2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

මම මෙතැනින් බහිනවෝ...

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 235

අහස හැමදාම හවසට කළුවරය. ඉර අහසින් බැස ගියාම කළුවර වනවාට අපි කැමතිය. පාර පුරා පුදුම වාහන තොගයක් එහෙ මෙහෙ දුවන්නේය. කහ ඉරෙන් වූවද පාර මාරු වන්නට හිතේ ඇත්තේ තිගැස්මකි... මිනිසුන් පුදුමාකාර නොසන්සුන්ය. බස් නැවතුමේ මිනිසුන් කෙලින් පෙනෙන පාර දිහා එබි එබී බලන්නේ බස් රථය දැකීමේ පරමාර්ථයෙනි. 

තරුණ කොලු ගැටයන් කිහිප දෙනෙක්ම ජoගම දුරකථනයට එබුණු ගමන්ය. උන් හිස ඔසවන්නේ බස් රථයේ සද්දයට පමණමය. ජීවිත ගමන අපි යන්නේ එක එක විදිහටය දඟලන කියවන පුරාජේරුවෙන් පිරුණු බස් නැවතුමේ නිහඬ නිසල ඔහු දෙස නෙත් හැරුනේ නිරායාසයෙනි, නිසල දිය ගැඹුරුය. ඔහුගේ නිසල බව ඔහු තුළ වූ ගැඹුරු බව විදහා පෑවේය. ඔහු නිසල අයෙක්ම විය යුතුය, උදේ ගෙදරින් එද්දී මැද්ද සුදු අත් දිග කමිසය තාමත් එලෙසමය. පිළිවෙළට වැලමිට ගාවට නැමුණු කමිස අතට පහළින් ඔහු දරා සිටියේ රස්සාවට එනදා කොළඹ ලොකු මාමාගෙන් ලැබුණු හම් බෑගයයි. වසර 20ක්වත් පරණ බෑගය උඩින් අපිළිවෙළට දැමූ මැහුම් කීපයක් විය. මා ඒ දෙස බැලුවේ නිකමට වුවත් ඔහු ඒ දැක මා දෙස බලා සුසුම් හෙළුවේ මේක පරණයි මාත් දන්නවායැයි කියා මෙනි. ඊළඟ ඇසිල්ලේ සියල්ලෝම පාරට පැන්නේ සෙනඟ පිරුණු බස් රථය පිළිගැනීමටයි. කොන්දොස්තරගේ කෑගැසීමත් බස් එන්ජිමේ සද්දයත් බස් නැවතුමේ පුරාජේරු නිහඬ කර දැමුවේය. බස් එකේ සියල්ලෝම එල්ලුනේය.. දවල්ට කෑ චිකන් රයිස්, මහත්තයාගෙ උපන්දිනයට ගෙනවිත් දුන් ඇපල් ෆෝන් දැන් වලංගු නැත සියල්ලෝම පොදු ප්‍රවාහනයේ පහස විඳගන්නට විය. "මාරු සල්ලි අතට ගන්න" කොන්දොස්තර කෑගහන්නට විය. ඔහුට ඒ බස් එකට නගින්නට වාරැ නැති විය. එහෙන් මෙහෙන් එබෙමින් එල්ලෙන්නට පුළුවන්දැයි බැලුවත් එහි ඔහුට ඉඩක් නොවීය. "ඊළඟ එකේ යමු නේද" මම ටිකක් ඔහුට ළංකර කීවේය. ඔහු මා දෙස බැලුවේ මූ මොකාටද එන්නේයැයි සිතාමය. කොළඹ මට වඩා ඔහුට පුරුදුය. ඔහු නැවතුනේ නැත "මෙතැන කන්තෝරැවෙද වැඩ කරන්නෙ" මම විමසීමි "ඔව් මල්ලි මේක තමයි., ඔයා කොහෙද" ඔහුද පෙරළා විමසීය. මගේ ඔෆිස් එකත් එහා පැත්තේ මම පැවසීමි. "මම මේ ඔෆිස් එකේ දැන් සෑහෙන කල් මම මල්ලිව දැකලා නෑ මීට කලින්" ඔහුද ඔහුගේ කන්තෝරුව ඔෆිස් එකක් කරගත්තේය. "මම ළඟදි ආවේ, අයියා හුඟක් කල්ද?" "කොළඹට ආවා විතරයි මල්ලි මතක, අපි මේකෙ හිර වුණා, මේ කට්ට කාලා කාලම දැන් අර කම්මලේ බල්ලො වගේ" ටිකක් නොගැලපෙන වූවද ළඟින් යන උපහැරණයක් ඔහු කතාවට ඈදුවේය.

 ඊළඟ බස් එක ආ විගස අපි දෙදෙනාම ඊට ගොඩවිය. ඔහු අසුන්ගෙන මටද එතැනට එන්නැයි කීවේ මා ඇවිද එන ටිකට ඔහුගේ බෑගය තබා අසුන බුක් කරමිනි ඔහුට කියන්නට තව බොහෝ දේ ඇති බව මට වැටහුණි "මල්ලි කොහෙටද යන්නේ කොටුවටද" මම ඔළුව වැනුවෙමි. ඔහු කතාව කරගෙන යන්නට විය "‍මේක මහ ජරා නගරයක් මල්ලි, අපේ හම යනවා වෙන උන්ගෙ නම යනවා, ගෙදර යන්න එළියට බැස්සම එක්කො බස් නෑ නැත්තම් කවුරැ හරි උන්ගෙ අයිතිවාසිකම් ඉල්ලන් අපේ පාර වහගෙන, සාධාරණද බන් මේවා පහුගිය අවුරැදු 20 එහෙමයි" මම සිතුවා නිවැරදිය. ඔහුට මට වඩා කොළඹ පුරුදුය. "මහත්තයලා කොහෙද" කොන්දොස්තර ළඟටම විත්ය. හිතන්නටත් පෙර ඔහු මටත් එක්ක ටිකට් ගත්තේය, මගෙන් බහින තැන ඔහු විමසුවේ ඒකටය. මටත් වඩා ඔහුට මාව කුළුපග වෙලාය. සාක්කුවෙන් කෑගැසූ දුරකථනය අතට ගත් ඔහු එය අමතන්නට විය. 

බස් රථයේ පිරුණු මිනිසුන් බලාගත්ත අත බලාගෙනය. මහා සෙනඟ ගොඩක් මැද්දෙන් කොන්දොස්තර එහෙ මෙහෙ දුවන්නෙ බස් ඒකේ තව ඉඩ තිබෙනවායැයි කෑගසමිනි. ඇමතුම විසන්ධි වෙලාය. "ගෙදර කොහෙද අයියේ" "මම ගාල්ලේ මල්ලි. දැන් මෙහෙ ඉන්නෙ, නෝන කතා කරේ. දැන් හෙට දරුවට මොනවද ගේන්න කියලලු" ඔහු කතාව එතැනින් නතර කළේය. ඇය අසන්නට ඇත්තේ සල්ලි තිබෙනවාදැයි කියාය. එය ඔහුට මට පවසන්නට බැරිය. මාසෙ පඩියට තව සතියක් පමණ ඉතිරිය. මේ වෙනකොට ඔහුට තිබුණේ බස් කුලිය පමණක්ය. මනුස්සකම යනු ඔහු මේ නොදන්නා මා වෙනුවෙන් ගෙවුයේ ඒ මුදලින් කොටසක් වීමය. බස් රථය නැවතුමට ඇවිත්ය. "අයියෙ මම මෙතැනින් බහිනවා‍" යැයි කීවිට ඔහු සිනාසුනේය. මේ විනාඩි දහයට හමුවූ මා ගැන ඔහුට සතුටුය "හරි මල්ලි පරිස්සමින් ගිහින් එන්න" ඔහු කීවේය. මම නැගිට්ටෙමි. මම බසයෙන් බැස්සෙමි. ඒ මේ අහස යටම මට ඔහු ආපහු මුණගැසුනොත් එදාට ඔහුට ටිකට් ගන්නේ මම යැයි සිතාගෙනය.

 තිසුම් නලින

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00