2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

කෝටිපතියන් හිඟමනට බස්සන ග්‍රහ යෙදුම්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

ධනවත් අයකු වීමටත් සමාජයේ කැපී පෙනෙන ලෙස ජීවත්වීම සඳහාත් උත්පත්තියේ යෙදී ඇති ග්‍රහ බලය වැදගත් වනු ඇත. යමෙකු පොහොසත් අයකු වීමටත් තවත් අයෙකු දුප්පත් වීමටත් මෙන්ම දුප්පත් අයකු පසුව පොහොසත් වීමද පොහොසතා යළි දුප්පත් වීමටද උත්පත්තියේදී පැවතියා වූ ග්‍රහබලය ඉවහල් වනු ඇත. එවැනි වූ ග්‍රහ යෙදුම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරමු.

දෙවැන්නාධිපති ග්‍රහයා බලවත්ව සිටියදී ලග්නයෙහි බ්‍රහස්පති බලවත් වූයේද, සත්වැන්නෙහි සිකුරු බලවත්ව තැන්පත් වූයේද එවැනි උත්පත්තියක් ලද අය විවිධ යස-ඉසුරු හිමිකරගෙන සැපවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලබයි.

උත්පත්තියේදී පස්වැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති පරිවර්තනය වෙමින් පාප දෘෂ්ටියෙන් තොරව උත්පත්තිය ලබයිද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තාද සෞභාග්‍යමත් ජීවිතයක් ගෙවීමට වාසනාවන්ත වනු ඇත. ධනු ලග්නයෙන් උත්පත්තිය ලබන අඟහරු හා සෙනසුරු තැන්පත් වූයේද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තා මෙන්ම දෙක අධිපති එකොළහ අධිපති පරිවර්තනය වූයේද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තා ක්‍රමයෙන් සැප සම්පත් ලබන්නා වූ අයකු වේ.

මකර හෝ කුම්භ ලග්නයෙන් උත්පත්තිය ලබා සෙනසුරු තුලා රාශියෙහි තැන්පත් වූයේද 10 වැන්නෙහි හෝ 1 වැන්නෙහි සිකුරු තැන්පත් වූයේද පාප දෘෂ්ටියෙන් තොර වූයේද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තාද ක්‍රමයෙන් ධනවත් වනු ඇත.

මේෂ ලග්නයෙන් උත්පත්තිය ලබා අඟහරු ලග්නගතවීද, සිකුරු හත්වැන්නෙහි තැන්පත් වීද එසේම වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලබා අඟහරු ලග්නගතවීද සිකුරු සත්වැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තා ක්‍රමයෙන් ධනවත් භාවයට පත්වනු ඇත. එසේම මේෂ රාශියෙහි රවි ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් කටක රාශියෙහි තැන්පත් වෙමින් උත්පත්තිය ලබන්නා වූ තැනැත්තා සිරිසැප ලබමින් ප්‍රසිද්ධ වන අයකු වේ.

පස්වැන්නාධිපති වූ ග්‍රහයා දෙවැන්නෙහි තැන්පත් වූයේද එකොළොස්වැන්නාධිපති ග්‍රහයා ලග්නයෙහි බලවත් වූයේද, දෙවැන්නාධිපති ග්‍රහයා එකොළොස්වැන්නෙහි තැන්පත්වූයේද එසේ උත්පත්තිය ලබන්නා වූ තැනැත්තා සැඟවුණු ධනයකට හිමිකම් කියන්නේය. සිකුරු හා සඳු දෙවැන්නෙහි බලවත්ව, කටක ලග්නය හිමිව උත්පත්තිය ලැබුවේද තම මව්පියන්ගෙන් ධනය ලැබීමෙන් පොහොසතකු වනවා ඇත.

කටක ලග්නයෙන් උත්පත්තිය ලබා බ්‍රහස්පති නවවැන්නෙහි තැන්පත් වූයේද, ලග්නාධිපති එකොළොස්වැන්නෙහි තැන්පත් වීද, අඟහරුද එකොළොස් වැන්නෙහි තැන්පත් වීද, එසේ උත්පත්තිය ලබන තැනැත්තා ධනවත් අයකු වනු ඇත. පස්වැන්නෙහි රවි තැන්පත් වූයේද, එකොළොස්වැන්නෙහි සිකුරැ තැන්පත් වූයේද, සෙනසුරැ මකර රාශියෙහි තැන්පත් වූයේද, එසේ උත්පත්තිය ලබන තැනැත්තාද ධන ධාන්‍යයෙන් ආඪ්‍යව සුඛිත මුදිත ජීවිතයක් ගෙවනු ඇත.
ධනයෙන් හා සැප සම්පත්තිය පිරි ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබන ග්‍රහ යෙදුම් තව ඇති අතර මෙහි සඳහන් කළ ග්‍රහ යෙදුම් යෙදුණු පුද්ගලයන් සමාජයේ ධනවතුන් ලෙස කැපී පෙනෙණු දැකගත හැකිය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරී, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ
ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00