2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මගීන් 100ක ගුවන් යානයක් අනතුරට

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ රවි තමාට සම රාශි භවනක් වූ කන්‍යා රාශියට 2018 සැප්තැම්බර් 17 වැනි දින උදේ 6.47ට පැමිණෙයි. රවිටම අයත් උත්‍රපල් නැකතේ 2,3,4 වැනි පාදවලත් සඳුට අයත් හත නැකතේ සම්පූර්ණවත් අඟහරුගේ සිත නැකතේ 1, 2 වැනි පාදවලත් ගමන් කර 2018 ඔක්තෝබර් 17 වැනි දින සවස 6.45 දක්වාම කන්‍යාවේ සිටිනවා ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී මහජනයාට ආර්ථික ප්‍රශ්න ඇතිවන අතර යම් යම් භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර බදු ගෙවීමට සිදුවීමෙන් ජනතාව තුළ කැළඹිළි ස්වභාවයක් ඇතිවේ. මූල්‍ය ආයතනවල ගැටලු හා අක්‍රමිකතා ඇතිවනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට ඉතා අශුභ වන අතර මාරක හෝ සමාන අපලයකට මුහුණපෑමට සිදුවේ. රාජ්‍ය ආයතයන්හි මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අනාවරණය කරගත හැකිවනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී කුඩා ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් අනතුරට පත්වනු ඇත. මගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් හෝ යානයක් අනතුරට පත්වන අතර ආරෝග්‍යශාලා, කර්මාන්තශාලා, ව්‍යාපාරික ගොඩනැගිලි ආශ්‍රිතව හදිසි ගිනිගැනීම්ද ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම්ද වාර්තාවනු ඇත.

මේෂ - ඇස් ආබාධ

ඔබට යහපත් නොවන අතර යම් යම් කටයුතු සඳහා විවිධ බාධා ඇතිවේ. දුරගමන් අපේක්ෂා සාර්ථක වෙයි. ඇස්වල ආබාධ ඇතිවිය හැකිය.

වෘෂභ - දේශපාලනයට හොඳයි

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාදගති ඇතිවන අතර දේශපාලන කටයුතුවල නිරතවී සිටින අයට ඉතා යහපත් වනු ඇත. ලේඛනයේ නිරත අයට හරවත් නිර්මාණ බිහිකිරීමට හැකිවනු ඇත.

මිථුන - කැපීපෙනේ

සිතේ සහනය අඩු කාලයක් වන අතර පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදිහත්නොවී සිටිය යුතුවේ. සේවා ස්ථානයෙහි පැවති ගැටලු මඟහැරී යනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

කටක - අතපසුවීම් වැඩියි.

යම් යම් කටයුතුවලට නිර්භයව ඉදිරිපත් වන කාලයක් වේ. සන්නිවේදන, ලේඛන හා මාධ්‍ය කටයුතුවල නිරතවී සිටින අයට යහපත්ය. ඔබගේ කටයුතු කිරීමේදී යම් අතපසුවීම් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් යුක්තව කටයුතු කරන්න.

සිංහ - ආර්ථික අපහසුතා

ඔබට එතරම් යහපත් නොවූවද දේශපාලන කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙන දෙනු ඇත. යම් යම් කටයුතුවලදී ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්නොවනු ඇත. ආර්ථික අපහසුතාද ඇතිවනු ඇත.

කන්‍යා - උසස්වීම්

තම මතයටම කටයුතු කිරීමට යාම හේතුවෙන් හිතමිතුරන් ඔබ සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත. සේවා ස්ථානයෙහි උසස්වීමක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

තුලා - විදේශ ගමන්

ඔබට යහපත් නොවන අතර ලැබීම් මාර්ගවලට බාධා ඇතිවෙයි. විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. ඇස් ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

වෘෂ්චික - කැපීපෙනේ

යහපත් ඵල අත්වන අතර දේශපාලන කටයුතුවල නිරතවී සිටින අයට හොඳයි. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

ධනු - සාර්ථක ප්‍රතිඵල‍

යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වනු ඇත. රැකියාවේ උසස්වීමක් හෝ නව රැකියාවක් හෝ අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

මකර - ගමන් හොඳ නෑ

ඔබගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වනු ඇත. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

කුම්භ - මුදල් හානි

ඔබට යහපත් නොවන අතර ඔබගේ කාලත්‍රයා හට හදිසි ශරීර පීඩා හා රෝග පීඩා ගෙන දෙන්නාවූ කාලයකි. හදිසි මූල්‍ය පාඩු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව ගනුදෙනු කරන්න. ඇස්වල පීඩාද මතුවනු ඇත.

මීන - මිතුරන් අමනාප වේ

ගනුදෙනු කිරීමේදී පරිස්සම් විය යුතු අතර අනවශ්‍ය ලෙස මුදල් වියදම් වන කාලයකි. තම මතයට කටයුතු කිරීම හේතුවෙන් හිතමිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ඇත.

►ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය

ඔලබොඩුව, ගෝනපොල.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00