2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

හෙළයන්ගේ ඉංග්‍රීසි බල්ලෝ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3842

මේක බල්ලන් ගැන කතාවක්. හැබැයි බලු කතාවක් නෙමෙයි. සිංහලයන් තමන්ගෙ භාෂාවේ විශිෂ්ටත්වය, අභිමානය ගැන ලොකුවට පම්පෝරි ගැහුවට හිත යටින් ඒ ගැන තියෙන්නෙ හීනමානයක්. සිංහලෙන් කතා කිරීම බාල්දුවක් ලෙස හිතන සිංහලයන් කතාව අතරතුර ඉංග්‍රිසි කෑලි දාන්නත් අමතක කරන්නෙ නෑ. මේ හීනමානය කෙතරම්ද කියනවානම් ලංකාවෙ මිනිස්සු බල්ලන්ට දාන්නෙත් ඉංග්‍රිසි නම්. මහත්තයගෙ නම “සිරිපාල” වුණාට බල්ලගෙ නම “ෂැගී”. නෝනාගෙ නම “පාරමී” වුණාට බල්ලාගේ නම “පපී”. මේකට හේතුව බල්ලන්ට සිංහල නමක් දැම්මම ඒක ගතියක් නෑ කියලා හිතන “බලු මානසිකත්වය”. ඒ මානසිකත්වයට බලු කිව්වට තමන්ගේ දේට වඩා පිටින් ආපුවා බල්ලන්ට නම් වටින්නෙ නැතිව ඇති. “කළුවා ඉජුක්” කියනවට වඩා “බ්ලැකී කූ කූ” ගාන එක තමන්ගෙ තත්ත්වය ඉහළ යාමක් විදියට බොහෝ අය දකිනවා.

මේ නිසා ලොකු ගාණකට මිලදී ගන්න වංශවත් කියලා හිතන බල්ලන්ට වගේම දෙන දෙයක්  කාලා ගෙදර අගුපිලේ ලගින “නිකම් බල්ලෙක්ට” වුණත් දාලා තියෙන්නෙ ඉංග්‍රීසි නමක්. ටොමී, ෂෑගී, බ්ලැකී, ස්කූබ්, රෙක්ස්, රොක්ස්, ජෙරී, බ්‍රවුනි, පින්කි, වේටා, පපී වගේ නම් බල්ලන්ට තිබුණට රාජි, සුජා, සමී, දයා වගේ නම් බල්ලන්ට නෑ. සිංහල නමක් තියෙන බල්ලෙක් ඉන්නවා නම් ඒ ඉතාම කලාතුරකින්.

මෝස්තරේට ඉංග්‍රිසි නම් බල්ලන්ට දැම්මට කළුවා, දුඹුරා, රෝසි, ගමයා, ටිකිරා, පුල්ලි වගේ බල්ලන්ට  දාන්න පුළුවන් ලස්සන සිංහල නම් ඕන තරම් තියෙනවා. ගෙදර ඇති කරන බල්ලන්ට ඉංග්‍රිසි නම් දැම්මට අනුන්ගෙ බල්ලන්ට නැතිනම් දඩාවතේ යන බල්ලන්ට නම් දාන්නෙ‍ “සෙරප්පු හොරා”, “පාන් හොරා”  වගේ නම්. 

බලු නාමකරණය මෙහෙම වුණත් කතන්දරවල බල්ලා අමතන්නෙ “බලු මහත්තයා” නැති නම් “බලු රාළහාමි” යනුවෙන් ගෞරවපූර්ව විදියට. නමුත් සිංහලෙන් කියන එකේ ගතියක් නැති නිසා “ඩොගිසන් මහත්තයා” යනුවෙන් ඉංග්‍රීසි ඌරුව ගත්තම හරි. මේ ආකාරයේ බලු මහත්තුරු, බලු රාළහාමිලා ජනකතාවල ඕනඋතරම් හමුවෙනවා.  “සුදු පුංචා” කතාවෙ නම් ඉන්නෙ “ඩොගිසන්” මහත්තයෙක්.

ඒ කෙසේ වෙතත් නමටත් වඩා වැදගත් වෙන්නෙ බල්ලගෙ කුලේ. බල්ලො ගැන උනන්දු නැති අයට නම් හැම බල්ලම එකයි. නමුත් විදේශීය සම්භවයක් සහිත ප්‍රතාපවත් රුදුරු පෙනුම තියෙන නැතිනම් කන් එල්ලා වැටෙන සියුමැලි බල්ලන් සැලකෙන්නේ උසස් කුලයේ අය ලෙස. මේ මිල අධික බල්ලන් වංශවත් අය නිසා සැප පහසුකම් ඇතුළු විශේෂ සැලකිලි අවශ්‍යයයි.  තව  විශේෂ බලු ප්‍රභේදයක් ඉන්නවා. ඒ “පොලිස් බල්ලො”.

සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට නම් පොලිස් බල්ලොත් වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් ගැන කියන්න ගියොත් මේ කතාව බලු කතාවක් වෙනවා. අනෙත් වර්ගය නම් සැබෑම “බලු රාළහාමිලා”. ඒ බල්ලන් ශ්‍රී ලංකා පොලීසියේ කටයුතුවලට යොදා ගන්නා විශාල සේවයක් ඉටුකරන නිල සුනඛයන්. තව අතරමැදි කුලයක් තියෙනවා. ඒ “කලවම් බල්ලො”. වැදගත් විදියට කියනවා නම් “දෙමුහුන්” බල්ලන්. විදේශවලින් ගෙනෙන මිල අධික බල්ලෙක් මිලදී ගන්න වත්කමක් නැති අය මේ වර්ගයේ අය මිලදී ගන්නවා. පහළම කුලයේ ඉන්නෙ, අගුපිලක පැටව් දාලා බෝවෙන, විශේෂ පහසුකම් අවශ්‍ය නැති, අගුපිලේ වළක් හාර ගෙන නිදා ගන්න “බලු නකුටන්”.

සිංහලයට වංශවත් නැත්නම් ඒ වගේ පේන ඕන බල්ලෙක් “ඇල්ටේෂන්”. පහත් කුලේ ඕන එකෙක් “වල්ටේෂන්”. ඇල්ටේෂන් බල්ලන්ට හිමිකරැවන් ගරු සැලකිලි දක්වද්දි වල්ටේෂන් බල්ලන් ස්වාමියා අාවාම නගුට වනලා පිළිගන්න ස්වාමියා ආරක්ෂා කරමින් ආදරය දක්වන බල්ලන්. මේ වල්ටේෂන් බල්ලෙකුට එක වතාවක් කෑමක් දුන්නොත් දකින හැම අවස්ථාවක වලිගය වනා කළගුණ දක්වන්න අමතක කරන්නෙ නෑ.

ඉංග්‍රිසි නම් දැම්මට බල්ලන්ට ඉංග්‍රිසි සාහිත්‍යයක් නම් නෑ. ඕන බල්ලෙක් “Dog” එච්චරයි. නමුත් සිංහලයෙදි පිරිමි සතෙක් නම් “බල්ලා”. පැටියෙක් නම් “කුක්කා”. ගෑනු සතෙක් නම් “බැල්ලි” ගෑනු පැටියෙක් නම් “කික්කි”. Canis lupus familiaris ලෙසින් විද්‍යාත්මකව හඳුන්වන ගෘහස්ථ බල්ලා, සිංහලයේදී බල්ලා, සුනඛයා, ශුනකයා, දඩෝරියා වෙනවා විතරක් නෙමෙයි බල්ලන්ට වෙන්වුණු බලු ශබ්ද කෝෂයකුත් තියෙනවා. මුවො, ඌරෝ කෑ ගැහැහුවට බල්ලො කරන්නේ “බුරන” එක. හඳ එහෙම තියෙනවා නම් “උඩු බුරැලනවා”.

බල්ලන්ට අඬගහන්න එලවන්නත් වෙනම වචන තියෙනවා. බල්ලො එලවන්නෙ “දුප්” කියලා “දුබ් බල්ලා” කියන අයත් ඉන්නවා. අඬ ගහන්නෙ “ඉජුක්” කියලා. “බලුදෙණි” නැති නම් “හඹුකොටු” ගන්නෙ බල්ලන්ට කෑම දෙන්න. බල්ලව බැඳලා තියන්න ඕන නම් ගන්නෙ “බලුකඳ”. සිංහලෙන් “බල”යන කෘදන්ත පදයට “ආ” ප්‍රත්‍ය එක්වීමෙන් “බල්ලා” යන නාම පදය හැදෙනවා.

වර්තමානයේ ගෙදර තත්ත්වෙ පෙන්නන්න බල්ලො ඇති කළත් අතීතයේ බල්ලො ඇති කළේ ආරක්ෂාවට නැත්නම් දඩයමේ යන්න. අද වුණත් පොලීසියෙන් අපරාධ සොයන්න බල්ලො යොදා ගන්නවා. මේ නිසා බල්ලගෙ වැඩේ  “පරීක්ෂාව” හෙවත් “ බැලීම” එක “බල” යනු බලනවා යන්න. ඒ අනුව බලන්නා බල්ලා වෙලා තියෙනවා.

බල්ලන්ට ඉංග්‍රිසි නම් දැම්මට ඉංග්‍රීසියට වඩා බල්ලට සලකලා තියෙන්නෙ සිංහලයො. සිංහලේ මොන තරම් තැනක් බල්ලන්ට තියෙනවා නම් බල්ලන්ට අඬගහන්න වෙනම අකුරක් පවා සිංහල හෝඩියේ තියෙනවා. ඒ “ඦ” අක්ෂරය. මේ අක්ෂරය භාවිතා වෙන එකම තැන බල්ලන්ට අඬගහන්න භාවිතා කරන “ඉඦු” කියන චනය ලියන්න විතරයි.  ලෝකෙ වෙන කිසිම භාෂාවක එවැනි අවස්ථාවක් හමු වෙන්නෙ නෑ. අපේ භාෂාවෙ එච්චර තැනක් බල්ලට පවා දීලා තියෙනවා. හැබැයි ඒ තරම් පොහොසත් භාෂාවක් තියෙද්දි ඒක භාවිතා කිරීම ලැජ්ජාවක් කරගත්ත අපි බලුවෙලා, බල්ලා සුද්දා වෙලා තියෙනවා.

►අසිරු කරුණාරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00