2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මැති සබ දෙකක්!

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

පසුගිය දෙවැනිදා උදෑසන කාර්යාලයට ගිය මට දක්නට ලැබුණේ උපන්දින කේක් ගෙඩියක් කැපීමට සැරසෙන තරුණ තරුණියන් පිරිසකි.

“කාගෙද බර්ත් ඩේ එක?” එහි ළං වූ මම ඇසුවෙමි

“අයියෝ..... ඒකවත් දන්නේ නැද්ද? ශාරුක්ගේ”

ඔවුන් මේ සැමරීමට සූදානම් වෙන්නේ ‘කින්(ග්) ඛාන්’ නමින් ලෝක ප්‍රකටව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු ශාරුක් ඛාන්ගේ පනස් තුන්වැනි උපන් දිනයයි. මට ද කේක් කෑල්ලක් රස විඳින්නට ඇරයුම් ලැබුණත් පැණි රස කෑමෙන් වැළකී සිටින්නකු බැවින් තරුණ පිරිසට ස්තූති කොට එතැනින් නික්ම කැන්ටිම දෙසට පිය නගන්නට වූයෙමි.

ශාරුක් ඛාන් යනු නියම නළුවෙකි. නළුවන්ගේත් නළුවෙකි. ලොව පුරා ඔහුට රසිකයන් ඇත. එහෙත් එක්තරා අවස්ථාවක අමෙරිකාවේ ගුවන් තොටුපලකදී ඔහු හඳුනා නොගැනීම නිසා ප්‍රශ්න කිරීමකට ලක්වුණි. ඉන් කණස්සල්ලට පත් කින්ග් ශාරුක් ආපසු ඉන්දියාවට පැමිණ ‘මයි නේම් ඊස් ඛාන්’ නමින් චිත්‍රපටයක් නිපදවූයේය.

එඩින්බර්ග් විශ්ව විද්‍යාලය 2015දී ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමුවේය. ඊට විරුද්ධත්වය පෑ පුද්ගලයෙක් ශාරුක්ට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විශ්ව විද්‍යාල අධිකාරියෙන් විමසුවේය. ඔහුට ලැබුණු පිළිතුර මෙසේ විය.

“ඔහු ශාරුක් ඛාන් වීම නිසාය” යනුවෙනි. ශාරුක් ඛාන් එක්වරක් ලංකාවට ද පැමිණියේය. මගේ මතකයේ හැටියට එය වැලන්ටයින් දිනයකි. කොළඹ පැවති එම උත්සවයට කවුදෝ බෝම්බ ගැසුවේය. සිනමා ලෝකයේදී ඕනෑ තරම් බෝම්බවලට මුහුණ දී ඇතත් සැබෑ ජීවිතයේදී එවැනි අත්දැකීමක් ලබා නැති ශාරුක් බියට පත්ව එදිනම ලංකාවෙන් පිටව ගියේ “අනෙ අම්මෝ ආයෙනම් කිසිදාක ලංකාවට එන්නේ නැතැයි” කියමිනි.

ඒ කෙසේ වෙතත් ඔහුගේ උපන් දිනයට කේක් කපන තරුණ තරුණියන් ලංකාවේ සිටින තාක් කල් ඔහුගේ ජනප්‍රියත්වයට කිසිදු හානියක් සිදුවන්නේ ද නැත.

කැන්ටිමට ගිය මම සුපුරුදු පරිදි ලුණු මිරිසක් සමඟ ආප්පයක් කෑමට සැරසුණෙමි. එහෙත් මා මවිතයට පත් කරමින් කැන්ටිමේ කොලුවා පැවසුවේ නැවත දන්වන තුරු ආප්ප විකිණීම නතර කොට ඇති බවය. ඊට හේතුව විමසූ මට දැනගැනීමට ලැබුණේ එය ඉහළින් ආ නියෝගයක් අනුව ක්‍රියාත්මක කෙරුණක් බවය. ශාරුක්ගේ කේක් කෑල්ල අහිමි කරගත් මට හැමදාම කන ආප්පය ද නැති වී ඇත.

මේ දිනවල පවතින දේශපාලන අර්බුදය ගැන සමාජ ජාලයකට අදහස් දැක්වූ මන්ත්‍රීවරයකු අලුත් ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවේ ආප්ප නිෂ්පාදනය තහනම් කෙරෙන බව පවසනු ඇසීමෙන් මම තවත් කනස්සල්ලට පත්වීමි.

ආහාරය ද දේශපාලනික බව ඇත්තය. එහෙත් පොදු ජනයාගේ සිත් ගත් කෑමකින් දේශපාලන පළිගැනීම් කිරීම අපට අනුමත කළ නොහැකිය. මෙය දිගින් දිගටම ඉදිරියට ගියහොත් ශ්‍රී ලාංකිකයාට බොහෝ කෑම වර්ග අහිමි වනු ඇත. එක් අතකට එය ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයකි. මිනිසුන්ට ශාරුක් වෙනුවෙන් කේක් කපන්නා සේම තමන්ට ප්‍රිය ඕනෑම කෑමක් බීමක් ගැනීමට අවසර තිබිය යුතුය.

සිරි ලංකාවේ දේශපාලනයට ආප්ප සම්බන්ධ වූ අවස්ථාවක් මීට පෙර නම් තිබී නැත. එහෙත් එක්තරා රසවත් සිද්ධියක් නම් මගේ මතකයට නැගේ.

ජී. එස්. ප්‍රනාන්දු යනු කලක ඉහත සිට දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන්ම පුවත්පත් කාටුන්කාරයෙකි. සර් ජෝන් කොතලාවල අගමැතිව සිටි අවධියේ ජී. එස්. ඔහුව ද සරදමට ලක්කරමින් කාටුන් ඇන්දේය. එක් දිනක් තම නිවසට පැමිණ තමා හමුවන මෙන් සර් ජෝන්ගෙන් කැඳවීමක් ලැබුණි. සර් ජෝන්ගේ දඩබ්බර ගති ගැන හොඳින් දන්නා ජී. එස්. තරමක් බියට පත් වුවත් නියමිත දිනයේ ඔහු හමුවන්නට ගියේය. ඒ මොහොතේ සර් ජෝන් සිටියේ උදෑසන ආහාරයට සූදානම් වෙමිනි. කෑම මේසය පුරා ආප්පය.

“එනවා මාත් එක්ක ආප්ප කන්න”

ජී. එස්. ද මේසයට හිඳගත්තේය. හිතේ හැටියට ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප කන්නට ලැබුණි.

“තමුසෙ මටත් කාටුන් එකක් ඇඳලා දෙනවකෝ ගෙදර එල්ලගන්න”

සර් ජෝන් ජී. එස්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ඒ කාලේ අගමැතිවරුන්ගේ හැටි එහෙමය. ඒ කෙසේ වෙතත් බණ්ඩාරනායක අගමැතිතුමා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කෑ බවටත් ජයවර්ධන ජනාධිපතිතුමා නෙලුම් කොළේ යට සඟවාගෙන සැන්ඩ්විච් කෑ බවටත් තවත් ජනාධිපතිවරයකුගේ ප්‍රියතම කෑමක් වූ ගොටුකොළ සම්බෝලය ගෙන ඒමට අමතක වීම නිසා බියපත්ව අදාළ සේවකයන් හෙලිකොප්ටරයෙන් ආපසු කොළඹ යැවූ බවටත් දේශපාලන කතා පොතේ ලියැවී ඇති බව මතකයට නැගේ. එසේම සර් ජෝන් කොතලාවල භෝජන සංග්‍රහයකදී රෝස්ට් කරන ලද ඌරකු කපන ඡායාරූපයක් පුවත්පතක පළවීම නිසා ලෝක ලෙඩක් දාගත්තේය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමා මියයාමට පෙර අවසන් ආහාරය වශයෙන් ගත්තේ පුඩිං ටිකක් බව ඔහුගේ හිතවත් සේවකයා කියා තිබුණි.

ඒ කතාව සරදමකට ගත් ඔහුගේ විරුද්දවාදියෝ “ඩඩ්ලි මැරුණෙ පුඩිං කාලා. අපි මැරෙන්නේ හුළං බීලා” යැයි කියමින් මැයි දින පෙලපාළි ගියහ. සිරි ලංකාවේ දේශපාලනයේ අගමැතිවරැන් දෙදෙනකු සිටි කාලයක් මීට පෙර කිසිදා නොතිබුණි. දැන් අපි ඒ ලෝක වාර්තාවත් පිහිටුවා ඇත්තෙමු. එක් අයෙක් ව්‍යවස්ථාදායක අගමැතිය. අනෙකා පත්කරන ලද අගමැතිය. ඒ අතින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් තරු පහේය.

අගමැතිවරු දෙදෙනෙක් සිටින නිසා රටේ ජනතාවට ප්‍රශ්න නැත. මීට කලකට පෙර නම් ජනතාවට පරමාධිපත්‍ය යැයි දෙයක් කරපිට පටවා තිබුණි. දැන් එය ද පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිටම අයිති වී ඇති සේය.

දැන් ලංකාවට අවශ්‍ය වී තිබෙන්නේ පාර්ලිමේන්තු දෙකකි. එකක් බලය සහ ව්‍යවස්ථාව, කැබිනට් තනතුරු ආදිය ගැන කතාබහ කරන තැනය. අනෙක ජනතාවගේ ඕනෑ එපාකම් ගැන සොයා බලන ජනතා නියෝජිතයන් සිටිනා තැනය.

සිරි ලංකාවට අගමැතිවරුන් දෙදෙනකු සිටින නිසා ජනාධිපතිවරුන් ද සිටියහොත් හොඳ යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් එබඳු අවශ්‍යතාවක් අපට නම් නොපෙනේ. ඊට හේතුව පත් කළ අගමැතිවරයා විසින්ම ජනාධිපතිවරයාගේ කාර්යභාරයක් ඉටු කරන කාලයක් අනාගතයේදී උදාවීමට ඇති නිසාය.

►කපිල කුමාර කාලිංග