2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

කාත්තන්කුඩියේ ඉදිරිස් හදන අලුත් සහරාන් කල්ලිය

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 494

දශක තුනක් යුද්ධයෙන් බැට කෑ ජනතාවට මරබිය ගැන අලුතින් කිවයුතු නැත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ඇඳුම් කට්ටල, සමූල ඝාතන, යුද බිය, මරබිය හෝ යුද ක්‍රියාන්විත පිළිබඳව වචනයක් හෝ නෑසුණු දස වසරක් ගෙවිණි. ගිනි පෙනෙල්ලෙන් බැට කී මිනිසුන් කනාමැදිලි එළියටත් බිය බැව් කියන්නා සේ පාස්කු ප්‍රහාරයත් සමඟ හදිසියේ යළිත් ජීවිත අවදානමක් සමඟ මරබියක් හටගැනිණි. ඒත් සමඟම කිසිවකු නොසිතූ ආගමික අන්තවාදයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තා කෙරිණි.

අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව රටට අලුත් පණිවුඩයක් ලබා දෙන්නක් විය. ආණ්ඩුව පවා නිරුත්තර කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලබා දෙන්නට ඉදිරිපත් වූ එක් රියැදුරු මහත්මයකු නොවන්නට බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක අංශ අදටත් ප්‍රහාරය ගැන විමර්ශන සිදු කරමින් සිටින්නට ඉඩ තිබිණ. එසේම එම හෝඩුවාව නොවන්නට තවත් ජීවිත ගණනාවක් විනාශ කරන පිපිරීම් මාලාවක් සිදු කිරීමට අන්තවාදීන්ට ඉඩ තිබිණ. ප්‍රහාරයෙන් වැඩි දිනක් යන්නට මත්තෙන් අනාවරණය වූ කරුණු මත ජාතික තවුහිද් ජමාත් සංවිධානය කරළියට පැමිණියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හා විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මැයි 13 වැනිදා නිකුත් කෙරුණේ මහජන ආරක්ෂා ආඥා පනතේ හදිසි රෙගුලාසි යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 75-1 වගන්තිය යටතේ ලැබී ඇති බලතල ප්‍රකාරවය. රටේ බිහිසුණු ප්‍රහාර මාලාවක් එල්ල වී දින 22ක් ගෙවුණු දින මෙම සංවිධාන තහනම් කරමින් ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.
එහෙත් නවතම තොරතුරු හරහා වාර්තා වන්නේ කාර්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන “චෙපෙයි ෂහාබා” නමින් නවතම ත්‍රස්ත සංවිධානයක් බිහිව ඇති බවය. ආත්මාරක්ෂක සටන් කලාව උගන්වන මුවාවෙන් මෙම සංවිධානයට තරුණයන් 400 දෙනකු පමණ සම්බන්ධ කොටගෙන ඇති බවට පැවසෙන අතර ඉදිරිස් නැමැත්තා එහි නායකත්වය හොබවන බවද වාර්තා වේ. 

ෂෙයිබුල්ලා නැමැති සටන් උගන්වන බව කියන සංවිධානය කාර්තන්කුඩි සහ නුවරඑළිය ප්‍රදේශවල සිට පුහුණු කටයුතු සිදු කරනු ලබන බවට තොරතුරු වාර්තා වේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ සංවිධානයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි කියන මෙකී සංවිධානයේ නායකත්වය හොබවන ඉදිරිස් නැමැත්තා 35 හැවිරිදිය. ඔහු වාලච්චේන නගරයේ “ඩිජිටල් වේ ස්ටුඩියෝ” නමින් ඡායාරෑප ශාලාවක් පවත්වාගෙන යන්නෙකි. එහෙත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය ලබා එවැනි වෘත්තියක නිතර වන්නෙක් බවද සඳහන්ය. මොහු කල්කුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මකව පැවති තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙක් බවට ද තොරතුරු පවතී. 

චෙපෙයි ෂහාබා සංවිධානය හා එහි නායක ඉදිරිස් නැමැත්තා පසුපස දේශපාලන බලය ක්‍රියාත්මක වන්නේ මෙරට ප්‍රධාන පෙළේ හිටපු ආණ්ඩුකාරවරයකු යටතේය. ඊට අමතරව මෙරට හා කටාර් රාජ්‍යයේ වෙසෙන රිෆයිඩීන් නැමැති මවුලවීවරයකු මාර්ගයෙන් අරාබියෙන් අසීමිත මූල්‍ය දායකත්වය ලැබෙන බවද ප්‍රකට රහසකි.

මෙම මවුලවිවරයා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන පුද්ගලයකු වශයෙන් සමාජයේ පෙනී සිටී. මොහු වහබ්වාදය පැතිරවීම සඳහා උත්සාහ ගන්නා “සලෆි” නාමයෙන් පිදුම් ලැබූවෙකි.

අන්තවාදී අදහස් දරන චෙපෙයි ෂහාබා නායක ඉදිරිස් වරෙක වාලච්චේන ප්‍රදේශයේ පිහිටි එක්තරා ෂියා මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ලකොට ඇති අතර ඊට එරෙහිව පිරිසක් පොලීසියට පැමිණිලි කොට තිබිණ. එහිදී පෙර කී ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් ඉදිරිස් බේරාගනු ලැබිණි. ඒ මීට වසර 3කට පමණ ඉහත වූ සිදුවීමකි.

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක කල්කුඩා ප්‍රදේශයේ සංවිධායක ධූරය හොබවන ආරුන් ෂහවිත් නැමැත්තා ඉදිරිස් නැමැත්තා සමඟ සමීපව කටයුතු කරයි. වාලච්චේන පිහිටි “ඩිජිටල් වේ ස්ටුඩියෝ” ආයතනය ඔහුගේ මූල්‍ය දායකත්වයෙන් සාදා ඉදිරිස්ට පවරා තිබෙන බවද දැගන්නට ඇත. මේ පුද්ගලයන්ට හෝ චෙපෙයි ෂහාබා සංවිධානය සම්බන්ධයෙන් විරුද්ධ වන්නන්ට එක්තරා ආණ්ඩුකාරවරයකු සතු කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණෙන පිරිසක් පහර දෙන බවටත් විටෙක පැහැරගෙන යන බවටත් තොරතුරු වාර්තා වේ.

මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ මවෟලවිවර‍ෙයනකුගේ නිවෙසකට ලැබුණු පාර්සල් කිහිපයකි. ඒ පිළිබඳ සැක සිතූ ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධව පොලීසියට දන්වා තිබිණි. සැක කටයුතු නිවෙස පරීක්ෂා කිරීමේදී මුස්ලිම් අයිතින් සුරැකීමේ සංවිධානය නමින් පුවරුවක් නිවසෙන් හමුවී ඇත. කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් මන්ත්‍රීවරයකු සිදුවීම පසුපස සිටින බවට සැක කළද පසුව එම සැකය දුරුකොටගෙන ඇත්තේ අදාළ පුවරුව වෙනත් ස්ථානයක තිබී රැගෙන ආ එකක් බවට අනාවරණය වීමෙන් පසුවය.

කෙසේ වෙතත් අදාළ නිවෙසේදී ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශනයක් හමුවී ඇත. එම වීඩියෝ දර්ශනය 2015 මැතිවරණ සමයේදී දමිළ රූපවාහිනී නාළිකාවක විකාශය වූවකි. එහි තැනක කල්මුණේ රෝහල පසුබිම් කරගෙන රිල්වාන් හෂීම් නැමැත්තා හමුවූ ප්‍රසිද්ධ ඇමැතිවරයා ද සිටී. ඔහු හමුව ඇති පුද්ගලයා, රිල්වාන් වන අය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ගේ සොයුරාය. ඔහුගේ අතක වූ ආබාධයකට ප්‍රතිකාර ලබන මොහොතේ ඇමැතිවරයා ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ඇති බව හෙළිව තිබේ. 

ඒ අනුව වැඩිදුරටත් වාර්තා වන්නේ සහරාන්ගේ සොහොයුරු රිල්වාන් පුපුරණ ද්‍රව්‍ය භාවිතයේදී හෝ පුහුණුවකදී පිපිරීමක් නිසා අතට තුවාල වූ පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවය. මේ නිසා නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුස් චෝදනා කරන්නේ මෙරට මුස්ලිම් ජාතික ප්‍රබල ඇමැතිවරයකු හා තවත් ප්‍රබල ආණ්ඩුකාරවරයකු අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණු බවය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00