2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

අගෝස්තුවේ සිට ප්‍රවේශමෙන්!

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

අගෝස්තු මාසයෙන් පටන්ගෙන රට පුරා අයහපත් සිදුවීම් මාලාවක් දිගින් දිගටම වාර්තා වීමට ඉඩ ඇත. මෙම කාලය ජනතාවට මෙන්ම පවතින රජයටද අහිතකර වේ. ජනතා මානසිකත්වය විකෘතිවීම නිසා ඔවුන්ගේ හැසිරීම ව්‍යාකූල තත්ත්වයක් ගන්නවා ඇත. ලංකාවේ ආර්ථික තත්ත්වය තව තවත් ප්‍රපාතයට ගමන් කරනු ඇත. ජනතාවගේ ජීවන බර උත්සන්න වීම නිසා ඔවුන් ආණ්ඩුවට දොස් දෙවොල් තැබීම ආරම්භ කරයි.

එසේම ව්‍යාපාරවලට අහිතකර වාතාවරණයක් උද්ගතවීම නිසා ඒවා බංකොලොත් භාවයට පත්වේ. විදේශ ආයෝජන සඳහා පිටරුටියන් මෙහි පැමිණීම අවම වනවා ඇත. ඒ නිසා ආණ්ඩුව බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට ළඟාවීම සිහිනයක්ම වෙයි. ජනතාව අතර අවිනීත හැසිරීම් වර්ධනය වීම හේතුවෙන් සමාජය කඩාවැටීමකට ලක්වේ. ජනතා හැසිරීම ශිෂ්ට සමාජය කිසිවිටෙකත් අනුමත නොකරන කනගාටුදායක තත්ත්වයකට ළඟාවනවා ඇත. ජනතාව අතර බෝවන රෝග වර්ධනය වන අතර දැනට යටපත්ව ඇති වසංගත රෝග යළිත් කලඑළි බැසීමට ඉඩ ඇත.

2018 අගෝස්තු මස 17 වැනිදා පෙ.ව. 06.49ට රවි ග්‍රහයා සමක්ෂේත්‍ර බලය ලැබුවේය. එතැන් පටන් තම නීච අංශකය බලා යන රවි තෙමේ 2018.10.21 වැනිදා වන විට තම නීච අංශකයට ළඟාවීමට නියමිතය.

මෙම තත්ත්වය මත පෘථිවිවාසීන් අන්දමන්ද වී යාමට කටයුතු සම්පාදනය වන්නේය. ශ්‍රී ලංකා භූමි ප්‍රක්ෂේපණ මකර ලග්න කුණ්ඩලිය මේ අනුව හෙල්ලුම්කෑමක් සිදුවෙයි.

කලා ක්ෂේත්‍රයට කණකොකා හඬන පසුබිමක් නිර්මාණය වෙයි. විශේෂ වශයෙන් නාට්‍යකරුවන්ට මාරක විපත්ති මෙන්ම නාට්‍යයක් සම්බන්ධ කරගෙන ප්‍රබල ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.

ජල විපත්තියකින් රටම කම්පාවනු ඇත. ජල යාත්‍රා ඛේදවාචකයකින් ජලබිලිගන්නා වාතාවරණයක් ඇති බැවින් ජලයාත්‍රාවල පවතින ගුණාත්මක තත්ත්වය පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමුකළ යුතුයි.

ඒ සමඟ විදුලිය කාන්දුවීම් හෝ අකුණුසැර මගින් ගිනි විපත්ති මතුකිරීමටද නියමිතයි. ගෑස් භාවිතයේදී හා ගෑස් ප්‍රවාහනයේදී ඉතා කල්පනාකාරී විය යුතු කාලයකි.

ජනතා විරෝධතා මැද ආණ්ඩුවද කැත්තට පොල්ල මෙන් ආවේගශීලී වෙනවා ඇත. නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට නියමිත බලධාරීන්ට සිදුවනවා ඇත.

බැංකු ක්ෂේත්‍රයේ කිසියම් අසාමාන්‍යතා මතුකෙරෙනු ඇත. බැංකු සේවකයන්ගේ අක්‍රමිකතා එළිදකින්නේය. ඒ නිසා කලකිරෙන ජනතා මානසිකත්වය කල්තියාම සමතුලිත කර ගැනීමට බැංකු කටයුතුවලට අදාළ බලධාරීන් කටයුතු කරන්නේ නම් මැනවි.

වෙළෙඳ ක්ෂේත්‍රයට එතරම් යහපත් නොවේ. බහුජාතික සමාගම් බංකොලොත්වීමේ අවදානමක්ද පවතී. මෙම අයහපත් තත්ත්වය යම් පමණකට හෝ මැඩපවත්වා ගැනීම  සඳහා 2018 අවසාන භාගය වන විට සෑම සියලු දෙනාම ආගමට දහමට අනුව කටයුතු කර තම ජීවිත ආරක්ෂාව සලසාගත යුතුයි.

දේශබන්දු
ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ
ගාල්ල - තලගහ - අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන