2018 මැයි 05 වන සෙනසුරාදා

සිත් කෝපවන කාලයක්!

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ මේෂ රාශියට 2018 මැයි මස 9 වැනි බුධ දින සවස 5.29 පිවිසේ. එසේ පිවිස කේතුට අයත් අස්විද නැකතේ සම්පූර්ණවත්, කිවිට අයත් බෙරණ නැකතේ සම්පූර්ණවත්, රවිට අයත් කැති නැකතේ ප්‍රථම පාදයෙන් ද 2018 මැයි මස 27 වැනි රවි දින උදේ 8.23 දක්වාම ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී සන්නිවේදන කටයුතු ආශ්‍රිතව ඉතා අයහපත් සිදුවීම් වාර්තා වනු ඇත. එවැනි ආයතනවල සේවක උද්ඝෝෂණ හා ගැටලු පැතිරී යන අතර එහි කටයුතු අවුල් වී යයි. ප්‍රසිද්ධ ලේඛකයකුගේ අභාවයක් වාර්තා වනු ඇත. මිනිස් සිත් ආවේගශීලීවත්, බුද්ධියෙන් තොරවත් කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවකි. නීති විරෝධී ලියවිලි මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කළ ප්‍රධානීන් සම්බන්ධව මහජනතාවට ආරංචි ලැබෙනු ඇත. 

විදේශීය වශයෙන් විමසා බැලීමේදී රාජ්‍ය පාලන නියෝජිතයන්ගේ තනතුරැ මාරැවක් සිදුවනු ඇත. මහජනයාට විවිධ වූ විපත් බහුලව සිදුවන වකවානුවකි. පතල් ආශ්‍රිතව අනතුරැ ද වාර්තාවන අතර ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අවහිරකම් හා බාධා ඇතිවනු ඇත.

මීළඟට ලග්න අනුව ඔබට

මේෂ - මුත්‍රා ආබාධ

ඔබට යහපත් ඵල උදාවුවද විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීමේදී කල්පනාකාරීවන්න. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත. මුත්‍රා ආශ්‍රිත ආබාධයක් ඇති වේ.

වෘෂභ - ගැටලු ඉවතට

විවිධ වූ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. සිතේ සහනය අඩුවී යන අතර තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යනු ඇත. පවුල් දිවියේ පැවති යම් යම් ගැටලු මගහැරී යන වකවානුවකි.

මිථුන - සාර්ථක සතියක්

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ උත්සාහය මත කටයුතු රැසක් සාර්ථක කරගත හැකි වන වකවානුවකි. හවුල් කටයුතුවලින් ඵල අත්වේ. තම හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වේ.

කටක - භූමියට යහපත්

තම මතයේම තටයුතු කරමින් ක්‍රියා කරන වකවානුවක් වන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා යහපත් ඵල අත්වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න ද මගහැරී යනු ඇත.

සිංහ - ලේඛනයට සුබයි

උත්සාහවන්තව කටයුතු කරනු ඇත. උසස් අධ්‍යාපන කටයතුවල නිරතව සිටින අයට ඉතා ශුභ ඵල අත්වන අතර සන්නිවේදන ලේඛන කටයුතු ආශ්‍රිතව කටයුතු කිරීමට ද ශුභ වකවානුවක් වේ.

කන්‍යා - සිතේ අසහනය

ඔබට මිශ්‍ර ඵල අත්වන අතර ඔබගේ කටයුතුවලට එරෙහිව විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. සිතේ සහනය අඩු වී යන වකවානුවක් වන අතර ස්නායු පිළිබඳ ප්‍රශ්නයක් පැන නගිනු ඇත.

තුලා - පවුලේ සමගිය

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් දිවියේ සමගිය හා ශුභ ඵල ඇතිවන අතර සතුටින් සිටීමට හැකි වකවානුවකි.

වෘශ්චික - ඌෂ්ණ රෝග

එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා එල්ල වේ. සතකුගෙන් ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. ඌෂ්ණ රෝග පීඩාවන් ගෙන දෙනු ඇත.

ධනු - සිත සතුටින්

ඔබට යහපත් ඵල අත්වන අතර විරුද්ධ ලිංගික බැඳීම් වර්ධනය වේ. නිතර සතුටින් කාලය ගත කරන්නාවූත් වකවානුවක් වනු ඇත.

මකර - නිවසේ අලුත්වැඩියා

ඔබට යහපත් වන අතර ඔබගේ ඉඩම් කඩම් සංවර්ධනයක් හෝ නිවසේ අලුත්වැඩියාවක් සිදු කරන වකවානුවකි. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද ශුභ ඵල අත්වනු ඇත.

කුම්භ - කැපී පෙනේ

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර සිතේ සතුට රජ වන වකවානුවකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට ඔබව පත්වනු ඇත.

මීන - ආර්ථික අපහසුතා

ඔබගේ යම් යම් කටයුතු අතපසු වීම්වලට ලක්වන අතර පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. ආර්ථික අපහසුතා පැන නගින වකවානුවකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල