙංගු රෝගය උත්සන්න වන නිසා එය මර්දනය කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම යෝජනාව තමන් විසින් රජයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දේශයට පැවසීය.

ඩෙංගු අධි වසංගතයක් ලෙස පැවති පාකිස්ථානය තුළද එය මර්දනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ බවද එරට රජයෙන් එසේ ඩෙංගු කීටයන් රැගෙන එන්නකු හට මෙරට වටිනාකමින් රුපියල් 2000ක මුදලක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

රජය හඳුන්වාදෙනු ලබන ස්ථාන වෙත එම කීටයන් ගෙනවිත් බාරදුන් පසු ඩෙංගු මර්දනය සඳහා පත්කරනු ලබන විශේෂ ඒකකය එම ස්ථානයට ගොස් අදාළ ස්ථානයේ ඩෙංගු කීටයන් විනාශ කොට ආරක්ෂිත තැනක් බවට පත්කිරීමේ හැකියාව ඇති බවත් අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් මෙය යෝජනාවක් ලෙස දැනට රජයට ඉදිරිපත් කර ඇති බවත් ඊට අමතර ධූමායන යෙදීම, බැක්ටීරියා යෙදීම වැනි කටයුතු සිදුකරන බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය.

I ගයාන් ගාල්ලගේ