2017 මැයි 20 වන සෙනසුරාදා

27දා අඟහරු මිථුනයට යාමෙන් නළු නිළියන්ට මාරකයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

2017 මැයි මස 27 වන ශනි දින පාන්දර එක පසුවී විනාඩි හතළිස් දෙකට ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට සතුරු රාශි භවනක් වූ මිථුන රාශියට පිවිසේ. අඟහරුට අයත් වූ මුවසිරස නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් වූ අද නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් වූ පුනාවස නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් 2017 ජූලි මස 11 වන කුජදින සවස 3 දක්වාම අඟහරු එසේ ගමන් කරනු ඇත.

අප රටට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී ළමුන්ට හා කාන්තාවන්ට අශුභ වන අතර සමාජශාලා විනෝද ස්ථාන ආශ්‍රිත අශුභ සිදුවීම් වාර්තා වේ. එවැනි ස්ථාන ගිනි ගැනීම්වලට හෝ කඩාවැටීමට ලක්වීමක් සිදුවේ. නළු නිළියන්ට ද ඉතා අශුභ වන අතර මාරක සිද්ධි ගෙනදෙන වකවානුවක් වේ. දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීම් ඇතිවන අතර වෛද්‍යවරයකුදට මාරක ඇති වනු ඇත. රථවාහන ආශ්‍රිත අනතුරු බහුලවන්නා වූ වකවානුවක් වේ.

විදේශීය වශයෙන් සිදුවන්නා වූ බලපෑම විමසා බැලීමේදී මගීන් 100කට ආසන්න පිරිසක් රුගත් ගුවන් යානයක් අනතුරට පත්වන අතර මහජනයා පීඩාවට පත් කරමින් වෛරස් රෝගයක් පැතිර යනු ඇත. දුම්රිය අනතුරක් හෝ ගිනිගැනීමක් වාර්තා වනු ඇත.

මේෂ
කාර්මිකයන්ට යහපත්

ඔබට අයහපත් නොවනු ඇත. විශේෂයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ කාර්මික කටයුතුවල නියැලි අයට යහපත් ඵල අත්වනු ඇත. සැඟවුණු සතුරු පීඩාවක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත.

වෘෂභ
හදිසි කේන්තියක්

තමන්ගේ කටයුතුවල ප්‍රමාදවීම් ඇතිවනු ඇත. හදිසි කේන්ති ගති ඇති වන්නාවුත් කාලයකි. හිත මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා මතුවන වකවානුවකි.

මිථුන
කටයුතුවලට බාධා

විශාල පරිමාණයෙන් මුදල් වැය කරමින් ආයෝජන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම වකවානුව තුළ කල්පනාවෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. තමන්ගේ කටයුතුවලට විවිධ බාධාවීම් ඇතිවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද යහපත් නොවනු ඇත.

කටක
රැකියාවේ මාරුවක්

පවුල් දිවියේ සමගියට බාදාවීම් ඇතිවන අතර රැකියාවේ මාරුවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු බලවේග කුමන්ත්‍රණ අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

සිංහ
ආර්ථික වාසි

ආර්ථික වාසි අත්කරගත හැකිවනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වූ ඵල අත්වනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවන්නා වූ වකවානුවක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා
උරුම හිමිකම් ලැබේ

තමන්ගේ රැකියාවේ දියුණුවක් ලබාගැනීමට හැකිවන්නා වූ කාලවකවානුවක් වේ. නව දේපලක් මිලදී ගැනීමට අපේක්ෂා කළ අයටද යහපත් වන අතර උරුම හිමිකම් ලබා ගැනීමටද යහපත් වූ වකවානුවක් වේ.

තුලා
කටයුතු ප්‍රමාදයි

තමන්ගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන්නා වූ වකවානුවක් වේ. බලාපොරොත්තු සහිතව සිටින යම් යම් කටයුතුවලට බාධා වේ. අනවශ්‍ය ආරංචි හේතුවෙන් බියකට ලක්වනු ඇත.

වෘශ්චික
විවිධ බලපෑම්

ඔබගේ කටයුතුවලට විවිධ වූ බලපෑම් ඇතිවන්නා වූ වකවානුවක් වේ. හිත මිතුරන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරීවන්න. තම දේ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දැරුවද විශාල පාඩු ඇතිවනු ඇත.

ධනු
රැකියාවේ දියුණුවක්

පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන වකවානුවක් වේ. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්ය. රැකියාවේ දියුණුවක් අත්කර ගැනීමට හැකිවනු ඇත.

මකර
කුමන්ත්‍රණ හෙළිවේ

ඔබට යහපත් වනු ඇත. හදිසි කේන්ති ගති ඇති වන්නාවූත් කාල වකවානුවකි. සතුරු පීඩා ඔබට එරෙහි කුමන්ත්‍රණ අනාවරණය කරගත හැකිවනු ඇත. අනවශ්‍ය ආරංචි ගැන කල්පනාවෙන් සිටිය යුතු වේ.

කුම්භ
ලිංගික ආකර්ෂණ

සිත නිරන්තයෙන්ම කේන්ති ගතියෙන් යුක්ත වනු ඇත. හිත මිතුරන් නිසා කරදරයට පත්වන වකවානුවක් බැවින් කල්පනාකාරී වන්න. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත.

මීන
ඉවසීම හොඳයි

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වන අතර උරුම හිමිකම් ලබා ගැනීමටද යහපත් වකවානුවක් වනු ඇත. පවුල් දිවියේ සමගිය රඳවා ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතුවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ 
පර් යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00