2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අවුරුදු කාලේ අලකලංච්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 130

මේ අවුරුද්දත් සුබදායක ලෙස ගෙවී ගියේය. වසර 30ක කාලයක් දිග ඇදී ගිය යුද්ධය නිසාම රටේ බොහෝ දෙනාට අමතකව තිබූ එසේම එක් පරම්පරාවකට මුළුමනින්ම ආගන්තුක ලෙසින් දිස්වූ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැවතත් පණගසා එමින් තිබේ. නමුත් රජරට නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඒ නිසා සිය නෑසිය මිතුරන් අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිසකට තාමත් අවුරුදු උදාවී නැත. දැන් දැන් වසංගත බවට පත්වෙමින් ඇති උණ රෝගයේ බිලි බවට පත්වූ අයගේ පවුල්වල උදවියටද එසේය. ඒ හැරෙන්නට මෙදා රටේ අනෙක් කවුරුත් ඇති හැකි හැටියට අවුරුදු කෑහ. එසේ වුවත් රටේ කාටත් අවුරුදු, අනේ, ආයෙත් එපා යැයි සිතුණු අවස්ථාද අතීතයේ උදා වී නැත්තේ නොවේ.

ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසාන සමයයි. මේ අවුල්කාර යුද්ධයේ හවුල්කාරයන් වීමට එකල ලංකාවටද සිදුව තිබුණි. යුද්ධයේ අන්තිම කාලයේ එහි අනිටු ඵලවිපාක විඳින්නට ලංකාවට සිදුවූයේ එහෙයිනි. ඒ සමයේ ලංකාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් හැටියට කටයුතු කළේ සර් ඔලිවර් ගුණතිලකය. අවුරුදු මාසයේ මුල වනවිට ජපනා ලංකාවට බෝම්බ දමන්නට සැරැසෙන බවට ආරංචි පැතිර ගියේය. ලංකාවේ ප්‍රධාන අණදෙන හමුදාපති ලෙස අද්මිරාල්, සර් ලේටන් නමැති හිතුවක්කාර කටකාර නිලධරයා ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් පත්ව සිටියේය. අන්තිමේදී ජපනා බෝම්බ දැමීමෙන් රට බේරාගන්නට වැඩපිළිවෙළ සකස් කරන්නට වූයේ සර් ඔලිවර් ගුණතිලක හටය.
1942 වසරේ අප්‍රේල් 4 වැනිදා රාත්‍රී අටට පමණ රජගෙදරින් සර් ඔලිවර්ට පණිවුඩයක් ආවේය. හදිසි අවස්ථා රුස්වීමකි. ජපනුන්ගේ යාත්‍රා කොළඹ බලා එන බවට ආරංචි ලැබී තිබුණි. මුලින් උඩින් බෝම්බ දමා පසුව දහස් ගණනින් මුහුදින් අවුත් පහරදීම ජපනාගේ එකල යුධෝපාය විය. මේ නිසා බෝම්බ ප්‍රහාරයකට රට සූදානම් කිරීමේ වගකීම සර් ඔලිවර්ගේ කර මතට වැටුණේය.

ජපනුන් එන බවට අඬබෙර ගසා ජනතාව කුලප්පු කරගත්තා මෙන් නොව නිකමට හෝ ජපනා කී වෙලාවට නාවොත් සිද්ධවෙන්නේ මහත් අලකලංචියක් බව ඔහු දැන සිටියේය. සැබෑවටම ජපනා ආ දවසට ආණ්ඩුවෙන් කෙරෙන අනතුරු ඇඟවීම් ගණන් නොගෙන සිටින්නට ලංකාවේ මිනිසුන් පෙළඹෙනවා නියතය. මේ නිසා සර් ඔලිවර් කළේ බෝම්බ වලින් වැළැකීමේ පෙර සූදානම් පරීක්ෂාවක් කරන බවට රාවයක් පතුරුවා හැර පසුදා පාන්දරින්ම අනතුරු ඇඟවීමක් කිරීමට සියලු අංශවලට උපදෙස් දීමය.

ඊළඟ දිනය පාස්කු ඉරිදාය. මේ නිසා කොළඹත් අවටත් බොහෝ කතෝලිකයන් ඔය කියන අප්‍රේල් 05 වැනිදා උදෑසන සිටියේ පල්ලි තුළය. ඔවුන් පල්ලියාම වාසියක් ලෙස සලකාගත් සර් ඔලිවර් පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙන අතරතුර ගුවන් බෝම්බ අනතුරැ ඇඟවීම සිදුකර එළියේ සිටි අනෙක් උදවියද කලින් තෝරාගත් ආරක්ෂක ස්ථාන වෙත ගාල් කළේය. පල්ලිවල පූජකවරු ජනතාව ඒ තුළම රඳවා තබා ආරක්ෂා කළහ. හරියටම එදාම උදෑසන හතයි පනහ වනවිට ජපන් යාත්‍රා කොළඹට ඇතුළුව රත්මලාන දෙසට ගමන් ගත්හ. එක පෙළකට පහ බැගින් සැකැසුණ යානා 85ක බලඇණියක් කොළඹට බෝම්බ හෙලන්නට වූහ. රාජකීය ගුවන් හමුදාව ප්‍රතිප්‍රහාර ඇරඹීය. ආසියාවේදී ජපනුන්ගේ පළමු පරාජය සටහන් කරමින් යානා 31ක් බිම හෙලන්නට ලංකා හමුදාවට හැකියාව ලැබුණි. ජපනුන්ට ගිල්වා දමන්නට හැකිවූයේ හෙක්ටර් නමැති බඩු නැවත් මෙන්ඩෝස් නමැති යුද නැවත් පමණි. ඈත මුහුදේ තිබූ කොන්වෝල් සහ ඩොමෙස්ටර් යුද නැව්ද ගිලා බැස්සේය. අංගොඩ මානසික රෝහලේ උඩ තිබූ චිමිනිය දැක එය විදුලිබලාගාරයක් ලෙස වරදවා ගත් ජපන්නු එයට බෝම්බ දැමූ අතර එහි සිටි රෝගීන් 50ක් පමණ මිය ගියහ.

මේ සිද්ධියත් සමඟම මුළු කොළඹම පාළු වී ගියේය. අප්‍රේල් 7 වනවිටදී වරායේ වැඩද ඇණහිටියේය. ඉන්දියානු දෙමළ මුස්ලිම් වෙළඳ අධිකාරියක් බවට පත්ව තිබූ කොටුවේ මහා කඩසාප්පු මන්දිර වසා දමා ඒ බොහෝ අය රටිනුත් පිටව ගොස් සිටියෝය. විශාල තොග කඩ 78ක්ම වැසී ගියෙන් ආහාර ආහේනියක්ද හටගත්තේය. ඒ අතර කොල්ලකරුවෝ පාළු ගෙදර වළං බිඳින්නට මෙන් වැඩට බැස උන්හ. ඒ අතර අප්‍රේල් 9 වැනිදා ජපන්නු ත්‍රිකුණාමලය වරායටද නැවත බෝම්බ හෙලූහ. මේ නිසා මුළු රටම යුද බියෙන් ත්‍රස්ත වූ අතර ජනතාවට අවුරුද්ද සහමුලින්ම අමතකව ගියේය. ආහාර හිඟයක ලකුණු පහළ වූයේ වෙළෙඳුන් බඩු තොග සැඟවීමත්, කඩ වසා රටින් පලා යාමත්, කොල්ලයත් නිසාය. වහා මාෂල් ලෝ නීතිය පැනැවූ සර් ඔලිවර් මේ අවුරුදු සමයේ රටපුරා ආහාර බඩු බෙදන්නට යැයි අණකරමින් එවකට කොළඹ පදික වේදිකාවේ වෙළඳාමේ නියුක්තව සිටි නිර්භීත තරුණ අයට කඩ බෙදා දුන්නේය. එතැන් සිට ඒ කඩ ඔවුන්ගේ බුක්තියට සවි වූ අතර ලංකාවේ අලුත් වෙළඳ ප්‍රජාවක් බිහිවිය. එසේම එදා අවුරුදු අහිමිව ගියද ලංකාවේ ජනතාවට රටපුරා විහිදුණු සමුපකාර තොග වෙළෙඳසල් ජාලයක හිමිකම ලැබුණි. බෝම්බ වැටෙන විට මුළු රටේම සමුපකාර තිබුණේ 52කි. ඉන්පසු එය බලා සිටියදීම මෙන් 1945 වනවිට එනම් අවුරුදු තුනකින් හාර දහසකටත් වඩා වැඩි සංඛ්‍යාවක් බවට පත්විය. ඉතින් 1942 අවුරුදු අලකලංචිය ලංකාවේ අලුත් මුදලාලි පැලැන්තියක් බිහි කළේ ආර්ථිකය උඩු යටිකුරු කරමිනි.
දාහත් වන සියවසේදී රටේ මුහුදු බඩ ප්‍රදේශ ගණනාවකම කාලාන්තරයක් පුරා අවුරුද්ද අහෝසිව තිබුණි. පරංගි හටන නිසාය. 1635 දී බලයට පත් දෙවැනි රාජසිංහ රජු ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ* පිරුලට පණදෙමින් ලන්දේසීන්ගේද උපකාර ඇතිව මඩකලපුව, මීගමුව, ත්‍රිකුණාමලය, ගාල්ල, කළුතර, අඟුරුවාතොට ආදී පරංගි බලකොටු එකිනෙක අල්වා ගන්නට වරින්වර යුද්ධ සඳහා යොමුවීම නිසාය. අන්තිමේදී 1655 ඔක්තෝබරයේ කොළඹ කොටුව මුහුදින් මෙන්ම ගොඩින්ද, බේරේ වැව දෙසින්ද වටලන ලදි. මහා ලන්දේසි සමූල ඝාතනයක්ද සිදුවූ අතර, පෘතුගීසි කොටුවේ සිරගත වූහ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මළකඳන් ගොඩගැසුණි. කොළඹ විශාලා නුවර බඳු තුන් බිය පැතිර ගිය මහා රුදුරු පුරවරයක් බවට පත්වූයේය. 1656 අවුරුදු සමයේ හෙවත් මාර්තු 15 සිට අප්‍රේල් 20 අතර කාලයේ පමණක් විසි දහසක් මියගිය බව වාර්තාගතය. මේ වැටලීම 1656 මැයි 07 දක්වා පවත්වාගන ගිය අතර රටවාසීහු අවුරුදු මංගල්ලය නොව අවමංගල්ලයන් පිරි වසරකට මුහුණ දුන්හ. කොළඹ පරංගීහු උග්‍ර ආහාර හිඟයකට මුහුණ පෑහ. බේරේ වැව අසල ඇටකටු කන්දක් ගොඩගැසිණි. බල්ලන් බළලුන් පවා මරා කන්නට යෙදිණි. මරන්නට තහනම් වූ අලි ඇතුන් පවා මරා ආහාරයට ගන්නා ලදී. කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් ගියා යැයි කියන්නේ මේ කියන අසුබ අවුරුදු කාලයේදීය. නමුත් දෙවැනි රාජසිංහයන්ට මේ දිනයෙන් පසු සිදුවූයේ ඉඟුරු දී මිරිස් ගන්නටය. ලන්දේසීන් තමන් අල්ලාගත් බලකොටුවල සිය ධජය නංවා පාලනය අතට ගත් හෙයිනි. ඉන්පසුව එළඹුණේ අවුරුදු මෙන්ම ස්වදේශික චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිකාංග සියල්ල අතුගා දමා රට සංකර කළ කාලයකි.
කොටින්ම අවුරුදු කෑම මේසයත් කොකිස් ඇතුළු ලන්දේසි කෑම මගින් ආක්‍රමණයට ලක්වූයේය.

ලංකාවේ මවුපියන් සිය දරුවන් හේතුවෙන් වැඩිම වේදනා වින්ද අලුත් අවුරුද්ද උදාවූයේ 1971දීය. කවුරුත් දන්නා 71 ජවිපෙ කැරැල්ල එයට හේතු විය. එදා ගම්වල කැවුම් කිරිබත් ඉදුණේ නැත. භීතිය සහ ශෝකය රජව තිබුණි. ඒ නව වසර අවසන් වූයේ 30000ක් තරුණ ජීවිත බිලි ගෙනය. ඒ අඳුරු වසරේ මතක තාමත් අපේ ජනදිවිය තුළ හොල්මන් කරමින් තිබේ.
දැනටත් ජීවතුන් අතර සිරටින අපේ සමහර වැඩිහිටියන්හට තමන්ට එක් අලුත් අවුරුද්දක් හදිසියේම අහිමිව ගිය බව මතකයේ රැඳී තිබෙනවා විය හැකියි. ඒ 1973 අලුත් අවුරුදු දිනයයි. රටපුරා පුරවැසියෝ අලුත් අවුරුදු සමරන්නට සැරසී සිටියදී ඒ සැවොම ශෝකයෙන් වෙලාගත් නරක ආරංචිය පැතිර ගියේය. උතුරවන්නට ගත් කිරි මුට්ටි පසෙකලා රටවැසියෝ බොරැල්ලේ වුඩ්ලන්ඩ් බංගලාව වටලා ගත්හ. කඳුළු පිරි නෙතින් යුතුවය. රටට බත් දුන් පියා මියගිය හෙයිනි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට කටයුතු කළ එවකට රටේ අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා දුප්පතුන් හට හාල් නොමිලේ ලබා දුන්නේය. සහන රැසක්ද සැලසුණි. මේ නිසාම ඔහුට බත් දුන් පියා නම පැටබැඳුණේ ජනතාව තුළ ඔහු කෙරේ පහළව තිබූ භක්තිය හේතුවෙනි.

1970දී එක්සත් ජාතික පක්ෂ රජය බලයෙන් පහවූ කළ ඩඩ්ලි සේනානායක මහතා තමන්ට හිමි වූ විපක්ෂ නායක ධුරය ඒ වනවිට පක්ෂයේ මුල් පෙළ නායකයකුව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාට පිරිනමා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කළේය. නමුත් දේශපාලනය තුළ රැඳෙන ලෙස පැමිණි බරපතළ ඉල්ලීම අනුව ඔහු තමන් දෙවරක් අගමැති ධුරය දැරුවද සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස දැදිගම ආසනය නියෝජනය කරමින් ජනතා සේවයට ඉදිරිපත් විය.
එදා 1973දී ඩඩ්ලි සේනානායක මහතා රෝගාතුරව මියගිය පුවත රටට එළිදරව් වූයේ අප්‍රේල් 13 වැනිදාය. මුළු රටම එකම මළගෙයක් බවට පත්විය. කඳුළු සලමින් ආ ජනතාව වුඩ්ලන්ඩ් වටා රැඳී උන්හ. ඩඩ්ලි සේනානායකයන්ගේ අවම‘ඟුල් පෙරහර මෙරට නියම ජනනායකයකු හට ලද මහා ජන බුහුමනට හොඳම නිදසුනකි. අවුරුදු මංගල්ලය ලත් තැනම අතහැර දැමූ ජනතාව ලක්ෂ 45ක් එයට එක්ව සිටි බව The London Sunday Telegraph මුල් පිටුවේ දොඹ හෙඩිමක් සහිතව වාර්තා කළේය. රටපුරා විවිධ පළාත්වලින් වැල නොකැඩී ආ මිනිස්සු පැය 9-10ත් අතර දිගු පෝලිම් ඔස්සේ පැමිණ සිය ජනනායකයාට අවසන් ගෞරව දැක්වූහ.

ලංකාවම හෙල්ලී ගිය අවුරුද්දක් ගැන ඉපැරුණි වාර්තාවක් පෘතුගාලයේ ලිස්බන් නුවරින් එළියට ආවේ 1616 වසරේදීය. ලංකාවේ වාර්තාගත ලොකුම භූමිකම්පාව පිළිබඳවය. මේ සිද්ධිය සිදුවූයේ 1615 වසරේ අප්‍රේල් 14 වැනිදා සවසය.
අවුරුදු නැකැතට කිරි උතුරා බතක් උයන්නට සැරුසුණු කොළඹ නගරවාසීහු මහපොළොව ගුගුරා පුපුරා යාම නිසා මහත් බයට පත්ව නිවෙස්වලින් එළියට පැනගත්හ. මේ ලංකාව තුළ එදා මෙදා සිදු වූ භයානකම භූකම්පන අතර මුල්ම වාර්තාගත කම්පනයයි. එයින් වඩාත්ම හානි පැමිණුනේ කොළඹ කොටුවටය. එහි බටහිර තාප්පයද බැස්ටියන් මුර කපොල්ලද කඩා වැටුණි. කොළඹ ප්‍රධාන ගල් පාලම පෙරුළී කැඩී ගිය අතර එය සෑදීමට ගෙන තිබූ මහා ගල් පතුරු සැතැපුම් ගණනක් එපිට තැන්වලින් පසුව හමුවිය. රටපුරා තැන තැන මහපොළොව පුපුරා දැදුරුව ගොස් ලෝදිය උල්පත් පැන නැග්ගේය. මේ දිය උල්පත් වෙතින් ගෙන්දගම් සහ ගිනිදැල්ද පිටවිය. එහෙයින්ම හාත්පස ප්‍රදේශය පුරා විෂ වායු පටලයන්ගෙන් මීදුමක් සේ වැසී තිබුණි. කොළඹ නිවාස 200ක් සුන්බුන් බවට පත්ව තිබූ අතර කොටුවේ දැන් මරදාන පැත්තට වෙන්නට තිබූ තාප්පයට යටවී මුළු පවුලක්ම මියගිය අතර ජීවත්වුෙණ් එයින් එළියට පැනගත් දරුවෙක් පමණි. රටපුරා ජීවිත දෙදහසකට වැඩියෙන් මේ මහා භූමිකම්පාවට බිලි වූ බව වාර්තාගතය. මේ මහා භූ කම්පනය සිදුවන්නට මාසයකට කලින් සිටම අවුරුදු සමයේ ඉතා විශාල වල්ගාතරුවක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
1615 මාර්තු හත්වැනිදා යාච්ඥාව අහවර කර එළියට බට මිනිස්සු අහසේ වූ අරුම පුදුම දර්ශනයෙන් බියටත් සංත්‍රාසයටත් පත්වූහ. දෙවියන් කෝප වී ඇති බවත්, පෘථිවිය මත තවදුරටත් තමන්ට සහනයක් නොමැති බවත් සිතන්නට ඔවුන් පෙළැඹවූ මේ තැති ගැනෙන සුළු දසුන වූයේ මහා වල්ගා තරුවකි. අහස පුරා පැතිර තිබූ වල්ගාතරුවට වල්ගා තුනකි. එහි වල්ගා කෙළවර ඊතල සේ තියුණුව ගිනිදළු මෙන් රතු පැහැයෙන් දිලිසෙමින් තිබූ හැටි ජනතාවට දැකගන්නට ලැබුණි. එතැන් සිට දින ගණනාවක්ම යනතුරැ අවුරැදු මාසය මුල දක්වාම වල්ගාතරැව දක්නට ලැබී තිබුණි. දෙවියන්ගෙන් ආ තර්ජනයක් ලෙස මහා විනාශයක් අත ළඟ බවට මිනිස්සු එකිනෙකා හට කොඳුරමින් මනස්තාපයෙන් පසුවූහ. එසේ වුවද තමන්ට සුපුරැදු පරිදි අලුත් අවුරුද්ද සමරන්නටද කටයුතු සූදානම් කළහ. හරියටම අලුත් අවුරුදු දා මහපොළොව ගුගුරා දෙවියන්ගේ කෝපය රටපුරා වගුරා දැම්මේය.

වර්තමාන රිච්ටර් පරිමාණයෙන් 8 හෝ 9 ප්‍රබලතාවකින් යුතු බවට සැලකෙන මේ භූ කම්පනය පිළිබඳ ජෝර්ජ් රොඩ්‍රිගූස් නමැති පෘතුගීසි ජාතිකයා එකල සටහන් තබා ගත් අතර ඔහුගේ අනුදැනුම් ඇතිව ඒ පිළිබඳ වාර්තාව ලිස්බන්වල මුද්‍රණය කරන්නට යෙදිනි. අපේ රටේ ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වන සූර පරිවර්තකයකු වූ සහ රෝමයේ ජෝර්ජියන් සරසවියේ මහාචාර්ය ධුරයද හෙබැවූ එස්.ජී. පීරිස් පියනම මේ වාර්තාව පෘතුගීසි බසින් ඉංග්‍රීසියට පෙරළා තිබේ. මේ මහා අවුරුදු අලකලංචිය ගැන සෙසු ලෝකයා මෙන්ම ලාංකිකයන්ද දැනුම්වත් වූයේ ඉන්පසුවය.

සුගත් පී. කුලතුංගආරච්චි

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00