2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

නැකැත් හරියටම කළොත් දෙදෙනාටම වරදින්නේ නැහැ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

පාපී ග්‍රහකාලවල සිදුකරන විවාහ ආසාර්ථකයි !

අද විවාහ මංගල්‍යවලදී නැකැත් අනුගමනය කරනවාට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඡායාරූප ගැනීම, අලංකරණය ආදී අවශේෂ කටයුතුවලටයි. ඒ නිසා නැකතට ලැබෙන්නේ දෙවන ස්ථානයයි. බොහෝ අය ජ්‍යොතිෂවේදියාට කියන්නේ නැකැත් සඳහා ගත කරන කාලය අඩු කරන ලෙසය. මේ අනුව නැකැත් සැකසීමේදී ජ්‍යොතිර්වේදියා ද අමාරුවේ වැටේ. මෙසේ නැකැත් වෙලාවල් අනුගමනය කිරීම අවශ්‍ය වන්නේ ඇයිද යන්න හා නැකැත් නොසලකා හිතුවක්කාර ලෙස කරන විවාහ කටයුතු සාර්ථක වේද යන්න විමසා බැලිය යුතුය.

මිනිසාගේ දෙවැනි උපත ලෙස සලකන්නේ විවාහයයි. එයට හේතුව යම්කිසි පිරිමියකු හෝ ගැහැනියක විවාහය දක්වා තනි තනිව තීරණ ගන්නා නමුත් විවාහයෙන් පසු එකිනෙකා සාකච්ඡා කර තීරණවලට එළඹ ඒවා ක්‍රියාත්මක කරන නිසාය. මෙලෙස පොදුවේ තීරණ ගන්නා විවාහ සාර්ථක වන අතර විවාහ යුවලක් වෙන වෙනම තිරණ ගන්නේ නම් එවැනි විවාහ අසාර්ථක වීමට බොහෝ දුරට හේතුවෙන බව පැවසිය යුතුය.

මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජ්‍යොතිෂ විද්‍යාව බැඳී පවතින බව අපි දනිමු. විවාහයේදී ජ්‍යොතිෂය ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වේ. පළමුවරට විවාහාපේක්ෂක දෙදෙනාගේ පොරොන්දම් ගැලපීම සොයා බලයි. ඉන් අනතුරුව මඟුල් උත්සවය සඳහා සැකසූ නැකැත් හුවමාරු කිරීම ද සිදුවේ. මෙම නැකැත් තැනීමේදී උපන් නැකතට අනුව සම්පත්, සාධන, මෛත්‍රී, පරම මෛත්‍රී යන නැකැත් විශේෂයෙන් යොදා ගැනේ.

කෙනකුගේ විවාහය සඳහා කේන්ද්‍රයේ හත්වැන්න ප්‍රධාන වේ. එය කලත්‍රස්නය ලෙස ද හැඳින්වේ. පුරුෂයකු නම් ස්ත්‍රිය සම්බන්ධයෙන් ද ස්ත්‍රියකු නම් පුරුෂයා පිළිබඳව ද ඒ දෙදෙනාගේ සම්බන්ධ අසම්බන්ධතා ගැන ද හතෙන් බැලිය හැකිය. එසේම ධන හානි, මහජන ප්‍රසාදය, තම රැකියාව පිළිබඳව ද හත්වැන්න කියයි. කෙනකුගේ රාගය හා කාම ශක්තිය ගැන ද හත්වැන්නෙන් බැලිය හැකිය. තවද හත්වැන්නේ උච්ඡ ග්‍රහ තත්ත්වයක් පවතී නම් උසස් විවාහයක් සිදුවේ. එසේම කේන්ද්‍රයේ හත්වැන්නේ ගුරු සිටීනම් මුලදී යහපත් විවාහයක් සිදුවුව ද පසුව බාධක ඇති වී. අවසානයේ විවාහ දිවිය කඩාකප්පල් වේ.

එසේම පොරොන්දම් ගැලපීමේදී කුජ දෝෂය ඉතාම තදින් බලපායි. තවද කුජ රාහු අටවැන්නේ නම් සදාචාර ශීලය බිඳගනී. තවද කුජ, රාහු පස්වැන්නේ සිටී නම් දරුපල අඩු වීමට හෝ නැත්තටම නැතිවීමට ද හේතු වේ. සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගේ කාල වකවානුවක් විවාහය සඳහා සුදුසුය. අනිකුත් පාපි ග්‍රහ කාලවල සිදු කරන විවාහ අසාර්ථක වූ අවස්ථා එමටය. කුජ හත්වැන්නේ සිටීම විවාහය ප්‍රමාද වීම හෝ කිසිදා විවාහයක් සිදු නොවීමට හේතු වේ'

අද සමාජයේ පොරොන්දම් ගැලපීම ගැන පමණක් නොව නැකැත් අනුගමනය කිරීම පිළිබඳව ද ඇත්තේ අඩු ලංසුවකි. බොහෝ විට නැකැත් තැනූවද ඒවා අනුව වැඩ කටයුතු සිදු නොවේ. මනාලිය සැරසීම සඳහා වැඩි වේලාවක් ගත කිරීම ඡායාරූප සඳහා දුරබැහැර තැන්වලට ගොස් ආපසු ඒමේදී මාර්ග අවහිරතා ඇතිවී නැකැත්වලට පැමිණීමට නොහැකි වන අවස්ථා ද ඇති බව මම අත්දැකීමෙන් දනිමි. වෙනත් කාර්යවලට ගියවිට නැකැත් වේලාව අමතක වීම ද සිදුවේ. නැකැත්වලට වඩා ඡායාරූපවලට ගරු කිරීම අද බොහෝ විට සිදුවේ.

අද ඇතැම් විවාහ දවසේ පස්වරුවේ සිදුකිරීමේ විලාසිතාවක් පවතී. රවි මුල්කරගෙන නැකැත් තනන නිසා පෙරවරුවේ පෝරුවේ චාරිත්‍ර කිරීම සිදුකෙරේ. රාත්‍රියේ කරන උත්සව කටයුතුවලදී සඳු ග්‍රහයා මුල්කරගෙන නැකැත් තනයි. කෙසේ වුවද මගේ පෞද්ගලික අදහස නම් සිංහල බෞද්ධ විවාහ චාරිත්‍ර දවසේ උදේ කාලයේ සිදු කිරීම වඩා සුබ බවය. එසේම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගෙන දේව පිහිට ද ලැබීම සඳහා අවශ්‍ය වන්දනා ද දේව ආරාධනා ද කළ යුතුය. බොහෝ අවස්ථාවල වෙලාව ඉතිරි කර ගැනීම සඳහා අෂ්ටක හා ජය මංගල ගාථා අඩුවෙන් කියන නමුත් එයින් ශුභ සිද්ධිය සලසාගත නොහැකිය. මනාල යුවල නියමිත නැකැතට පෝරුවට නංවා ඒ තුළ සිදු කරන චාරිත්‍ර සියල්ල නිසි පරිදි ඉටු කිරීමෙන් ශුභ මංගල්‍යයක් වනවා ඇත. පෝරුවෙන් බසින විට පොල් ගෙඩිය බිඳීම සිදු කරන්නේ වස්දොස් නැති කිරීමටය.

1980 වසරේ සිට පුරා වසර 38ක් මංගල යුවල් 1000ක් පෝරු මස්තකාරූඪ කර ඇති මා හට ස්ථිරව පැවසිය හැක්කේ ශුභ නැකැත් අනුගමනය නිසා විවාහ ජීවිත සාර්ථක වන බවය. මුලින් මාපියන් පෝරුවට නැංවූ මට පසුව ඔවුන්ගේ දූ දරුවන් ද පෝරුවට නැංගවීමට හැකිවීම මා ලැබූ භාග්‍යයක් ලෙස සලකමි. එසේම මෙම ශුභ කටයුත්තේ වටිනාකම රුපියල් ශතවලින් මැනීම ද නුසුදුසු වේ.

දේශබන්දු, ජ්‍යොතිර් විද්‍යාවේදී, දේශීය වෛද්‍ය කීර්ති පී. චන්ද්‍රසිරි
චන්ද්‍රකිරණ ජ්‍යොතිෂ සේවය,
92/ 1, ඉහළ බෝමිරිය, 
කඩුවෙල.

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30