2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ප්‍රශ්න පත්‍ර අර්බුදයක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

මන්ත්‍රීවරු පිල් මාරු කරති

2017 නොවැම්බර් මස 26 වැනි ඉරු දින රාත්‍රී 10 පසුවී විනාඩි 10ට සිකුරු ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ අඟහරුට අයත් වෘෂ්චික රාශියට පැමිණේ. ගුරුට අයත් විසා නැකතේ හතරවැනි පාදයෙන් සෙනසුරුට අයත් අනුර නැකතේ සම්පූර්ණවත් බුධට අයත් දෙට නැකතේ සම්පූර්ණවත්ව 2017 දෙසැම්බර් මස 20 වැනි බුධ දින සවස 6 පසු වී විනාඩි 32 දක්වාම වෘෂ්චික රාශියෙහි ගමන් කරනු ඇත. මේ වන විටත් සෙනසුරු හා බුධ ග්‍රහයන් ධනු රාශියෙහි ගමන් කරමින් සිටින අතර ග්‍රහයන් දෙදෙනාම 2017 නොවැම්බර් මස 28 වැනි කුජ දින කේතුට අයත් මූල නැකතේ දී එකම අංශකයක ගමන් කිරීම හේතුවෙන් දෙදෙනා එකිනෙකා අභිබවා යාමට උත්සාහ කරති. මේ අවස්ථාවේ දී සෙනසුරු හා බුධ ග්‍රහයන්ගේ අයහපත් වූ කිරණ පෘථිවියට එක්වනු ඇත. මෙහි බලපෑම ඉදිරි දින 60 ක් යනතුරු පවතී. 

මේ හේතුවෙන් රට තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පසුබැසීමක් සිදුවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු තමන් සිටින පක්ෂ අතහැර පිල් මාරු කිරීමක් වාර්තා වෙයි. ප්‍රාදේශීය සභා, නගර සභාවල හිටපු මන්ත්‍රීවරුන් ද කිහිපදෙනකු පිල් මාරුකිරීම් සිදු වේ. රට තුළ දාමරික ක්‍රියාවල වර්ධනයක් සිදුවන අතර රංගන ක්ෂේත්‍රයේ නියැලි ශිල්පියකුට හෝ ශිල්පිනියකට මාරක අපල ගෙන දේ. ජනප්‍රිය උසස් කාන්තාවකගේ මරණයක් ද සිදුවනු ඇත. ඉදිරියේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිළිබඳ ගැටලුවක් පැන නගී. ජන ජීවිතයට පීඩා කරමින් හදිසි ජල ගැලීම් තත්ත්වයක් ද උද්ගත වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේ දී මගීන් 100කට ආසන්න ප්‍රමාණයක් රැගත් ගුවන් යානයක් අනතුරට පත්වනු ඇත. මාධ්‍යවේදියකුට, ගායිකාවකට හෝ ගායකයකුට මාරකයක් ඇතිවනු ඇත. ජල ගැලීම් සිදුවන අතර දේපල මෙන්ම කෘෂිභෝග ද විනාශ වනු ඇත.

මේෂ - විරුද්ධවාදීන් ඇති වේ
ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. ආගමික කටයුතුවලට වැඩිපුර කාලය ගත කෙරේ. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වන වකවානුවකි. තමන්ගේ කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවනු ඇත.

වෘෂභ - හවුලට යහපත්
විශාල අන්දමින් මුදල් වැයකිරීම් කිරීමේ දී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. හවුල් කටයුතු සාර්ථක වනු ඇත. පැවති අසනීප තත්ත්වයන් පහව යයි. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්නයක් මඟහැරේ.

මිථුන - පවුලේ සමගිය
තමන්ගේ කටයුතුවලට විවිධ බාධා මතු වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. දුර ගමන් යෙදේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ලාභ පාඩු මිශ්‍රව ලැබෙන වකවානුවක් වේ.

කටක - සතුරන් පසුබසී
කලා කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග මර්දනය කර ගැනීමට හැකි වේ. ජලය ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් වීම වැදගත් වේ.

සිංහ - ප්‍රේමයට බාධා
ප්‍රේම සබඳතාවලට බාධා ඇතිවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වුවද සාර්ථක නොවනු ඇත. නිවසේ අලුත්වැඩියාවක් හෝ නවීන උපකරණ භාණ්ඩ නිවසට ගෙන ඒමක් සිදුවනු ඇත.

කන්‍යා - දුර ගමන්
ඔබගේ කටයුතුවලට බාධා ඇති නොවන නමුත් හදිසි කේන්ති ගති නිසා ගැටලු පැන නගී. වහා බියට පත්වීම් ද සිදුවනු ඇත. සිතට ප්‍රශ්න තදින් දැනෙන වකවානුවකි. දුර ගමන් යෙදෙනු ඇත.

තුලා - කැපී පෙනේ
ඔබට යහපත් වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. පුණ්‍ය කටයුතුවලට වැඩිපුර සහභාගි වන වකවානුවකි. ලේඛන කටයුතුවල නිරත අයට අයහපත් බලපෑම් ඇතිවනු ඇත.

වෘෂ්චික - නීතිමය ප්‍රශ්න
ඔබගේ තැන්පත් ධනය වියදම් වන වකවානුවක් වේ. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි ශරීර පීඩා ඇතිවන අතර හෘද රෝග ආශ්‍රිතව පීඩා විඳින අය කල්පනාකාරී වන්න.

ධනු - බාධා වැඩියි
යම් යම් කටයුතු සඳහා විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිකරනු ඇත. දුර ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු සාර්ථක වනු ඇත. ආර්ථික වාසි අත්වනමුත් විශාල වශයෙන් මුදල් වියදම් කරන කටයුතුවලදී සැලකිලිමත් වන්න.

මකර - කීර්තිනාමය ඉහළට
ඔබගේ කීර්තිනාමය ප්‍රසිද්ධ වීමට හේතුවන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. කලා කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වන අතර විදේශගතවීමේ අපේක්ෂාවන් ද ඉටුවනු ඇත.

කුම්භ - දේශපාලනයට හොඳයි
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය. සේවා ස්ථානයේ අන් අයගේ සහයෝගය තමා වෙත ලැබෙනු ඇත. ලැබීම් මාර්ගවලට තිබූ බාධාවන් ඉවත් වන අතර දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි අයට යහපත් ඵල වර්ධනය වනු ඇත.

මීන - ගැටලු වැඩි වේ
සේවා ස්ථානයෙහි ප්‍රශ්න මතුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. දුර ගමන් ඇතිවනු ඇත. ගැටලු වැඩියෙන් ගෙන දෙන වකවානුවක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය.

♦ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පරීක්ෂණායතනය
ඔලබොඩුව ගෝනපල

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00