2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අතේ සල්ලි නැතිලු: මොකක්ද මේ කතාව?

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

සිංහල අවුරුදු සමය අතමිට සරු කාලයකි. ගොවීන් අස්වනු කපා විකිණීමෙන්ද, වෙළෙඳුන් අවුරුදු වෙළෙදාමෙන්ද, වැඩ කරන ජනතාව බෝනස් වැටුප් අත්තිකාරම් යනාදියෙන් ද ආදායම් ලබා ගනිති. ඒ නිසා සිංහල අවුරුද්දට පෙර සතියක දෙකක කාලයේ වෙළෙඳපොළ කාර්යබහුල වෙයි. වෙළෙන්ඳෝ සරු වෙළෙදාමක් උදෙසා මහන්සි වෙති. ජනතාව ලාභෙට බඩු ගන්නට සේල් පොළවල් කරු ඇදෙති. අප මෙහි සඳහන් කළේ අවුරුදු කාලයේ රටේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයයි.

එහෙත් මෙවර අවුරුදු ආර්ථිකය වෙනදා තරම් සරු නැත. හැම අතකම දක්නට ලැබුණේ නිසරුකමයි. උත්සව කාලේ ජයට කෙරෙන රෙදිපිළි වෙළෙදාම ද කෙරුණේ ඔහේ කෙරෙන්නන් වාලේය. සෑම තැනකම සුලභව කෙරෙන රතිඤ්ඤා ගිනිකෙළි භාණ්ඩ අලෙවිය පවා පසුබැස තිබිණි. ජනතාව අවුරුද්දට සිය මූලික අවශ්‍යතා පමණක් සපයා ගන්නා තැනට තල්ලු වී ගිය බවක් දක්නට ලැබුණි.

කොරගසමින් ඉදිරියට තල්ලු වූ අවුරුදු වෙළෙදාම මේ ආකාරයට උදාසීන වූයේ ඇයිදැයි නිරීක්ෂණය කිරීම වැදගත් කරුණකි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිට ව්‍යාපාරිකයා, කොන්ත්‍රාත්කරුවා, කර්මාන්තකරුවා, රාජ්‍ය පෞද්ගලික වෘත්තිකයා ආදී කුමන ක්ෂේත්‍රයක නියුතු වුවකුගෙන් ඇහුවත් ඒ කවුරුත් මුලින්ම කියන්නේ මෙවර තමන් සිතූ තරම් මුදල් හදල් ලැබුණේ නැති බවයි. සල්ලි නැති අවුරුද්දේ ආටෝපය අඩුය. ජනතාව හා විවිධ ව්‍යාපාරික අංශවල නියුතු වුවන්ගේ මුදල් සිරවීමේ කතාව ඇත්තක්දැයි සොයා බලනු වටී.

මෙරට මුදල් වෙළෙඳපොළ මෙහෙයවන්නේ අගනුවරිනි. බැංකු ක්‍රමය හා ආයතනික මූල්‍ය ක්‍රම රටේ නිල ආර්ථිකය නියෝජනය කරයි. එහෙත් නිල ආර්ථිකයට වඩා බලවත් කළු ආර්ථිකයක් කොළඹ අවට ගෙන්දගම් පොළොවේ ක්‍රියාත්මකය. පොලීකරුවන්, චෙක් මාරුකරන්නන්, දෛනික ණය සපයන්නන් ආදී තැනැත්තන් මෙහෙයවන කළු කඩ ආර්ථිකය ජාතික ආර්ථික ක්‍රියාවලියට කරන බලපෑම සුළුපටු නොවේ. යට කී ලෙස මේ දිනවල රටේ පවත්නා මුදල් හිඟය මේ කළු ආර්ථිකයට ද තදින් දැනී තිබේ. එය කොතරම් ප්‍රබලදැයි කිවහොත් පසුගිය දිනවල කොළඹ වීදිවල පොලියට ගන්නට මුදල් සොයා තම උත්සාහය අසාර්ථක වූ බව කියන ව්‍යාපාරිකයන් ගණනාවක් මෙම ලියුම්කරුට මුණගැසුණි. අවුරුදු කාලේ සතියකට දෙකකට පොලියට සල්ලි ගන්නට නොහැකි වීම අරුමයකි.

මේ කතාවේ හතර මායිම් සොයා බලන්නට අප දන්නා කියන පොලීකරුවන් හා මුදල් ණයට දෙන්නන් කිහිප දෙනකුගේ අදහස් විමසීමු. ඔවුන් මුදල් හිඟය ගැන කියුවේ අප නොසිතූ කතාවකි. මේ දිනවල ආරක්ෂිත අංශ දිගින් දිගටම කුඩු වැටලීම් කරන්නට පටන්ගෙන ඇති නිසා කොළඹ කළු කඩයට මුදල් සැපයූ කුඩු ව්‍යාපාරිකයෝ නන්නත්තාරව ගොසිනි. ඔවුන් කුඩු වෙළෙදාමෙන් උපයා ගන්නා කළු සල්ලි රටේ නිල ආර්ථිකයට නැත්නම් සිස්ටම් එකට දමා සූදු කරවන්නේ පොලීකරුවන්ගේ මාර්ගයෙනි. කුඩු ව්‍යාපාරය නන්නත්තාර වීම නිසා කළු කඩයට සතිපතා කෝටි ගණන් කුඩු සල්ලි ගලා ඒම නැවතුණි. නැතිනම් එය ඉතාම සොච්චමක් බවට පත් විය.

කළු ආර්ථිකයේ මුදල් හිඟයට බලපෑ තවත් හේතුවක් වන්නේ රත්තරන් ආනයනයට රජය දැමූ 15%ක බද්දයි. ඒ නිසා කොළඹ රත්තරන් වෙළෙඳපොළේ බඩු අත යට විකිණීමෙන් ජාවාරම්කරැවන් ලද කෝටි ප්‍රකෝටි ආදායම අහිමි විය. එය සිදුවූයේ කලින් බදු රහිතව මෙරටට ආනයනය කරන්නට පහසුකම ලබා දී තිබූ රත්තරන් සඳහා රජය 15%ක බද්දක් ක්‍රියාත්මක කිරීමෙනි. මෙරටට බදු රහිතව ගෙන එන රත්තරන් ඉන්දියාවට හොර බඩු ලෙස විකුණා අධික ලාභයක් ලැබූ කළු කඩ වෙළෙඳුන් එමගින් ලද ආදායමට 15%ක බද්ද නිසා වැට බැඳුණි. 15% බද්ද ගෙවා මෙරටට රත්තරන් ගෙනැවිත් ඉන්දියාවට ලාභ සහිතව හොරෙන් විකුණන්නට පුළුවන්කමක් නැත. ඉන්දියාවේ පවත්නා ආනයන නීති අනුව එරට වෙළෙඳුන්ට අවශ්‍ය නම් 15%ක බද්ද ගෙවා ඔවුන්ටම රත්‍රන් ආනයනය කරවා ගන්නට පිළිවන. ඉන්දියාව රත්‍රන් සඳහා ක්‍රියාත්මක කර තිබෙන බදු අනුපාතයම මෙරටද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් හොර රත්‍රන් ජාවාරමෙන් කොළඹ කළු ආර්ථිකයට දිනපතා සැපයුණු කෝටි ප්‍රකෝටි අරමුදල් ගලා ඒම නැවතුණි. මේ පිළිබඳව තතු දත් ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් හිමියකු අප සමඟ ප්‍රකාශ කළේ බදු රහිතව රත්‍රන් ආනයනය කරන කාලේ දිනකට රත්‍රන් රැගත් කුඩා නැව් තුනක් හෝ හතරක් කොළඹ වරායට සේන්දු වන බවය. එයින් මෙම රත්‍රන් ජාවාරමේ පරිමාණය සිතාගන්නට පිළිවන.

කොළඹ වීදිවල කළු සල්ලි ආර්ථිකය අඩාල වන්නට බලපෑ මෙම ප්‍රධාන හේතු දෙක, එනම් කුඩු සල්ලි හා රත්‍රන් ජාවාරමේ අරමුදල් අහිමිවෙද්දී රටේ නිල ආර්ථිකයේ ද ප්‍රබල මුදල් හිඟයක් හටගැනුණි. පසුගිය සතිය වනවිට ශ්‍රී  ලංකා මහ බැංකුව කළ නවතම සමීක්ෂණයකට අනුව නිල ආර්ථික ක්‍රියාවලිය බාධාවකින් තොරව ක්‍රියාත්මක වන්නට අවශ්‍ය මුදලින් රුපියල් බිලියන 80ක් හෙවත් කෝටි 8,000ක හිඟයක් පවත්නා බව අනාවරණය විය. මෙම මුදල් හිඟය පවතිද්දී රජයේ කොන්ත්‍රාත් සිදුකළ රජයට සැපයුම් (භාණ්ඩ හා සේවා) කළ තැනැත්තන්ට ගෙවන්නට තිබූ රුපියල් බිලියන 80ක් (කෝටි අට දහසක) පමණ බිල්පත් ගෙවාගත නොහැකිව මහා භාණ්ඩාගාරයේ සිරවී තිබිණි. අප මේ ගැන කළ සොයා බැලීමේදී ආහාරපාන රජයට සැපයූ සැපයුම්කරුවන්, බඩු බාහිරාදිය සැපයූ අය පමණක් නොව උත්සව සංවිධායකයන්ගේ බිල්පත් පවා ගෙවීමට ඇති බව භාණ්ඩාගර ආරංචි මාර්ග පැවසීය. පසුගියදා මහ බැංකු අධිපතිවරයාම කීවේ මුදල් වෙළෙඳපොළ තුළ විශාල මුදල් හිඟයක් ඇති බවත් එය මූලික මුදල් අවශ්‍යතාවෙන් (ඇතැම්විට) 75%ක් පමණ වන බවකි.

වාහන ආනයනය සහ වෙළෙදාම අඩාල වීම, ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම, හාඩ්වෙයාර් ව්‍යාපාරය විශාල ලෙස අඩාල වීම, ඉදිකරන ලද මහල් නිවාස අලෙවි කර ගැනීමට නොහැකි වීම ආදී ප්‍රධාන ආර්ථික කාරණා ගණනාවක් කොළඹ ආර්ථිකය සක්‍රීය නොවීමට බලපෑවේය. එසේම මෙවර වී ගොවීන් ලද මෙට්‍රික් ටොන් ලක්ෂ 30කට ආසන්න වී අස්වැන්නට සාධාරණ මිලක් නැති නිසා අලෙවිය අඩාල වීම ගමේ අවුරුදු ආර්ථිකය හරිහැටි සක්‍රීය නොවීමට බලපෑ බව පැහැදිලි කරැණකි. මේ ගැන සමීක්ෂණ කරන උදවිය සොයා බැලිය යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය බැංකුවලට රත්‍රන් බඩු උකස් තබන ප්‍රමාණය අඩුවී තිබේද, වැඩි වී තිබේද යන කරැණයි. රත්‍රන් බඩු උකස් තැබීම ඉහළ ගොස් ඇති බව නිල නොවන වාර්තා තහවුරු කරයි. එපමණක් නොව ලොතරුයි අලෙවිය, සිගරුට් අලෙවිය වැනි කුඩා පරිමාණ ආර්ථික මිනුම් දඬු උපයෝගී කරගෙන විධිමත් සමීක්ෂණයක් සිදුකළහොත් අවුරුදු කාලයේ ජනතාව අත ප්‍රමාණවත් ලෙස මුදල් ගැවසෙනවාද නැද්ද යන්න සොයා දැනගත හැක.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30