2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

සුපර් සයිස් බොරුව

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

පසුගියදා කිරිකෝපි මිශ්‍ර අයිස් කැට බ්ලෙන්ඩ්කර දමා හදන පානයක් වන කැෆේ ෆ්‍රපුචීනෝ රහ කෙසේදැයි සොයන්නට සුපිරි ක්ෂණික ආහාර කඩයක වාහනයේ සිටියදීම ආහාරපාන මිල දී ගත හැකි තැනට ගියෙමි.

2004දී ‘සුපර් සයිස් මී’ නමින් වාර්තාකරණ චිත්‍රපටියක් නිෂ්පාදනයෙන්, හොඳම වාර්තාකරණ ඇකඩමි සම්මානයකට නාම යෝජනා ලබන්නටත්, එසේම 2004 සන්ඩාන්ස් සිනමා උළෙලේ දී අධ්‍යක්ෂණය සඳහා වූ මහා තෑග්ග දිනාගන්නත් සමත් වූයේ මෝගන් ස්පර්ලොක් නැමැත්තාය.

මේ චිත්‍රපටිය මම නරඹා නැත්තෙමි. සමහර විට ඒ මම නිරතුරු එම ආහාර ගැනීමට නොයන අයෙක් නිසා වෙන්නැති!!

චිත්‍රපටයේ ආරම්භයේ දී ශාරීරික වශයෙන් නිරෝගී අයෙක් හැටියට තමන්ව හුවා දක්වමින්, දවස් 30 කාලයක දී එම කඩයෙන් පමණක් තුන් වේලටම ආහාර ගනිමින් එම ආහාරවලින් සිදුවන අහිතකර විපාක සොයා ජනතාව දැනුවත් කිරීම නිෂ්පාදකයාගේ අරමුණ විය.

මිල දී ගන්නා ආහාර වේල ‘සුපර් සයිස්’ කරන්නදැයි එම ආහාර කඩයේ සේවකයෙක් ඇහුවොත් පමණක් ඔහු එසේ මිල දී ගත්තේය. කඩයේ ඉදිරිපත් කරන ආහාර වර්ග හැම එකක්ම එක වරක් හෝ කෑම මෙන්ම වතුර බෝතලය පවා එතැනින් ලබාගත්තක් විය යුතු යැයි ඔහු තීරණය කර තිබුණි. එමෙන්ම, සාමාන්‍යයෙන් කැලරි පන්දාහක් දිනපතා ගිල දැමූ ඔහු සාමාන්‍ය අමෙරිකන් වැසියෙක් මෙන් ඇවිදින ව්‍යායාමයක් හෝ කළ යුතුව තිබුණ ද එය නොකළේය.

දවස් පහක් යද්දී ඔහුගේ බර වැඩිවී, හිස රුදාව මෙන්ම විෂාදය දැනෙන්නට ද පටන් ගෙන තිබුණි. මේ කාලයේ දී ඔහුගේ එවක ආදරවන්තිය පවසා සිටි අන්දමට ඔහුට ලිංගික ආස්වාදයට ඇති කැමැත්ත ද අඩු වී යන ලදී. හෘදය ස්පන්දනය වැඩි වී අක්මාවේ ආසාදනයක් ද හටගති. ජනතාව දැනුම්වත් කිරීමේ පරිත්‍යාගශීලි අරමුණින් අත්හදා බැලීම අවසන් කරන තුරු ඔහු ඒ සඳහා වෛද්‍ය උපදෙස් හෝ බෙහෙත් නොගත්තේය.

අමෙරිකන් ඩොලර් 65,000 ක් යටකර හැදූ වාර්තා චිත්‍රපටයෙන් ඔහු මිලියන 22.2 ක් උපයන්නට සමත් විය.

වාර්තාකරණය බෙදාහරින්නේ වැදගත් පණිවුඩයක් යැයි කියූ අය බොහෝ වූහ. අමෙරිකන් ජනතාවගේ බර වැඩිවීම ‘පැතිරෙන වසංගතයක්’ හැටියට උලුප්පමින් ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍ය යැයි කියන අය බහුල වූ කාලයකි ඒ.

මෙම අවන්හලින් කෑම නිසා බර විශාල ලෙසින් වැඩි වූවා යැයි කියූ කෙල්ලන් දෙදෙනෙක් අවන්හලට එරෙහිව නඩුවක් ද ගොනු කළහ. ඔවුන් එය දිනුවේ නැතත් බොහෝ ක්ෂණික ආහාර සපයන කඩවල් ‘සුපර් සයිස්’ කරන්නදැයි ඇසීම නැවතා දැමූහ. මුළු අමෙරිකාවටම බලපාන නීති ගෙනෙන්නට නොහැකි වූවත්, ප්‍රාන්ත හා නාගරික වශයෙන් ක්ෂණික ආහාර සපයන ව්‍යාපාරවලට විවිධාකාරයෙන් බලපෑම් කරන්නට හැකියාව පෑදිණ.

එයින් ලද ජනප්‍රියත්වයෙන් තවත් එවැනි වැඩ සටහන් ගෙනෙන්නට ස්පර්ලොක් සමත් විය. 2017 දී ‘සුපර් සයිස් මී 2: හෝලි චිකන්!” යැයි වාර්තාකරණයක් ගෙනෙන්නට ද හේ සමත් විය. අමෙරිකන් ඩොලර් මිලියන 3-5 කට එහි බෙදාහැරීමේ අයිතිය මිල දී ගත්තා යැයි යූටියුබ් දැනුම් දුන්නේය.

ඒත් මේ දෙවැනි වාර්තාකරණය තිරගත කිරීම 2018 සන්ඩාන්ස් සිනමා උළෙල ප්‍රතික්ෂේප කළහ. යූටියුබ් ද එය අත්හැරියහ. ඒ ස්පර්ලොක්ට කාන්තා අපහරණය සහ දූෂණය ගැන චෝදනා එල්ලවීම නිසයි.

ජීවිත කාලය පුරාම තමා ලිංගික බලාත්කාරකම්වලට හුරුවූ සිටි බව කියමින් තමනට සිටි සියලු භාර්යාවන්ට සහ ආදරවන්තියන්ට තමන් ද්‍රෝහී වූවා යැයි ස්පර්ලොක් පාපෝච්චාරණය කළේය.

මෙම ලිංගික බලාත්කාරකම් ගැන පාපෝච්චාරණයේ දී ස්පර්ලොක් අතින් ඔහුගේ සුපර් සයිස් බොරුව හෙළි වුණි. වයස 13 දී පටන් මතට ලොල්ව සිටි ඔහු වසර 30 ක කාලයක දී එක සතියකට වඩා sober හෙවත් මතෙන් පිරුණු කාලයක් ගත කර නැතැයි හෙළිදරව් කළේය.

ඔව්, මේ දවස් 30 ක් පුරා තුන්වේලට සුපිරි ක්ෂණික ආහාර කාපු නිසා තමන්ගේ අක්මාව නරක් වූවා යැයි කියූ පුද්ගලයාම තමයි.

අරුණි ශපීරෝ