2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ලේ නරක් කරන කුජ!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 475

කුජ ග්‍රහයා හැඳින්වීමට බොහෝ ජ්‍යොතිෂවේදීන් නම් කිහිපයක්ම  භාවිතයේදී යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලිපොලා යන ගතියක්, සිතට බියක්, සංකාවක්, ඇති කරයි. අඟහරු යනුවෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇති මෙම ග්‍රහයාට භූමි පුත්‍ර යනුවෙන් ද නමකි. තවත් විදිහකින් කියනවා නම් මිහිපුත් යනුවෙන් ද, මංගල යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. 

පොළොවට සමාන ගති ගුණයෙන් හෙබි ග්‍රහ වස්තුවක් වන කුජගේ වික්‍රමයෙන් මෙන්ම සාදන ලෙඩ රෝග ද බොහෝ වෙයි. කුජ ග්‍රහයා ගැන තවත් විස්තර සොයා  බැලීමේදී රක්ත වර්ණයට අයත් ලේ ධාතුවට ද  මූලික වශයෙන් අධිපතිකමක් දක්වයි. මේ අයුරින් විග්‍රහ කර බලන විට ලේ නරක් වීමෙන් ලේ දූෂ්‍ය වීමෙන් වැළඳෙන බොහෝ රෝග තත්ත්වයන් කුජ ග්‍රහයා නීච වීමෙන් දුර්වල වීමෙන් ඇති වන්නේය. විශේෂයෙන් අධික රක්ත රෝගයන්ට මොහුගේ දෘෂ්ටිය බලපායි. කුජ දුර්වල වීමෙන් උෂ්ණ රෝග ද ඇති කරයි. බොහෝ අධිපති ග්‍රහයන් සමඟ කුජ සංයෝග වී ඒකරාශීව සිටින විට දුර්වල වී ඇති කුජ නිසා උෂ්ණත්වය හේතු කොට ගෙන ලේ නරක් වීම කරණ කොට උෂ්ණ රෝගාබාධ ඇති කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ගබ්සා ඇති කිරීමට දුර්වල කුජ ප්‍රධාන වේ. එසේ වන්නේ කුජ 6 වැන්නේ දුර්වල වූ විටය. බොහෝ විට 7 වැන්නා පරික්ෂා කර බැලීමේදී කුජ දුර්වල වූ විට කාන්තාවන්ගේ ප්‍රසූතියට ද බාධා අවහිර සිදු වේ. එපමණක් නොව ගිනියම් වර්ගයේ ලේ උෂ්ණාධික රෝග ඇති කරයි. තවද ලේ ධාතුව විෂ වීමේ රෝගයෙන් මෙන්ම ඇස් රෝග, මුත්‍රාබාධ ලෙහෙසියෙන් ජන්මියාට ළං කරයි. මෙය බොහෝ විට සිදුවන්නේ අටවැනි රාශියේ කුජගේ පෙනීම දුර්වල වූ විටදී බව පෙනී යයි.

කෙනෙකුට ඇතිවන  විපත්, කරදර, බරපතළ රෝගාබාධවලට කුජ ඉතා ඉක්මනින් ළං වන්නේ ද කුජ දුර්වල වූ විටය. විටෙක කුජ දුර්වල වූ විට මාංශ පේශී, ඇස්වල අමාරැද, රැධිර දෝෂ, වාත ආබාධ, ජන්මියාට ළඟ කර දෙයි. වෙනත් ග්‍රහයන් සමඟ සංයෝග වූ විට තවත් බොහෝ අසනීපයන්ට කුජගේ දුර්වලතාවය  බලපායි. කුජ ප්‍රකටව ඇත්තේ යුද්ධයට අධිපතීත්වය දරණ ග්‍රහයෙක් වශයෙනි. මෙම ග්‍රහයා  උනන්දුව හා දක්ෂතාවය ද ලබා දෙයි. ඒ නිසා වික්‍රමාන්විත තේජස් බවක් ද ඇති කරයි.

පෙර ආත්ම භාවයන්හිදී අධික ලෙස කෝප වීම නිසා අන් අයට හිරිහැර කිරීමට මෙම ග්‍රහයා සැදී පැහැදී සිටියි. එසේ වූ විට ජන්මියාට  හිරිහැර කරන අතර කපා කොටා තුවාල කරන්නට කුජ හේතු වේ. ද්වේශ අන්දමින් පාප කර්ම රැස් කරගෙන තිබෙන ජන්මියෙකුට සිතෙහි හට ගන්නා බලවත් ආශාවන් හේතු කොටගෙන එසේ නැතිනම් තරහා නිසා අන් අයවලුන් තැති ගන්වමින් බියට පත් කරලීමට ද කුජ පසුබට නොවේ. යමෙක් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කර ඇත්නම් තමන් අමනාපව සිටින අයට ඇඟේ ලේ වතුර වන අන්දමින් තදබල මරණ බිය ගෙන දෙන්නේ ද කුජ ග්‍රහයා විසින්ය. තවද අතීතයෙහි බලවත් බිය වැද්දීම් කළහොත් එම ජන්මියාට කුජ තදබල ලෙසටම අපල බලපෑමට සලස්වයි. බොහෝ විට ජන්මියාට ලියුකේමියාව හටගන්නේ කුජගේ පාප කර්මය නිසාය.

පෙර ආත්ම භවයන්හිදී කරන ලද කර්ම හේතුවෙන් අධික දුක් විපත් ඇති කරන්නේ කුජ ග්‍රහයාගේ අනුග්‍රහයෙනි. අනෙක් අතට කල්පනා කර බැලීමේදී පෙර භවයන්හි කරන ලද අකුසල කර්මයන් බොහෝ දෙනෙක් පිළිගැනීමට මැලි වෙති. ඒ අවස්ථාවලදී හුඟ දෙනෙක් ලැජ්ජාවට බියට පත්වෙන බව පෙනේ.

ඒ අනුව සළකා බලන විට මේ ලෝකයේදී සිතන්නට බැරි තරම් යහපත් දේ කළත් සියවසක් උපේක්ෂා සහගත අල්පේච්ඡ ජීවිතයක් ගත කළත් පෙර ආත්ම භවයන්හිදී ජන්මියා කරන්නට යෙදෙන තදබල පාප කර්මයක් තිබුණොත් එවැනි දේ වළක්වා දැමීමට නම් කිසිවකු සමත්කම් නොදක්වයි. අපගේ තිලොවට තිලක වූ බුදුරජාණන් වහන්සේට පවා සංසාරයේ සැරිසරන අවධියේ බොහෝ වකවානුවලදී අකුසල කර්මවල විපාක විඳන්නට සිදු විය. එසේම මහත් බලසම්පන්න අග්‍ර ශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේට ද මීට ආත්ම ලක්ෂ ගණනකට පෙර මව්පියන්ට පහර දීමේ අකුසල කර්ම විපාකයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සොරැන්ගේ අතවරයට  ලක් වී පිරිනිවන්පාන්නට යෙදුන බව පෙනේ. කෙසේ වෙතත් මේවාට ප්‍රතිකර්ම නැතුවාම නොවේ.