2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

කොවුලාගේ නව ලිබරල් කූජනය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 85

සූර්යයා මීන රාශියෙන් මේෂ රාෂියට සංක්‍රමණය වීමට නියමිතය. ඒ සංක්‍රමණය සැමරීමට අපි සැදී පැහැදී බලා සිටිමු. විද්‍යුත් මාධ්‍ය මේ සැමරිල්ලට ලකලෑස්ති වූයේ සූර්යයා සිය ස්ථාන මාරුව ගැන සිතන්නටත් කලිනි. කුළුදුල් කූජනය එරබදු අතු මතින් නොව රූපවාහිනී තිර තුළින් ඇසෙන්නේ ඒ අනුවය. අවුරුදු කුමාරයා ද පළමුව නෑගම් ගොස් තිබෙන්නේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් බැහැ දකින්නටය. රෙද්ද හැට්ට පැලද, තෙල් ගා හිස පීරාගත් නෑනාවරියන් ඔංචිලි වාරම් ගයමින් අවුරුදු කුමාරයාට ආයුබෝවන් කියන්නේද කැමරා ඉදිරිපිටය. රත්වුණු රබානට අතින් මිටින් තට්ටු කරමින් සම්පූර්ණ දේශීය පන්නයට අවුරුදු කුමාරයාට ආචාර පෙළපාලි පවත්වන්නේද මාධ්‍ය නාලිකා ඇතුළේය. 

නියම්ත වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී නිසි පමණට මේකප් ද උලා තිතට නැකතට ළිප ගිනි මොලවන්නේද මාධ්‍ය ආයතනවලම පමණි. බලන්න. මව්බිමේ ඉපැරුණි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍රයන්ට පරමාදර්ශී ලෙසට ගරුකරන එබදු හොඳ දරුවන් රටකට ජාතියකට වාසනාවකි. ඔවුන්ගේ ඒ යහපත් ගති පැවතුම් අපටද බෝ කරන්නට ඔවුන් විවිධ අත්හදා බැලීම්හි නියැ‍ළෙති. මුළුතැන් ගෙටත්, කෑම කාමරයටත් නැකතට කැමරාව හරවන ඔවුන් පෙර කී චාරිත්‍ර වාරිත්‍රයන්ට දිවි හිමියෙන් ගරු සරු කරන රාජ්‍ය නායකයන් පෙන්නීමටද අමතක නොකරති. එබදු නායක කාරකාදීන් හා ගනුදෙනු කිරීමද නැකතටම සිදු වෙයි. එහිදී බැඳුම්කර වංචාව හෝ ඒ පන්නයේ නානා විධ ජාතික මංකොල්ලයන් කාටවත් මතක් වෙන්නේ නැත. ඉනික්බිති බටපොතු පෙට්ටියට කැවිලි පෙවිලි පුරවන් නියර දිගේ ලන්ද දිගේ නෑගම් යන නංගිලාය. මල්ලිලාය. ඔවුන් එහෙම යන විට තැනක කැට ගසති. තැනක පංච දමති. තැනක එළුවන් අල්ලති. තැනක පොර පොල්. තව තැනක අං අදිති. උපන්තේකට දැකලා නැති අහලා නැති සෙල්ලම් ගොඩක් කෙරෙති. බුලත් දී දෙපා නැමද නෑ සියන් හා පැරැණි විරසකකම් අමතක කොට දමන්නේද ඒ හා සමඟ මේවා මෙහෙම දකිද්දී දෙදහස් පන්සිය වසරක සිංහල සංස්කෘතිය පිළිබඳ අභිමානයෙන් ඇඟේ ලේ උණු වෙති. කකියති. අන්න ඒ වෙලාවට ඇඳ යට හංගා ගෙන ඇති බෝතල් එළියට අදිති. දෙකක් දා ගනිති. ළගම ඇති හන්දියට පැමිණෙති. තාන් සුවඳ සරම බෙල්ලට ඔසවා ගනිති. සැබෑ ලෙසටම අවුරුදු සමරති. හැබැයි ඒ අන්තිම කොටසට කිසිම නාලිකාවක කැමරා හැරවෙන්නේ නැත.

මාධ්‍ය ආයතනයට ගොඩබසින අවුරුදු කුමාරයා සෞභාග්‍යයේ උත්කෘෂ්ඨ නි‍යෝජිතයා වන විට පොදු ජනී ජනයා කරා පැමිණෙන්නේ පාපිෂ්ඨ දුෂ්ඨයෙකි. ඔහු සිටින්නේ අසහනයෙනි. ඔහු සිටින්නේ ආර්ථිකයේ අසාමාන්‍ය බරක් දරා ගනිමිනි. එහෙත් නව අවුරුදු සිරිත් එලෙසින්ම සැමරීමට ඔහු ජනතාවට බල කරයි. දෛනික ජීවන අර්බුදයන්හි පීඩනය රටේ බහුතරයකට ඉතුරුම් සඳහා දිරි නොදේ. ණයක් තුරහක් වී හෝ අවුරුදු කාපිය යැයි කුමාරයා කෙවිටෙන් තලන්නේ එතකොටය. ඒ තරවටුවෙන් ගැලවෙන්නට දත්මිටි කකා හෝ අවුරුදු කන්නට බොහෝ දෙනා පෙළඹෙති. එහෙම ජනතාවකට අතීතයේ අවුරුදු සැමරුවේ කෙසේ දැයි පොත් පත් පෙරළ පෙරළා බලන්නට වෙලාවක් කලාවක් නැත. එහෙම බලන්නට වුවමනාවක්ද නැත. සංස්කෘතිය යනු ව්‍යවහාරයකි. එය එක තැන ගල් ගැසී ඝණීභූත වී පවතින්නේ නැත. එය ඉදිරියට ගලන්නේ නව අංග එකතු කර ගනිමින් පැරණි අංග ගිල්වා දමමිනි. පුරාණය අරභයා අපට අතීත කාමයක් ඇති වග ඇත්තකි. සමහර විට අවුරුදු කාලයට වල කජු සෙල්ලම් කළ අවසාන පරම්පරාව අප වන්නට ඇත. එසේ යැයි කියා මේ පරම්පරාවටත් ඒ සෙල්ලමම කරන්නටයැයි අපට බලකරන්නට නොහැකිය. ඒ ක්‍රීඩා අභාවයට යන්නට බලපෑ සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. ජනගහනය වැඩි වී වනාන්තර එළි පෙහෙළි කරන විට කජු ගස්වලටද පොරෝ පහර වදින්නට ඇත. ඉස්සර ඕනෑම ගම්මානයක ඉහත්තාවේ කැලෑ බද පෙදෙසක් තිබුණි. එහෙත් දැන් වනාන්තරයක් නරඹන්නට අප අධ්‍යයන චාරිකාවක්ම යා යුතුය. සමහර වෙනස්කම් සිදුවන්නේ අන්න එබඳු භෞතික බලපෑම් වලිනි. එවැනි භෞතික හේතු අපේ කැමැත්තට ‍හෝ අකමැත්තට පාලනය කළ නොහැකි එපිටකින් පවතී. දැන් අවුරුදු කාලයට ක්‍රිකට් තරග බහුලය. මේ යන විදියට අනාගතයේ ක්‍රිකට් ජනප්‍රියත්වයෙන් අඩු වී වෙනත් ක්‍රීඩාවක් ඒ තැන අත්පත් කරගන්නටද බැරි නැත. එවිට අවුරුදු කාලයට දකින්නට ලැබෙනු ඇත්තේ ඒ මොකක් හරි ක්‍රීඩාවක්ය. අද ක්‍රිකට් ගසන උදවිය එදාට අතීත කාමයෙන් තැවෙනු ඇත. එය වල කජු සම්බන්ධයෙන් අපට ඇති අතීත කාමයෙන් වෙනස් වන්නට හේතුවක් නැත.

සංස්කෘතිය ප්‍රවාහයක් ලෙස පෙරට ගලන්නේ අතීත කාමයේ රොන්මඩ අප කාගෙ කාගෙත් හද ඉවුරුවල අනවශ්‍ය පමණට ගොඩ ගසමිනි. අද විකුණන්නේ මොකක්ද, හෙට විකුණන්නේ මොකක්දැයි බලා හිදින මාධ්‍ය මුදලාලිලාට මේ වනාහී ලාභ උල්පත් මවන වෙ‍ෙළඳපොළකි. ඔවුන් එරබදු ගසත්, කොවුලාත්, අවුරුදු කුමාරයාත් වෙන්දේසියට සල්පිලේ පෝලිම් ගස්සති. බලන්න ඉස්සර නම් අවුරැදු කෑවේ මෙහෙමයි. දැන් මේ මොන විලම්බීතදැයි හිස අත් බදා හූල්ලන පාරිභෝගික ජනතාවක්ද නිර්මාණය කරති. ඔවුන් සිය කැත වෙළඳාම ආවරණය කරන්නේ එබඳු ශෝකාලාපයන් ආවරණය කර ගනිමිනි. එමතුදු නොව වඳ වෙමින් යන හෙළ සිරිත් විරිත් රැකගැනීමේ ගෞරවපූර්ව ආරක්ෂකයා බවටද ඉබේම පත්වෙති. ඔවුන් මෙහිදී රටෙහි ජනී ජනයා සිය සුපුරැදු නොදැනුමෙහි ගිල්වා තබති. සංස්කෘතිය යන ප්‍රවාහයේ ගලා යන සුළුගතිය වසන් කරති. සමාජ විද්‍යාත්මක දැනුමට මඟ අවුරති. ඒ සඳහාම කැප වුණු අණ්ඩපාලයෝ ටිකක්ද විදග්ධ සළු පිලි පොරවාගෙන මාධ්‍ය ආයතන අසල ගැවසෙති. මහත්තයෝ, ඉස්සර නම් මෙන්න මෙහෙමයි කියමින් සමාජ ප්‍රගමනයට කිසිසේත්ම හිතකර නොවන ගොබ්බ කතා දොඩවති. අඩුම ගණනේ ඔවුන් සාධනීය යැයි විශ්වාස කරන (අප නොවේ) සංස්කෘතියටද මේ මාධ්‍යවේදීන් විසින් මාරාන්තින තුවාල සිදුකොට ඇති බව එවිට අමතක කරති.

අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයැයි කියමනක් තිබේ. දේශපාලන ආර්ථිකය අනුසාරයෙන් අපට මේ කියමන නවීකරණය කරන්නට හැකිය. ඒ නව ලිබරල් කාලේ අවුරැදු කුමාරයත් දුෂ්ඨයි යනුවෙනි. ලිබරල් යනු නිදහසය. අතීතයේ එක කලෙක ඒ නිදහස තුළ බොහෝ වටිනාකම් විකුණනු පිණිස නියෝග කෙරුණි. නව ලිබරල් යනු නව නිදහසකි. එනම් මෙතෙක් කාලයක් නොවිකිණී පැවතුනු යම් සමාජයීය වටිනාකමක් වේද නව ලිබරල් තත්ත්වයන් යටතේ එකී වටිනාකම්ද වෙන්දේසි කරන්නට යෝජනා කෙරුණි. මුළු මහත් සමාජයක සංස්කෘතික උරුමයන් මාධ්‍ය මුදලාලිලාගේ බැංකු ගිණුම් තර කෙරෙන නිහීන වෙළදාමක අත්‍යවශ්‍ය කොටසක් වී තිබෙන්නේ ඒ අනුවය. මේ වෙළදාමෙන් අවුරුදු කුමාරයාට පමණක් නොව බුදුරජාණන් වහන්සේටද ගැලවිල්ලක් නැත. ඒ කෙසේදැයි එළඹෙන වෙසක් සමයේදී දැක බලා ගන්නට අපට හැකිය.

l නලින්ද සංජීව

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00