2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට පය තිබ්බ ජනාධිපති, රොකට් එක හදපු කොල්ලට ලක්ෂ සීයක් දෙන්න පොරොන්දු වුණා. කතාව පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ඒ සල්ලි දුන්න එක ගැනනම් ආයේ කතා දෙකක් නෑ, එළ කිරි කියලා. හැබැයි ජනාධිපතිතුමාට වැඩ ගොඩක් නිසා මේක අමතක වෙන්න ඉඩකඩ ප්‍රමාණය වැඩි නිසා කවුරුහරි ඔය පඩි අරගෙන උපදේශක තනතුරු දරන කෙනෙක් මේ සල්ලි ටික නිතර මතක් කළොත් හොඳයි. මොකද, ආණ්ඩුවට සල්ලිත් නෑ කියනවනේ.

කතාව ඒක නෙමෙයි, රටේ ජනාධිපතිවරයා මේ කොල්ලා කරපු වැඩේ ගැන සතුටුවෙලා ලක්ෂ සීයක් දෙන්න පොරොන්දු වුණාට මේක මීට කලින් දැක්ක එක නිලධාරියෙක්ට මේ ගැන කැක්කුමක් සතුටක් ආවේ නෑ. කොල්ලා කියනවා මේක හදලා උඩ යවන්න අවසර ඉල්ලලා තැන් කීපයකට ගියත් එකෙක් නෙමෙයිලු මේකට අවසර දුන්නේ. ඒ කියන්නේ මේ මොකක්ද, මේ ළමයා කොච්චර අමාරැවෙන් කළ දෙයක්ද කියලා එකෙක් බලලා නෑ. නිකම් හරි මේ ප්‍රදර්ශනය නොතියා ජනාධිපතිවරයත් දැක්කේ නැත්නම් රොකට් එක උඩ කෙසේ වෙතටත් මේ වෙනකොට අඩි හයක් පොළොව යටට ගිහින් මේ කොල්ලට එපාවෙලා. ඒ අතින් අපේ රටේ නව නිෂ්පාදකයන්ට තියෙන තැන දැක්කම තනි ඇහැට ඇඬෙන්නේ.

ලෝකේ නව නිෂ්පාදන කරන්නේ තරුණයෝ, පොඩි ළමයි. උන්ව ඇකඩමිවලින් හදලා එළියට දානවා. උන්ගේ භූමිය නිදහස් නිසා උන් ඕන විදිහක අත්හදාබැලීම් කරනවා. කාගෙන්වත් අවසර ගන්නේ නෑ. කවුරුත් හොයන්නේ නෑ. උන්ට වරදින්න වරදින්න උන් අත්හදා බලනවා.

ඒත් අපේ ලංකාවේ දෙයක් හදලා ඒක අත්හදා බලන්න කී දෙනෙක් ගාවට යන්න ඕනෙද? මේ වැඩේ ගොඩදාන්න රාජ්‍ය ආයතනවලින් දෙන සහයෝගය මොකක්ද? කිසිම දෙයක් දෙන්නේ නෑ. මේ ඉස්කෝලේ කොල්ලා තවම මෝරන වයසක ඉන්නේ. උගේ ඔළුවේ අලුත් දේවල් නිර්මාණය වෙනවා. අලුත් සිතුවිලි එනවා. ඒත් මේ වගේ පරිසරයක ඌට ඒවා නිර්මාණය කරගන්න පුළුවන් වෙයිද? ඇයි? හැමතැනම බාධක. කිසිම කෙනෙක්ගෙන් යහපත් ප්‍රතිචාර නෑ. හැමෝම හදන්නේ කම්මැලිකමේ ඉන්න. උනන්දුවෙන් වැඩ කරන එකත් උන්ගේ කම්මැලි ගොන්නට දාගන්න හදන්නෙ. ඊටපස්සේ ඌවත් කම්මැලියෙක් කරලා නිකමෙක් කරන තැන තමයි ගොඩක් ආයතනවල නිලධාරීන් ඉන්නේ.

එක්කෝ ඒකෙන් ඌ මේ නිර්මාණ සිහිනය අත්හරිනවා. නැත්නම් ඌ සහජයෙන් ගෙනාපු දක්ෂතාවය ඔපමට්‍ටම් කරලා රටෙන් යනවා. ඊටපස්සේ නහයෙන් අඬනවා බුද්ධි ගලනය කියලා. මේ යන විදිහට බුද්ධි ගලනය නෙමෙයි බුද්ධි සෝදාපාලුව වෙන්නේ. ඇයි එකෙක් දෙන සහයක් නෑනේ.

මේ තරැණයා ඉතාම බැගෑපත්ව ඉල්ලන්නේ කල්පිටියෙන් උඩ යවන්නයි, 125000 ගුවන් යානා තෙලුයි. ඒක ඉල්ලලා වටේ යනවා. එකෙක් නෙමෙයි උදව් කරන්නේ. අන්තිමට ජනාධිපතිට කිව්වම හා කියනවා. එතකොට මේ නිලධාරීන් කරන්නේ වංචාවක් නෙමෙයිද? මේ කරන්නේ බුද්ධිය සහිත තරුණයන් මරාදැමීමක් නෙමෙයිද? අර 88/ 89 කාලේ වගේ. ඒ නිසා දැන්වත් මේ නව ලෝකය දිහා වෙනස්ව බලන උන්ට වැඩිහිටියෝ පාර කපලා දෙමු, ඉස්සරහට යන්න. එහෙම නොවුණොත් ඔය වගේ දක්ෂ ළමයි ගොඩක් අතරමං වෙනවා. ඒ වැඩේ කරන්න එපා. මේ අපේ රටේ අනාගතය.

මම 
බ්‍රෝ

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00