2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සින්දු පලන මන්තරේ...

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

ඝෝෂාවට හෙවත් සද්දෙට කැමති උන් සිටිති. තවත් සමහරු තමුන් සද්දයට කැමති බව පෙන්වීමට කැමත්තෙන් සිටිති. ඒ උන් අනුන්ගේ නිදහසට බාධා කරන්නෝය. තමුන්ගේ වෙළඳ සැලේ අලෙවිය වැඩි කර ගැනීමට සද්දෙට සින්දු දැමීමට සමහරු පෙළඹෙති. සමහරු තමුන්ගේ ආගමික භක්තිය පෙන්වීමට සද්දෙට සින්දු, පිරිත් හෝ කවි වාදනය කරති. තවත් සමහරු තමුන් නිවසේ සිටින බව අසල්වැසියන්ට ඇඟවීමට සද්දෙට සින්දු දමති. මේ අතර තවත් පිරිසක් තමුන් සිරා සින්දු අහන බව පෙන්වීමට මහා හඬින් සින්දු අහති.

අතීතයේද මෙබඳු ශබ්ද දූෂකයෝ සිටින්නට ඇත. අන්දරේ දකුණු පළාතේ එකෙක් බව දැනගත් අයෙක් රබන් පලන මන්තරයක් ඉගෙනගන්නට ආවේලු. අන්දරේද කොළේක යමක් ලියා "මෙන්න මේක උල් පිහියකට මතුරලා රබානේ මැද්දටම ඇනපන්" යැයි උපදෙස් දුන්නේලු. එයින් හැඟෙන්නේ එකලද මෙකල මෙන්ම අන්‍ය නිදහසට බාධා කරන සමාජ පීඩකයන් සිට ඇති බවය. ඊට මෑත අතීතයේ කැසට් රෙකෝඩරය කරේ තබාගෙන ගමටම සින්දු බෙදා දෙමින් ගිය සූරසේන අපි පළිඟු මැණිකේ තුළින් දුටුවෙමු.

මේ ඝෝෂකයන්ගේ අදහස වන්නේ ඔවුන් සමාජ සේවාවක් කරන බවය. ඒ දැඩි ඝෝෂාව මැදිහත් සිතින් ඉවසා සිටින අනෙක් අය දකින ඔහු සිතන්නේ තමාගේ සමාජ මෙහෙවර නිසා මිනිසුන් විශාල තෘප්තියක් ලබන බවත් එයින් ඔවුන්ගේ කාර්යශූරත්වය වැඩි වී රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි වී උද්ධමනය අඩුව යන බවය. හේනක කුඹුරක සකලයන් හැඹිල්ලට වඩා වැඩි යමක් ඉන් සිදු නොවන බව ඔවුන්ට නොවැටහේ.

බොහොම නුදුරු අතීතයේ සමාජ කතිකාවතකට ලක්වූ මාතෘකාවක් වන්නේ ත්‍රීරෝද රථවලට  ශබ්දවාහිනී මෙන් වූ ස්පීකර් සවි කිරීමත් ගමම දෙදරවමින් රිද්මය පමණක් ඇසෙන වචන නෑසෙන ගීත ධාවනය කරමින් විදුලි වේගයෙන් ඒවා ධාවනය කිරීමත්ය. ඩොප්ලර් ආචරණය පිළිබඳ අධ්‍යයනය කරන්නකුට නම් මනා පිටිවහලක් වන මේ ධාවන ශබ්ද විකාශන යන්ත්‍ර හෙවත් ත්‍රීරෝද රථ තුළ බිහිරෙක් මිස වෙන කිසිවෙක් ගමන් කරන්නේ කෙසේදැයි වටහා ගැන්මට අපහසුය. ඊටත් වඩා පුදුමය වන්නේ මේවා ධාවනය කරන්නාවූ රියැදුරන් (රිය ඇදුරන් කී විට රිය පිළිබඳව මෙන්ම රිය පැදවීම පිළිබඳවද මනා පරිචයක් ලැබූ තැනැත්තෙක් සිහියට එන නමුත් මේවා පදවන්නේ එසේ ප්‍රාමාණික දැනුමක් නොලද අයවළුන් නිසා ඔවුන් රිය දක්කන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.) දින කිහිපයක් තුළ බිහිරි භාවයට පත් නොවන්නේ කෙසේද යන්නය.

මගේ ලොකුම අරියාදුව ඇත්තේ අර්ධසුඛෝපභෝගී යැයි කියා ගන්නා බස් ලඩි සමඟය. කොළඹින් දුර ඈතක සේවයේ යෙදෙන විට නිතර නිතර මෙම අන්තර් පළාත් බස් රථවල ගමන් කරන්නට සිදුවෙන අතර සුඛෝපභෝගී බස් හිඟ වීමත් අතේ මුදල් හිඟ වීමත් මෙන්ම සාමන්‍ය ගාස්තු බස් විරල වීමත් නිසා මෙකී අර්ධසුඛෝපභෝගී මුසාව හා එක්වන්නට සිදුවේ. දුර ගමනක් මුල් වතාවට යන විට ඔබ වටපිට බලමින් සොබා සිරිය විඳිමින් යන්නේය. නමුත් එකම මාර්ගයේ සෑම මසකටම වරක් දෙකක් පැය හය හතක ගමනක යෙදෙන ඔබ නිදහසේ නින්දක් ලබා ගැනීමට සිතනු නොඅනුමානය. නමුත් මෙම බස් රථවල සේවකයෝ ඔබට එකී සුවපහසුව ලබා දීමට මැළිකමක් දක්වති. ඔවුන්ට ඇවැසි ඔබ අවදියෙන් සිටිනු දකින්නටය. සමහර විට අර්ධසුඛෝපභෝගී යනු එය වන්නට ඇත. පූර්ණ සුඛෝපභෝගී බස්වල වැඩිපුර අය කරන්නේ ඔබට නිදාගන්නට, සැනසිල්ලේ ඉන්නට ඉඩ දෙන්නට විය හැක.

බසයේ ගමන්මලු රාක්කවල දැන් ගමන් මලු දමන්නට ඉඩ නැත. ඒවා පිරෙන්නට දෙපසම බෆල් පෙට්ටි සවි කර ඇත. ආසන යටද එසේමය. ගමන් මලු තබා ගැනීමට වඩා වැඩගත් වන්නේ ඝෝෂා කිරීමය. බසය ධාවනය ඇරඹීමත් සමඟ ආරම්භවන ඒකාකාරී රිද්මයකට අනුව ගැයුණු විරහා ගීත නතරවන්නේ ගමනාන්තයේදීය. ඔක්කොම කොල්ලන්ගේ කෙල්ලෝ උන්ව දමා වෙන උන් එක්ක ගොස් ඇත. කොල්ලාට අනුව ඒ කෙල්ල හදිසි වී කලබල වී ගත් වැරදි තීරණයක් ය. නමුත් ඔහු කෙල්ලට බණින්නේ හෝ ගරහන්නේ නැත. ගිය එකා එක්ක සතුටින් ඉන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරති. මේ විදිහට ගියොත් කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිය විට අලුත් ජෝඩුවට සතුටින් ඉන්න මුන් මාසික් දීමනාවක් වුවද දෙන්නට ඉඩ තිබේ. කෙල්ල දාලා ගියානම් එක්කෝ වෙන කෙල්ලෙක් සෙට් කර ගත යුතුය. නැතිනම් මැරිලා යා යුතුය. එහෙම වූවා නම් අපට නිදහසේ බස් එකක යන්නට ඉඩ තිබුණි.

කොන්දොස්තර මහතාට (මහතා යන වචනයට විවිධ අරුත් ඇති බව තේරුම් යන යෙදුමකි.) ශබ්ද වාහිනියේ ශබ්දය අඩු කරන ලෙස පැවසූ විට එක්කෝ "ඔය උපරිම අඩු කරලා තියෙන්නේ."ය. නැතිනම් රියදුරැ මහතාට නින්ද යන නිසා අඩු කළ නොහැක. රියැදුරාට නින්ද යන්නේ නම් බෆල් පෙට්ටි සවි කළ යුත්තේ ඔහු වටාය. බසයේ පිටුපස ඒවා සවිකර ඔහුගේ නින්ද කැඩෙන තුරු ඒවායේ ශබ්දය වැඩි කළ විට අපගේ කන් අඩි ද කැඩී යන බව මේ වෘෂභයන්ට නොතේරේ.

මම එනිසා සාමාන්‍යයෙන් කරන්නේ බසය ගමන් කරන්නට පෙර බසයට නැග ළඟම ඇති බෆල් පෙට්ටියට එන වයර් ඇද කඩා දැමීමය. එවිට ඔබට බසය ගමන් කරන විට කනට දැනෙන සුවයට වඩා සුවයක් බසයේ එහේ මෙහේ ඇවිදින කොන්දොස්තර එකී බෆල් පෙට්ටිය ක්‍රියා නොකරන බව දැනගත්විට පෙන්වන සාත්වික අභිනය නිසා මනසට දැනේ. වෙන විකල්ප නැත. අසුවන සේ කිරීමෙන් වළකින්න. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. නිවාරණයි.

දිනුක (පෑලදොර)