2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සිනමාවට නව එළියක්

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

“ගාන්ධිතුමාගෙ පින්තූරයක් දාලා ඇපල් සමාගම අමෙරිකාවෙ පත්තරේක ඇඩ් එකක් පළ කරලා. ඒත් ඉන්දියාවෙ මිනිස්සුන්ට ඒ ගැන කිසි ගාණක් නැතිලු.” සමරේ ඔහුගේ ගජමිතුරා වන අමරේට කීවේය.

“පුදුම වෙන්ඩ දෙයක් නෑ. ඉන්දියාවෙ මිනිස්සුත් දැන් ගාන්ධිව අමතක කරලා. ශාරැක් ඛාන් ඊට වැඩිය ජනප්‍රියයි.” අමරේ කීවේය.

“ඇපල් සමාගමට පුළුවන්නෙ ශාරුක්ව දාලා ඇඩ් එකක් හදන්ට.”

“ඒගොල්ල ඇඩ් හදන්නෙ මුළු ලෝකෙටම. අමෙරිකාව වගෙ රටවල් ශාරුක් ඛාන්ව අඳුරන්නෙ නෑ.”

“මට හිතෙන හැටියට ඉන්දියාවෙ මිනිස්සු මේ දවස්වල වැඩි අවධානයෙන් ඉන්නෙ අයෝධ්‍යාවල තියෙන කෝවිල ගැන. ඒක අයිති හින්දුන්ටද මුස්ලිමුන්ටද කියලා.”

“ගාන්ධිතුමා හිටිය නම් ඔය ප්‍රශ්නෙදි මොන වගේ තීරණයක් ගනීද”

“ඕක අහන්න ඕන ඇපල් සමාගම. අද කාලෙ මහජන මතය සකස් කිරීමේදි ඒගොල්ලො ගාන්ධිට වඩා හුඟක් බලවත්.”

“ශාරුක් ඛාන් ඔය ප්‍රශ්නෙදි මොන පැත්ත ගනීද? එයා මුස්ලිම් ජාතිකයෙක්.”

“ඒ වුණාට ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද, ඉන්දියාවෙ නළු නිළියන්ට ජාතියක් නෑ.”

“ගාන්ධිතුමා ගැන චිත්‍රපටයක් හැදුවා නේද?”

“ඔව්. හැබැයි ඒක හැදුවෙ රිචඩ් ඇටන්බරෝ. ඒකෙ ගාන්ධිගෙ චරිතෙ රඟපෑවෙත් බෙන් කිංස්ලි.”

“අපරාදෙ ඒකට ඉන්ඩියන් නළුවෙක්ම ගන්ඩ තිබ්බනේ. රජිව් ගාන්ධිගෙ ළමයින්ගෙන් කෙනෙක් වුණත් දාන්ඩ තිබ්බනෙ.”

“ගාන්ධිගෙ චරිතය ඉන්ඩියන්කාරයෙක්ම කළා නම් දෙවැනි සැරේටත් ගාන්ධිට වෙඩි කන්ඩ වෙයි කියල ඇටන්බරෝ හිතන්ඩ ඇති. ගාන්ධි අහිංසාවාදියෙක් වුණාට ජනතාව හැමෝම අහිංසාවාදී නෑනේ.”

මේ මොහොතේ එතනින් ගමන් කළ චිත්‍රානන්ද ද සමරේ සහ අමරේගේ කතාවේ කොණක් ඇසී ඊට සම්බන්ධ වූයේ ඔහු චිත්‍රපටලෝලියකුද වූ බැවිනි. 

“අපේ සිනමා අධ්‍යක්ෂකවරුන්ටත් තිබුණා දේශපාලන නායකයො ගැන චිත්‍රපට හදන්ඩ.”

“ඇයි පහුගිය කාලෙ හදන්ඩ පටන් ගත්තෙ. මේ ළඟදි ඩී.එස්. සේනානායක මැතිතුමා ගැනත් චිත්‍රපටයක් ආවෙ.” සමරේ කීවේය.

“අපේ රටේ දක්ෂ නළුවො ඉන්න එක ඇත්ත. ඒත් චිත්‍රපටය දුවවන්ඩ නම් තිබුණේ ඩී.එස්.ගෙ චරිතෙට ඛාන් කෙනෙක් හරි කපූර් කෙනෙක් හරි දාන්ඩ.” චිත්‍රානන්දගේ කතාවට අනෙක් දෙදෙනාට සිනහ පහළ වුණි.

“ඇයි මොකද හිනාවෙන්නෙ?” චිත්‍රා ඇසුවේය.

“ඔන්න ඕක තමයි අපි තාම නිදහස ලබලා නෑ කියන්නෙ.” අමරේ කීවේය.

“ඒක වෙනම කතාවක්. මම කිව්වෙ අපේ චිත්‍රපට කර්මාන්තය දියුණු කරන්න පුළුවන් ක්‍රමයක්. අපේ මිනිස්සු මුල ඉඳලම සිනමාව අවතක්සේරු කෙරුවා. සිංහල සිනමාවෙ පළවෙනි නළුවා ආචාර්ය එන්.එම්. පෙරේරා. එයා දිගටම චිත්‍රපට රඟපෑව නං එම්.ජී.ආර්. වගේ හොඳ තැනකට ඇවිත් සමසමාජ පක්ෂෙත් ගොඩදාන්ඩ තිබුණා.”

“ඔව් එහෙමනම් එන්.එම්. පෙරේරා උන්නැහෙත් සාදුකින් පෙළෙනවුන් ගීතය කියනව වෙනුවට ප්‍රේම ගීත කිය කියා ගස් වටේ දුවනව බලන්ඩ තිබුණා.” අමරේ සිනාසුණේය.

“චිත්‍රපට හදන්ඩ වටින නායකයො කී දෙනෙක් අපිට හිටියද.. බණ්ඩාරනායක, දහනායක, ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්, ප්‍රේමදාස.” චිත්‍රානන්ද දිගටම තම මතයේ සිටියේය.

“ඒගොල්ලො ගැන නම් චිත්‍රපටයක් නෙවෙයි මෙගා ටෙලිනාට්‍යයක් වුණත් හදන්ඩ පුළුවන්.” අමරේ කීවේය.

“ඇයි අර ලැයිස්තුවට ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙ නම ඇතුළත් නොකළේ.” සමරේ ඇසීය.

“අපෝ ඒක නැඟලා යන එකක් නෑ. එතුමගෙ ජීවිතේ චිත්‍රපටයකට සුදුසු එක ජවනිකාවයි තියෙන්නේ.”

“ඒ මොකක්ද..”

“රෑ නිදාගත්තු අගමැති උදේ නැඟිටිනකොට ජනාධිපති” චිත්‍රානන්ද සිනාසෙමින් කීවේය.

“ෂා! ඒ කෑල්ලනම් හින්දි ෆිල්ම් එකකට වුණත් හොඳයි.” සමරේ සහ අමරේද සිනාසෙමින් චිත්‍රානන්ද හා එකඟ වූහ.

“ඔය චිත්‍රපටවල අතිරේක නළු නිළි චරිතවලටත් නළු නිළියො හොයාගන්නැති නේද?” සමරේ චිත්‍රානන්දගෙන් ඇසීය.

“අන්න එතන තමයි ප්‍රශ්නෙ වෙන්නෙ. නළු නිළියො තොග ගණන් ඉඳියි. හැම නායකයෙක්ටම ජෝකර්ලා දෙතුන් දෙනෙක් හිටියා. කතා නායක නායිකාවො හිටියා. සයිඩ් සපෝටර්ල හිටියා. දුෂ්ටයො හිටියා.”

චිත්‍රානන්දගේ ඒ පිළිතුර ඇසූ සමරේ මොහොතක් කල්පනාවේ සිට මෙසේ කීවේය.

“ඔය විදිහට දේශපාලන චරිත ගැන එකදිගටම චිත්‍රපට හැදෙනකොට අපිට ඒකට වෙනම සම්මාන උළෙලකුත් තියන්න පුළුවන් වෙයි.”

“හැබැයි ඒකෙ විනිශ්චය මණ්ඩලයට නං හුඟාක් බලපෑම් තියෙයි.”

“ඒකට අපි නියම කට්ටියක් පත් කරමු.”

සියල්ලෝ ඊට එකඟ වූහ.

“වර්තමාන නායකයො ගැන චිත්‍රපට හැදුවොත් නරකද.. ඒගොල්ලොත් පුදුම රඟපෑමක්නෙ දැන් කරන්නෙ.”

“මිනිස්සු බලාගෙන ඉන්නෙත් ඒ චිත්‍රපටය එනකම් තමයි.” චිත්‍රා කීවේය.

“ඒ මොකටද?” සමරේ ඇසීය.

“චිත්‍රපට ශාලා ගිනි තියන්න.”

►කපිල කුමාර කාලිංග
  

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00