2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ගිරා න්‍යාය සහ බකමූණු න්‍යාය

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

චීන විප්ලවයේ දස අවුරුදු සැමරුමට ආරාධනා ලැබ චීනයට ගිය මාර්ටින් වික්‍රමසිංහ මහතා 1959 දී මේ දේවල් අපිට කියනවා. ඒත් අපිට දැනෙන්නේ නෑ අපිට අපේ මිනිහෙක් කියන දෙයක් පිළිගන්න පුළුවන් සංස්කෘතියක් සුද්දො හැදුවේ නැති නිසා. ඒ කියන්නේ අපේ සංස්කෘතිය පශ්චාත් යටත් විජිත සංස්කෘතිය තුළ බටහිර දැනුම හා බටහිර චින්තනය උත්තම වුණා. ඒ නිසා අපි බටහිර චින්තනයේ වහලුන් වෙද්දී චීනය බටහිර දැනුම අරගෙන ඔවුන්ගේ රට සංවර්ධනය කරා ගෙන ගියා. මේ නිසා චීනයට ඔවුන්ගෙම මාවතක් නිර්මාණය කර ගන්න හැකි වෙනවා චීන සමාජවාදී සංස්කෘතියත් වීවෘත වෙළඳපොළ ආර්ථීක ක්‍රමයකුත් එක්කම. කොයිතරම් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය බලවත් වුණත් චීන සංස්කෘතිය ඉක්මවා යාමට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව චීන නායකයන්ගේ දූරදර්ශී තීරණයන්.

රටක් ලෙස අපි නැවත් නැවතත් මෙම කාරණා පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ අපි අද වන විට වැටී සිටින ණය උගුලෙන් බේරි සංවර්ධනය කරා යාමේ අභිලාෂය පෙරදැරි කරගෙන ආණ්ඩු මාරු කරමින් නැවතත් ණය උගුලේම සිරවෙමින් සිටීම හේතුවෙනි. සංවර්ධනය වෙනුවෙන් අපි ලාංකීක සංස්කෘතියක් ලෙස මේ වනවිට වර්ධනය කර ඇත්තේ කෙබඳු ලක්ෂණදැයි විමසා බැලීම කළ යුතුය. ලංකාවේ සංවර්ධනයේ ප්‍රධානම බාධාව වන්නේ නායකයන්ගේත් ජනතාවගේත් දැඩි ආත්මාර්ථකාමීත්වයයි. දැඩි ලෙස ආදායම් බෙදී යාමේ විෂමතාවය විසින් සහ වෙළෙඳපොළ ආර්ථිකය විසින් නිර්මාණය කර ඇත්තේ අතිශයින්ම ආත්මාර්ථයෙන් යුත් පුරවැසියෙකි. රට වෙනුවෙන් තබා තම පවුල වෙනුවෙන්වත් කැපවිය නොහැකි මිනිසුන් බවට ලාංකිකයා පත් කර ඇත.

සමානාත්මතාවය මුලින්ම ලෝකයට දේශනා කළ බුදුන් වහන්සේගේ දර්ශනය අනුව යන  අපිට තවමත් රට තුළ සමානාත්මතාවය ඇති කර ගැනීමට නොහැකි වී ඇත. ඉහ වහා ගිය නිලධාරිවාදයත්, දේශපාලකයන්, ජනතා නියොජිතයන් දේවත්වයේ ලා සැලකීමත් නිසා රටේ ආර්ථික පදනමින් ඇති පන්ති බෙදීමට වඩා බලවත් පංති ‍බෙදීමක් ඇති වී තිබේ. මේ නිසා සංවාදයට ඇති ඉඩ අහිමි වී තිබේ. සම්මුතිය පිළිබඳව අපිට ඇත්තේ ගිරා න්‍යායයත් බකමූණු න්‍යායයත් දෙක පමණි. ගිරවා යනු කියන කියන එක ඒ විදියටම කියන සත්ත්වයෙකි. ඉහළ සිට එන සියලුම අදහස් ගිරා න්‍යායයෙන් පහළ ස්ථරයන් වෙත පැමිණෙන අතර පහළ ස්ථරයන් බකමූණු න්‍යායයෙන් සියල්ල පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට සැරසිය යුතුය.

විරුද්ධවන්නන්ට සිදු වනුයේ අනේකවිධ හිරිහැරයන්වලට භාජනය වීම හෝ එවැනි තැන්වලින් කැපී යාමයි. උදාහරණයක් ලෙස දේශපාලකයෙක් විවේචනය කළහොත් එම දේශපාලනයේ රැඳී සිටීමට නොහැකි තරමට අද සංවාදය අපි අතරින් ඈත්ව තිබේ. ආයතනික ප්‍රධානියකු විවේචනය කිරීම විශ්‍රාම යාම දක්වා දඬුවම් ලැබිය හැකි වරදක් වී ඇත. මෙවැනි තත්ත්වයක කොතරම් අනුවණ තීරණයන් වුවද හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව කටුයුතු කිරීමට මිනිසුන් පුරුදුව ඇත. අනෙක් පැත්තෙන් විවේචනය වැනි කාරණාවලදී අපිට විනයක් නොමැති වීමද බරපතළ ගැටලුවකි. විවේචනය අදාළ පුද්ගලයන් ඉදිරියේ නොකර වෙනත් තැන්වල කිරීම නිසා ගැටලු තවදුරටත් උග්‍රවනවා මිස අවසන් වන්නේ නැත. මේ නිසා රටක් ලෙස අපි සංවාදාත්මක සංස්කෘතියක් නිර්මාණය කර නොගන්නා තාක් අපට සංවර්ධනයේ සිහිනය සිහින ලෙසම තිබෙනු ඇත. විවිධ මතවාදයන්ට ගැටීම නිසා නව මතවාදයන් බිහිවන බව අමතක කර බොහෝකල්ය.

කූරු පුම්බා ගත් නිලධාරීන් වෙනුවට රටට අවශ්‍ය කරන්නේ සංවාදයට බය නැති වෙනස් විදිහට සිතන නිලධාරීන් පිරිසකි. රටක් රාජ්‍ය සේවයේ වැදගත්කම රටේ සංවර්ධනයට සෘජුවම බලපාන හෙයින් රාජ්‍ය සේවය තුළ ඔළුව උදුම්මවාගත් රාජ්‍ය නිලධාරීන් වෙනුවට සමානාත්මතාවයට ගරු කරන රාජ්‍ය සේවයක් ඇති කළ යුතුය. ඒ සඳහා කටපාඩම් කර පිළිතුරැ ලියන විභාග ක්‍රමය වෙනුවට කාර්යක්ෂමතාවය, අවධානම, කැපවීම, අධ්‍යයනයට ඇති කැමැත්ත වැනි දේ මෙන්ම පර්යේෂණයන්  මත පදනම්ව තනතුරු ලබා දීමට කටයුතු කළ යුතුය. නායකයන් වැරදි තීරණ ගන්නා විට ඒවා නිවැරදි කළ හැක්කේ නිලධාරීන්ටය.

ස්පාර්ටාවේ විනය කියන සංකල්පයෙන් පැහැදිලි කරන්නේත් නායකයා ඉහළින් පිළිපදින විට අනුගාමිකයන් අභිමානයෙන් පිළිපදින බවයි. ඒක ලෝකයේ ඕනෑම රටකට පොදු කාරණයක් චීනයේ නායකයන් ඉහළින් පිළිපදින ලද දේ අනුගාමිකයන් අභිමානයෙන් පිළිපදිනවා මේ නිසා මා ඕ සේතුංට වඩා හොඳ නායකයන් චීනයේ නිර්මාණය වෙනවා නායකයන් සහ නිලධාරීන් වෙනස් කිරීමෙන් මේ රට වෙනස් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමිය හැකි වෙනවා. ආත්මාර්ථයෙන් තොරවීම රට ගොඩ නැගීමට එකාවන්ව ක්‍රියාකිරීම අල්ලස දූෂණය ප්‍රතික්ෂේප  කිරීම ද මීට ඇතුළත් වෙනවා.

රටක් ලෙස අප හමුවේ සිටින ප්‍රධාන සතුරා වන්නේ අධික ණය බරයි. ලිබරල් ආර්ථක කොන්දේසි සහ ණය වාරික විසින් අසරණ කර ඇති අපි තේරුම් ගත යුතු සත්‍ය වන්නේ වසර ගණනාවක් තිස්සේ අප විසින් සිදු කළේ අපගේ බලවත්ම සතුරා වන විදේශීය ණය නැමති සතුරා බලවත් වීමට ඉඩ හැරීමයි. දැන් අප සටන් කිරීමට සිදුව ඇත්තේ මෙම බලවත් සතුරාට එරෙහිවය. මෙහිදී වැදගත් වන්නේ ජය ගැනීම නොව. අප පරාජය නොවී සිටිමයි. ඒ සඳහා අප පළමුව සැලසුම් සකස් කළ යුතුවේ. සැඟවුණු ආර්ථික සැලැස්මක් ඉලක්කයන් කරා ගෙනයාමට තරම් අප සූක්ෂම විය යුතු වන්නේ එහෙයිනි. චීනය හා ඉන්දියාව මෙන්ම බටහිර න්‍යාය පත්‍රයන් මත නොරැඳී දේශීය ආර්ථික සැලැස්මක් ඉලක්කගත දස අවුරුදු සැලැස්මක් ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. දේශීය කෘෂිකර්මාන්තය, කර්මාන්ත හෝ සේවා දියුණු විය යුත්තේ ඉලක්කගත සංවර්ධන අපේක්ෂාවන්ගෙන් මිස ණයකරුවන්ගේ අවශ්‍යතාවයට අනුව නොවේ. රටක් ලෙස යැපිමේ මානසිකත්වය අවසන් කර දැමිය යුතුය. ණය ගැනීම ආඩම්බරයට කාරණයක් ලෙස විශ්වාස කරන සංස්කෘතික පෙළඹවීම වෙනුවට ණය ප්‍රතික්ෂ්ප කිරීමේ සංස්කෘතියක් ඇති කළ යුතුය. උපාය මාර්ගික සැලසුම් අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථාවන්වලින් ගැලවීම සඳහායි. මේ එළඹ ඇත්තේ විදේශීය ණය සමඟ ගරිල්ලා යුද්ධයක් කිරීමට සිදුව ඇති මොහොතකි.

- වජිර කාන්ත උබේසිංහ 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30