2017 ජුනි 17 වන සෙනසුරාදා

දෙමළ සන්ධානය ශ්‍රීලනිපය ගැටුමක - සම්පන්දන්ට නිමල් සිරිපාල බෑ කියයි

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 371


පළාත් සභාවල දැනට තිබෙන බලතල වෙනුවට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ලබාදිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම ශ්‍රීලනිපය මගින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද බව දේශයට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී විපක්ෂනායක ආර්. සම්බන්ධන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සම්පාදන කණ්ඩායමේ නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර දැඩි මත ගැටුමක් ඇති වී ඇත.

ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා ප්‍රජාවේ තානාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ප්‍රමුඛ පක්ෂ නායකයින් සමඟ තත්කාලීන දේශපාලනය සම්බන්ධව පසුගිය අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී තිබේ.

එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ගැන පුළුල්ව සාකච්ඡා කර ඇත. විපක්ෂනායක සම්පන්ධන් මහතා පළාත් සභාවලට පුළුල් බලතල ඉල්ලා ඇත්තේ මෙහිදීය. ඊට අමතරව නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බවද සම්පන්ධන් මහතා කියා තිබේ. තවත් එවැනි යෝජනා ගණනාවක් ඔහු ඉදිරිපත් කර ඇතත් ඒ සියල්ලටම නිමල් සිරිපාල මහතා සිය විරෝධතාවය දක්වා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය බරපතළ අර්බුදයක් බවට පත්වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

I ගයාන් ගාල්ලගේ