2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

බකල් ගහන කෝච්චියේ දම්වැල අදින්නේ කවුද?

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 307

පසුගිය දිනක මාගේ පෙම්වතිය ජපානයේ සංචාරයක නිරත වූ අතර එරට වූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇයව ඔසාකාහි කන්සායි ගුවන්තොටුපළ වෙනුවට ටෝකියෝවේ ගුවන්තොටුපළක් වෙත යොමු කිරීමට අදාළ ගුවන් සමාගම කටයුතු කරන ලදී. ටෝකියෝවේ එම ගුවන් තොටුපළේ සිට කන්සායි හී ඇයගේ ගමනාන්තය දක්වා දුර කිලෝමීටර 510කට වඩා වැඩිය.

ලංකාවේ කාර්යබහුලම දුම්රිය මාර්ගය වන කොළඹ කොටුව - නුවර අතර දුර දළ වශයෙන්  දුර කිලෝමීටර් 120 පමණ වන අතර  දුම්රියට එම දුර පසුකිරීමට ගතවන කාලය ආසන්න වශයෙන් පැය තුනකි. මෑතකාලීනව ශ‍්‍රී ලංකාවේ කිසිදු දුම්රියක් නියමිත වේලාවට ධාවනය වී නොමැති අතර එය එසේ වී නම් හම්බන්තොට වරායට නැවක් ආ විටදී, මත්තල ගුවන්තොටුපළට ගුවන් යානයක් පැමිණි විටදී මෙන් එය රටේ විශාල ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ජනනය කිරීමට හේතුවක් වනු ඇත.

ජපානයේ ටෝකියෝවේ උදෑසන දුම්රියට ගොඩවූ මාගේ පෙම්වතිය කිලෝමීටර් 510ක දුර පසුකොට ඔසාකා නගරයට පිවිසීමට ගතකළ කාලය පැය 3 විනාඩි 40ක් වූ එය ඉතා සුවපහසු දුම්රිය ගමනක් බව ඇය මට පැවසීය. නමුත් එම ගමනේ දුම්රිය ටිකට් පතෙහි මිල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 22,000 පමණ විය.

ලොව කාර්යක්ෂමම දුම්රිය සේවයන් පවත්වාගෙන යනු ලබන ආසියානු කලාපයේ රටවල් වන ජපානය, චීනය සහ හොංකොං යන රාජ්‍යයන් සේම දිනෙන් දින නිවැරදි දිශානතියක් ඔස්සේ දුම්රිය ප‍්‍රවාහනය වැඩිදියුණු කිරීමට වෙහෙසෙන ඉන්දියාව ද පොදු ප‍්‍රවාහනයේ වටිනාකම සහ අනාගත අභියෝග පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කරමින් සිටියි. නමුත් දුම්රිය සේවයේ අනාගතය උදෙසා අපගේ සැලසුම කුමක්ද?

ශ‍්‍රී ලංකාවට දුම්රිය ප‍්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හඳුන්වාදෙන ලද්දේ 1864 දීය. දුම්රිය මග සැදීමට ප‍්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ උඩරට සිට තේ, කෝපි අගනුවරට ප‍්‍රවාහනය කිරීමේදී ඇති වූ ගැටලුවයි. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක් වූ මාර්ගය ඉදි කරන ලදී. පිළිවෙළින් 1867, 1874, 1885, 1894 සහ 1924 දී ප‍්‍රධාන දුම්රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානුඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කරන ලදී. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දීත්, මුහුදුබඩ මාර්ගය 1895 දීත්, උතුරු මාර්ගය 1905 දීත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දී, කැලණි වැලි මාර්ගය 1919 දීත්, සහ පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කරන ලදී.

වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාවයක් ලෙස ඇරඹි දුම්රිය සේවය ශ‍්‍රී ලංකාවේ ජාතික නිශ්පාදන අවශ්‍යතාවයන් වැවිලි කර්මාන්තයේ සිට නිෂ්පාදන කර්මාන්ත සහ සේවා වෙත යොමුවීමේදී ඊට සමගාමීව වෙනස් වීමට කටයුතු කළේ නැත. වඩාත් ලාභදායී පොදු ප‍්‍රවාහන මාධ්‍යයක්සේම, සුන්දර කලාපයන් පසුකර ඇදෙන “යකඩ යකා” සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රයක් බවට පත්කර ගැනීමට තරම් අප රට දක්ෂ වූයේද නැත. ඒ වෙනුවට දේශපාලන බලපෑම්වලින් හෙම්බත්වූ, වෘත්තීය සමිතිවලින් ගහණ වූ, කිසිදු අනාගත සැලසුමක් නොමැති ආයතනයක් බවට දුම්රිය සේවය පත්ව තිබේ.

අද වනවිට ප‍්‍රමාදව ධාවනය වන, කිසිදු සුවපහසුවක් නොමැති, පාඩු ලබන, අපිරිසිදු දුම්රිය සේවයක් අපට හිමිව ඇති අතර දුම්රියේ පරිපාලනය එංගලන්තකාරයා අපට පවරා ගිය නිසා වර්තමාන පරිහානියේ වගකීම මෙරට සියලු පුරවැසියන් විසින් දැරිය යුතුය.

සිදුව ඇති පරිහානිය ගැන මෙම පුවත්පතේ සියලුම පිටු ආවරණය කරමින් ලිවිය හැකි වුවද ජනතාව එදිනෙදා අත්විඳින එම පරිහානියේ ස්වභාවය ගැන වඩාත් දීර්ඝව කතා කිරීමෙන් පලක් නැත. ඒ වෙනුවට දුම්රිය සේවය වඩාත් පළදායි සේවයක් බවට පත්කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව වන උපායමාර්ගික සාකච්ජාවක් ඒ විෂයෙහි දැනුමක් සහිත පුද්ගලයින් සහ ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුය. පුරවැසියෙකු ලෙසත් දුම්රිය මගියෙකු ලෙසත් මම විසින් අවධානය යොමුකරන කරැණු මෙසේය.

ශ‍්‍රී ලංකාව කිසිදිනක සිය සංවර්ධන ප‍්‍රමුඛතාවයන් වටහා ගත්තේ නැත. එසේ වටහා ගනු ලැබුවේ නම් මේ වනවිට රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණන් වැයකොට ඉදිකළද ගුවන් යානා නොපැමිණෙන ගුවන්තොටුපළවල් සහ බදුදීමෙන් මිස ලාභ ඉපයිය නොහැකි වරායවල් සේම වගා ඉඩම් මතින් ගොඩනැගෙන අධිවේගී මාර්ග බිහිවන්නේ නැත. රජය විසින් කඩිමුඩියේ ඉදිකරන කොළඹ - නුවර මධ්‍යම අධිවේගී මාර්ගය එසේ ඉදිවන තවත් පළ රහිත ව්‍යාපෘතියකි.

රටක් අධිවේගී මාර්ග කෙරෙහි අවධානය යොමුකළ යුත්තේ ඒ රටේ මහා පරිමාණ බහාලුම් ප‍්‍රවාහණය වර්ධනය වන අවස්ථාවකදී හෝ පෞද්ගලික වාහන භාවිතය ධෛර්යමත් කළ යුතු විටදීය. නමුත් ලංකාව ඉහතා කාරණා ද්විත්වයේදීම සිටිනුයේ ඉතාම බරපතළ අර්බුදයකය. නිශ්පාදන කර්මාන්ත කඩාවැටී ඇති අතර පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාම සමාජ ප‍්‍රශ්න රැසක් නිර්මාණය කර ඇත. ලංකාව මේ මොහොතේ සිය අවධානය යොමු කළ යුතුව ඇත්තේ කාර්යක්ෂම පොදු ප‍්‍රවාහන මාධ්‍යයක් සඳහා ආයෝජනය කළ හැක්කේ කෙසේද යන්නයි.

කොළඹ සිට මහනුවර දක්වා කණු මතින් දිවෙන නව දුම්රිය සේවයක් ආරම්භ කළේ නම්, දැනට පැය තුනක් ගතවන කාලය පැයයි විනාඩි විස්සක පමණ කාලයකට අඩුකර ගත හැකි ආකාරයේ අධිවේගී මගී ප‍්‍රවාහන දුම්රිය සේවයක් සඳහා ආයෝජනය කරනු ලැබුවේ නම් එයින් ශ‍්‍රී ලංකා ආර්ථිකයට ඇතිවන වාසිය ඔබට අවබෝධ කරගත හැක. ඒ වෙනුවට ලබන වසරේ සිට සිය පෞද්ගලික වාහනවලින් දිනපතා කොළඹ නුවර යන එන මුදල් සහ ඉන්ධන නාස්තියෙන් හෙම්බත්වූ මධ්‍යම පාන්තියක් සහ විශාල ණය කන්දක් අපට ඉතිරිවනු ඇත. 

නව සන්නාමයක් යනු හුදු ලාංජනයක් නොව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය ලෝකයේම ආකර්ෂණය දිනා ගැනීමට සමත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා වන මහා පරිමාණ වෙනසකි. සේවා ප‍්‍රමිතීන් ඉහළ නැංවීමේ සිට සේවකයන්ගේ සිතුම් පැතුම් පවා ඉන් වෙනස් විය යුතුය. වර්ජන වෙනුවට කැපවීම මුල් තැන ගත යුතුය. ගල්කිස්සේ සිට රඹුක්කනට මගීන් රුපියල් 3000ක් ගෙවා දුම්රියට ගොඩවනු ඇතැයි සිතන අමනෝඥ කළමනාකරණයක් යටතේ දුම්රිය සේවය ලාභ ලබන ආකර්ෂණීය රාජ්‍ය ආයතනයක් වනු ඇතැයි සිතිය නොහැකිය.

උතුරු දුම්රිය මාර්ගය භාන්ඩ ප‍්‍රවාහනය සඳහා භාවිතා කිරීමට මහා පරිමාණ ව්‍යාපාර ආයතන පෙළඹවිය යුතු වන අතර දකුණු දුම්රිය මාර්ගය විසින් අත්පත්කරගෙන සිටින ඉතා ඉහළ වටිනාකමක් සහිත වාණිජ ඉඩම් අවම වශයෙන් කොළඹ - කළුතර සීමාව තුළදීවත් නිදහස් කළ යුතුය. ඒ වෙනුවට කණු මතින් ඉදිකෙරෙන දුම්රිය මාර්ග ඉදිකළ යුතුය.

උඩරට දුම්රිය මාර්ගය ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත කලාපයක් ලෙස දියුණු කළ හැකිය. දුම්රිය ස්ථානවල නවාතැන් පහසුකම් සැපයීම සහ අනෙකුත් සේවා (බැංකු, සුපිරි වෙළඳසල් සහ ආපනශාලා) සඳහා බදු දිය හැකි පරිදි නවීකරණය කළ යුතුය. පුත්තලම දුම්රිය මාර්ගය සහ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම හරහා කොළඹ රථවාහන අර්බුදය සේම රටේ සිදුවන මහා පරිමාණ නාස්තියද අවම කළ හැක. රජය විසින් පල රහිත අධිවේගී මාර්ග ඉදිකිරීම නවතා දමා රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවගේ මුදල් සහ කාලය ඉතිරිකර දෙන වාසිදායකම පොදු ප‍්‍රවාහන මාධ්‍ය වන දුම්රිය වෙත ආයෝජනය කළ යුතුය.

විශේෂයෙන්ම එලෙස වැඩි දියුණු වන දුම්රිය සේවයේ මිල දැරීමට මගී ජනතාව සූදානම් නැතිය යන්න අයෙකුට තර්ක කළ හැක. නමුත් වඩාත් සුවපහසු, නියමිත වේලාවට ධාවනය වන, කාර්යක්ෂම දුම්රිය සේවයක් බිහිවූ දිනක සිය ටිකට් පතේ අගය දෙගුණයක් වීම මගීන් දරාගනු ඇත. රටේ බහුතරයකගේ හිත සුව පිණිස රජයට ඒ බර දැරිය හැකිය. ජීවිතයේ කිසිම දිනක ගුවන්යානයකට ගොඩවී නැති ලක්ෂ ගණනක් වන දුම්රිය මගීන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව පියවීමට කන බත් පතෙන් පවා බදු ගෙවමින් සිටින රටක් වෙනුවට ඒ පල රහිත ආයතනය විදේශ ගුවන් සේවයකට රුපියල් සීයකට හෝ විකුණා දමා ආණ්ඩුව රටේ පොදු මහජනයාට වඩාත් බලපාන දුම්රිය සේවය රැකගැනීමය ක‍්‍රියාකළ යුතුය.

ෂේන් මහේන්ද්‍ර ප‍්‍රියවික‍්‍රම

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30