2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ආදරය මරන්න නෙවයි ජීවත් වෙන්න

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 803

“මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා....."

“සණ්ඩු කරලා බැණුම් අහලා හැංඟි හැංඟි බැන්ද ප්‍රේමේ...
මහරාජා ආකල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර බලා හිඳිමි කීකරු වීලා.. කුණ්ඩුමනී..."

මේ එකම රචකයෙක් රචනා කරපු ගීත දෙකක්. ඒ රටටම හිටිය සම්පතක් වුණු ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස්. පළවෙනි ගීතය, “සඳකැන් වැසිලා" ගායනා කරන්නේ වික්ටර් රත්නායක. දෙවැනි ගීතය  ගායනා කරන්නෙ ප්‍රෙඩී සිල්වා. මේ සින්දු දෙකම වර්තමානයේ ආදර කතාවලට හරියටම ගැලපෙනවා.

කතාව මෙහෙම පටන් ගමු...

පහුගිය දවස් දෙක තුන ඇතුළත රටේ මිනීමැරුම් සිද්ධි තුනක් වර්තා වුණා. ඒකෙන් දෙකක්ම ප්‍රේම සම්බන්ධතා මුල්කරගෙන වුණු මරණ. එකක් මාතර තරුණයෙක් තවත් තරුණයෙක්ව ඝාතනය කරනවා, දෙක මොනරාගල තරුණයෙක් තරුණියක්ව ඝාතනය කරනවා. මේ බරපතළ ඛේදනීය තත්ත්වයන් දෙකක්.

වර්තමානයේ පටන්ගන්න බොහෝමයක් ප්‍රේම කතා අවසන් වෙන්නේ මහා ඛේදවාචකයකින්. බොහොමයක් ප්‍රේම කතාවල පළමු කාර්තුව ඉතාම රසවත්. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය හඳුන්වන්න සිංහල භාෂාවේ තියන ලස්සනම.. ආදරණීයම වචන තෝරගන්නවා. පැටියා, මැණික, රත්තරන්, සුදු අම්මි, සුදු මහත්තයා, පණ, වස්තුව වගේ මහා ප්‍රේමණිය වචන ගොන්නක්. මේ පෘථිවියේ කිසිම කෙනෙක් තමන්ට දෙවැනි නැති තරමට පුදුමාකාර ආදරයකින් තමන්ගෙ ආදරවන්තියව රැකගන්නවා.

එහෙම පටන්ගන්න ආදර කතාව යම් ආකාරයකින් බිඳ වැටුණොත් බොහෝ වෙලාවට තත්ත්වය ඉතාම දරුණු අතට පෙර‍ළෙනවා.

ඒ වගේම තමයි තරුණිය ප්‍රේමය ප්‍රතික්ෂේප කළහොත් බොහොමයක් පිරිමින්ට ඒ බැරිවීම ඉවසාගන්න, දරාගන්න  අපහසු වෙනවා. 

ඒ වෙලාවට අර තරුණිය කටගැස්මක් කරගන්න අවස්ථා ද ඕනෑතරම් අද සමාජයේ අපි දැකලා තියනවා. සුදු අම්මි, පණ, වස්තුව, චාටර් කෑල්ලක්, බඩුවක් බවට පරිවර්තනය කරනවා. ඒ හැමදේම කරන්නෙ ආදරය ඇතුළේ තියෙන පරාජය දරාගන්න බැරිවෙද්දි.

සමහරෙක් මෙතනින් එහාට ගිහින් අන්තර්ජාලය භාවිත කරමින් විශේෂයෙන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් අව්‍යාජ ගිණුම්වලින් අර තරුණියට මඩප්‍රහාර එල්ලකරනවා. නැතිනම් ඒ තරුණියගේ දුරකථන අංකය කාට හරි දීලා අපේ භාෂාවෙන් කිව්වොත් "බයිට්" කරනවා.

මේ සියල්ල අහිමිවීම තුළින් ඇතිවන බංකොලොත්භාවයන් මත ගනු ලබන වැරදි තීරණයි.

බහුතරයක් ආදරවන්තයන් මමත්වයෙන් පිරිලා ඉන්නේ. මම විතරයි. මගෙ විතරයි කියන හැඟීම යාළු වුණු දවසේ ඉඳලාම හිතේ මෝරනවා. ගෑනු ළමයට බෑ තව කොල්ලෙක් ආශ්‍රය කරන්න. පිරිමි යාළුවෙක් ඉන්නවත්, පිරිමි ළමයෙක් දිහා බලන්නවත් තහනම් කරනවා. ඔයා මගේ විතරයි කියන සංකල්පය ඔළුවට කිඳා බසිනවා.

මේකේ අනිත් පැත්ත ගත්තා වුණත් එච්චරම තමයි. ඊට නොදෙවෙනි නැහැ.

විරුද්ධ ලිංගික ගනුදෙනු වෙනවාට ඉතාම අකමැතියි සහ විරුද්ධයි. මේ නිසා ඔවුන් අතර නිරන්තරයෙන් ප්‍රශ්න ඇතිකරගන්නවා... අරූ කවුද මූ කවුද මොකටද කතා කළේ වගේ ප්‍රශ්න ගොඩක්. ෆේස්බුක්.. ඉන්ස්ටග්‍රෑම්  පින්තූරවලට ලයික් කළත් රණ්ඩු කරන තරමටම මමත්වය වර්ධනය වෙනවා.

මේ සෙවීම ආදරය නිසා වෙන දෙයක් හැටියට ඔවුනොවුන්ම සාධාරණීකරණය කරනවා. මුල්කාලය තුළ මේ සියලු දේ ආදරයෙන් නිරකරණය කරගත්ත ද කල්ගත වීමත් සමඟ සැකය උඩුදුවනවා.
සැකය ඇතුළේ එන්න එන්න පීඩාවට ලක්වෙන කොට ඇතිවෙන කලකිරීම නිසා ඈත්වීම් සහ අත්හැරීම් සිදුවෙනවා.

මේක ආදර සම්බන්ධතාවලදී විතරක් නෙමේ විවාහ වුණාට පස්සෙත් එහෙමයි. සැකය දලුලන්න දලුලන්න දෙපාර්ශවයම ක්‍රමයෙන් ඈත් වෙනවා. රණ්ඩු වෙනවා, ගහ ගන්නවා. මේ කිසිම පදනමක් නැති සැකය නිසා. අවසානයේ එක්කෝ මිනී මරාගන්නවා, නැත්‍තම් වෙන්වෙනවා.

වෙන් වෙන්නේ වෛරයක් එක්ක. ඒ වෛරය පිටකරන විධි කිහිපයක් තියෙනවා. සමහර අය තමන් විසින් තමන්ව විනාශ කරගන්නවා. ඒ කියන්නේ සියදිවි නසාගනන්වා. සමහර අය තමන්ගේ සහකාරියගේ ජීවිතය විනාශ කරනවා. තව අය මේ ආදර කතාවට එකතු වෙච්ච තුන්වැනි පාර්ශවය විනාශ කරනවා. එහෙමත් නැති නම් දෙන්නම විනාශ වෙනවා. තව අය තමන්ගේ ගෑනු ළමයා එක්ක බිරිඳ එක්ක ගත්‍ත ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදාහරිනවා. ඒ හරහා තමන්ගේ පරාජය වහගන්න උත්සහ ගන්නවා. තමන්ගේ පරාජයේ පලිය ගන්න උත්සාහ කරනවා. මේ නිසා අවසානයේ විනාශයක් මිසක් යහපතක් ජීවිතවලට වෙන්නේ නෑ. මේ නිසා ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන්නේ.

උඩින් තියෙන සින්දු දෙකේම ප්‍රේමවන්තයෙක්ගේ, සැමියෙක්ගේ ඉවසීම රචකයා ලස්සනට පැහැදිලි කරනවා. කුණ්ඩුමනී ගීතයේ තියෙන්නේ පොඩි කාලේ ඉඳලා තිබ්බ යාළුකමක් ක්‍රමක්‍රමයෙන් ප්‍රේමයට පෙරළිලා. ඔහු ළමා කාලයේ තමන්ගේ මිතුරියට ප්‍රේම කරනවා. ඒ මිතුරිය දමිළ කෙල්ලෙක්. මේ කෙල්ල සල්ලි තියන තම වර්ගයේම කෙනෙක් බැඳලා යනවා. ඒත් ඔහු අද කාලේ ප්‍රේමවන්තයෝ වගේ කලබල කරන්නේ නෑ. තමන්ගේ ප්‍රේමය ඝාතනය කරන්නේ නෑ. විනාශ කරන්නේ නෑ. ඔහු ඒක විඳින විදිහ හරිම අපූරුවට කියනවා.

“කුණ්ඩුමනී යන පෙරහැර බලාහිඳිමි කීකරු විලා...."

ඔහු කීකරුව බලාගෙන ඉන්නවා තමන් සතු වස්තුව වෙන කෙනෙක් අරගෙන යන හැටි. ඒ තමයි ඔහුගේ සංයමය.

“සඳකැන් වැටිලා" ගීතයේ කියන්නේ තමන්ගේ ජීවිතයට ආලෝකය ගෙනත් දුන්න බිරිඳගේ අනියම් ප්‍රේමය ගැන. තහනම් ප්‍රේමයකට බිරිඳ යොමුවෙලා නිසා තමන්ට ලැබෙන ආදරය දැන් නැවතිලා වැහිලා ගිහින්.

ඉතින් මේ පුද්ගලයාගේ ජීවිතයම දැන් පාළු අන්ධකාර රාත්‍රියක් බවට  කියලා එයා හිතෙන් හිතාගෙන තවත් තනි වෙන්නම උත්සාහ කරනවා.

ඔහු ආදරෙන් කියනවා  "මම කාගෙවත් හිත් බිඳලා නෑ. ඒ නිසා අදත් මම දෑත් බැඳගෙන මේ සියල්ල බලා සිටිනවා" කියලා. ඔහු අවසානයේ කාරුණික ඉල්ලීමක් කරනවා. ඔහු කියනවා අපි රණ්ඩු නොවෙමු. අපි මරාගන්නේ නැතුව ඉමු. අපි ඉවසලා කතාවෙලා අයින් වෙමු. හැබැයි, ඔයාගෙත් මගෙත් කතාවේ රහස් අහසට විතරක් මුදාහැරලා. ඔහු නොකියා කියන්නේ අපි අතර මොන ප්‍රශ්නය තිබ්බත් අපේ ජීවිත රහස් රැකගෙන වෙන්වෙමු කියලා.

මෙහෙම ප්‍රේමවන්තයෝ අද රටේ ඉන්නව ද කියන එක සැකයක්. හිටියත් ඒ අතලොස්සක්.

ගෑනියෙක් ගැන සැකයෙන් බලලා ඒ ගෑනිට ගරහන පිරිමි මේ සමාජය ඇතුළේ වැඩියි.  කොයිතරම් වැරදි කළත් ඒ පිරිමි හැමෝම තමන්ගේ ප්‍රේමවන්තිය, බිරිඳ ශුද්ධ වූ වස්තුවක් ලෙස බලාපොරොත්තු වෙනවා.

ඇය හොයන ආදරේ තමන්ගෙන් ඇයට නොලැබෙනවා නම් වෙනත් අයකුට ඈ පෙම්බඳිනවා නම් මොන පිරිමියද, මේක ඔයාගේ අයිතිය මම අයින් වෙන්නම් කියලා අයින් වෙන්නේ. එහෙම කිසිම කෙනෙක් නෑ. එහෙම දෙයක් ආරංචි වුණු ගමන් ගහන්න, මරන්න, කොටන්න  පිළිතුරු සරලව හොයනවා.

හැබැයි මානව සබඳතා හරි සංකීර්ණයි. පිරිමියෙක්ට ගෑනියෙක් වෙත හිත ගියාට ගෑනියෙක්ට පිරිමියෙක් වෙත හිත යන්න පුරුෂ මූලික මේ සමාජය ඇතුළේ ඉඩක් නෑ. මගේ දේ මට වෙන එකෙක්ට නෑ. මට නැත්තන් වෙන එකෙක්ගේ අතට යන්න දෙන්නේ නෑ කියන පටු අරමුණ තමයි අද වෙනකොට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ.

විශේෂයෙන් අද තාක්ෂණය දියුණුයි. මානව සබඳතා ඉක්මනින් ගැටගැහෙනවා. එතනදී ලිංග බේදයක් නෑ. හැබැයි, සංකීර්ණ සමාජය ඇතුළේ ලිංග බේදය රකින්න රකින්න ප්‍රේමය දිරාපත් වෙනවා නොදැනීම.

මිතුරන් පවා වැරදි අයුරෙන් දකින්න පුළුවන්. ඒ නිසා හැම තිස්සෙම හදවතින් වගේම බුද්ධියෙනුත් ප්‍රේම කරන්න. ඒක බැඳීම්වලට ඉතා ගෞරවයක් ලබාදෙන අවස්ථාවක්. ඔබ ප්‍රේම කරන්න ඕනේ මරාගන්න නෙමෙයි, ජීවත් වෙන්න. මරන්න. මැරෙන්න ලේසියි. ජීවත් වෙන්න අමාරුයි.

හැම වෙලාවෙම ඔබ ආදරය කරන්න එපා මරන්න හෝ මැරෙන්න හිතාගෙන. ඔබ ආදරය කරන්න ජීවත් වෙන්න.

- මනෝ