2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

වැලිකොට්ට සූත්තරේ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

“මිනිස්සු පාර්ලිමේන්තුව පොළොවට ගිලාබහින කල් බලා ඉන්නවා. ඒ විතරක්යැ අපිට අකුණු ඉල්ලනවා.” පාර්ලිමන්ට් පේ ලිස්ට් එකේ සිටින කෙනෙක් මෙසේ කියා වැඩි දවසක් ගියේ නැත. දියවන්නාවට මහ වැසි ඇද වැටී පාර්ලිමේන්තුව යට වෙන්නට ගියේය. ආරක්ෂකයෝ වහ වහා රොක්ව, වැලි කොට්ට තබන්නට වූහ. යාන්තම් වැස්ස පෑව්වේය. නැත්නම් සිදුවන්නේ මහජන මුදලින් තවත් පාර්ලිමේන්තුවක් ඉදිකිරීමටය. එය මෙවර ඉදිවන්නේ ජයවර්ධනපුරයේ නොව පුලතිසිපුරයේ බවට සැකයක් නැත.

ඉහත කී ප්‍රකාශය මෙන්ම සිදුවීමද සුළුපටු නැත. ඒ කතාව කියා තිබුණේ “රුපියල් දස ලක්ෂයත් ගාණක් දැයි” විහිළු කළ මැතිතුමාය. වේදිකා මත මොන මොන සින්දු කිව්වත් ඒ වගේ විහිළු කිරීම නම් බාල වැඩකි. ඇලෝෂියස්ලාගේ වුණත් සල්ලි යනු සල්ලිය. ඒවා කළු සල්ලි වුවත් ප්‍රශ්නයක් නැත. මේ රටේදීම සුදු කරගත හැකිය.

වැසි කාලයට, අකුණුවලින් පරිස්සම් වන්නැයි කල්තියා අවවාද කිරීම කාලගුණ දෙපාර්තමේන්තුවේ සිරිතකි. එයින් තැති ගන්නේ කවුරුන් දැයි දැන් පැහැදිලිය. වැස්ස වළාහකයා ද, සුනාමියා මෙන්ම අණක් ගුණක්, හිතක් පපුවක් නැත්තෙකි. රට කරවන තැනය කියා බල බලා ඉන්නේ නැත. අනිත් අතට ජල ගැල්මකට නම් වැලි කොට්ට තබා හෝ ප්‍රතිකර්ම යෙදිය හැකිය. එහෙත් අකුණු සැරින් බේරීමට නම් බංකර තුළ රිංගා හෝ අපහසුය. වැසි නැති අකුණු ද පතිත විය හැකි බැවින් බොහෝ පරිස්සම් විය යුතුය.

ජ.වි.පෙ. නායක සහෝදරයා මෑතකදී කියා තිබූ අන්දමට මැති ඇමැතිවරුන් මිලදී ගෙන ඇත්තේ කෝටි ප්‍රකෝටි වටිනා රථ වාහනය. ඒවායේ අකුණු සන්නාසක තිබෙනවා දැයි කීමට අපි නොදනිමු. නොතිබේ නම්, තවත් කෝටියක් දෙකක් හෝ වැය කර ඒවා සවිකර ගැනීම නුවණට හුරුය. තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගතයුතු බව, රට කරවන තැන ජයවර්ධනපුරයට ගෙන ආ ලොක්කාද කියා තිබුණි. (මහජන සේවකයින්ට පඩි ගෙවීමට තීරණය කළේද එතුමාය. අතමිට සරුවන කල තමන්ගේ සගයින් වංචා දූෂණ නොකරනු ඇතැයි එතුමා බලාපොරොත්තු වූයේය.)

අකුණු වදින්නේ පව්කාරයින්ට යැයි විශ්වාසයක් ඇත. එය සැබෑවක් නම් දියවන්නාවට අකුණු වදින්නට ඉඩක් නැත. ඒ ස්ථානයේ සිටින්නේ ලංකාවේ පමණක් නොව ආසියා මහද්දීපයේම පින්කාරයෝය. වාසනාවන්තයෝය. ලක්කාරයෝය.

දියවන්නාවෙන් මෙහා - රට පුරාම සිටින්නේ පව්කාරයෝය. අකුණු නොවැදුණාට උන්ට වැදිය යුතු හැම වැදිල්ලක්ම දිගට හරහට වැදෙයි. ඒවා වළකන්නට කිසිම “සූත්‍රයකට” බැරිය.

මෑතකදී මගේ මිත්‍රයෙක් “අමාරු ප්‍රශ්නයක්” ඇසුවේය.

“තමුසෙලා හැම තිස්සෙම දේශපාලනඥයන් විවේචනය කරනවා. විහිළුවට ලක් කරනවා. ඒක වැරදියි. ලෝකෙ කොහේවත් පිරිසිදු දේශපාලනය කියල දෙයක් නෑ. තියෙනව නම් කියනව බලන්න.”

මම ටිකක් කල්පනා කළෙමි.

“දැන් නැති වුණාට ඉස්සර තිබිල තියෙනවානෙ.”

මගේ පිළිතුර ඇසූ මිතුරා හඬ නගා සිනාසුණේය.

“නෑ... කවදාවත් නෑ... පිරිසිදුව දේශපාලනය කරන්න ගිය අයට ඉඩ ලැබුණෙත් නෑ.”

“එතකොට කොතනද වැරුද්ද?”

“බලය, බලය කියන දේ තමයි වැරදිකාරයා. දෙක ධනය. බලයයි ධනයයි එකතු වුණාම හරි වැරදි පේන්නෙ නැතුව යනවා. ඊට පස්සේ සිහි කල්පනාව නැතුව යනවා.”

“ඒක හරි භයානකයිනෙ. සිහි කල්පනාව නෑ කියන්නෙ මොළේ අවුල්. ඊට පස්සෙ පිස්සු කෙළිනවා. එතකොට රටක් අගාධයට යනවා කියන එක පුදුමයක් යැ.”

“ඒක තමයි මං කිව්වෙ. දේශපාලනේ හැටි එහෙමයි.”

“අපි ඒක වෙනස් කරන්න ඕනෙ නැද්ද?”

“ලේසි නෑ... අනික මොකටද?”

“පිස්සු කෙළින එවුන් සැප විඳනවා. ජනතාවනෙ දුක් විඳින්නෙ.”

“ජනතාවට වෙනසක් ඕනේ නෑ. වෙනස් කළත් ඒ ගොල්ලො අහන්නෙ වෙනස සැපයි ද කියලා.”

“මම නං කියන්නෙ මොකක් හරි වෙනසක් ඕනෙ. අපිට මෙහෙම ඉදිරියට යන්න බෑ.”

“මොනව වෙනස් කරන්ඩද? ආපහු එන්නෙ පරණ කට්ටියමනෙ. එහෙම නැත්නම් දොගොල්ලම කලවම් වෙලා. පුළුවන් නම් ජනතාව වෙනස් කරන්න බලනවා.”

මිතුරා මට සරදම් කරමින් නික්ම ගියේය.

එදින රැයේ මට හරිහැටි නින්දක්ද නොවීය. මාළුවෙකුට ජලය මෙන්, මිනිසාට දේශපාලනය අවශ්‍යය. එසේම ඒ දෙකම පිරිසිදු විය යුතුය. අපිරිසිදු ජලයේදී මාළුවෝ මැරෙති. අපිරිසිදු දේශපාලනයෙන් එක මිනිසෙක් දෙන්නෙක් නොව රටක් නොව ලොවක්ම වැනසී යා හැකිය. තත්ත්වය භයානකය.

පසුදින උදෑසන මගේ බිරිඳ දෝෂාරෝපණයක් එල්ල කළාය.

“ඊයේ ඔයා ඇඳේ එහාට මෙහාට පෙරළි පෙරළි හිටියා. මිස නිදාගත්තෙ නෑ නේද? ඉතින් මටත් සැරින් සැරේ ඇහැරුණා.”

“ඊයෙ මගෙ ඔළුව ටිකක් අවුල්. ඒකයි.”

“ඇයි මොකද්ද අවුල?”

“ඒක ඔයාට කියල වැඩක් නෑ.”

“ඒක මාර කතාවක්නෙ. මට නොකියා වෙන කාට කියන්ඩද?”

ඇය රවා බලා ගැස්සුවාය.

රටේ ලෝකේ ප්‍රශ්න නිසා පවුල් ජීවිතය අවුල් කර ගතයුතු නැත. ඇයට ඇත්තට කිව යුතුය.

“මේ රටේ පිරිසිදු දේශපාලනයක් නෑ. ඒකයි මට නින්ද නොගියෙ.”

“ඔයා ඕක දැන්ද දන්නේ.” බිරිඳ අල්ලපු ගෙදරට ඇසෙන තම් හඬින් සිනාසුණාය.

මා එදින කන්තෝරු ගියේ, හදිසි දුම්රිය වර්ජනයකට හසුවූ කාලෙක මෙනි. එහෙත් එහිදී දැනගැනීමට ලැබුණු “විශේෂ ප්‍රවෘත්තිය”කින් මට ප්‍රබෝධයටත්, යථා තත්ත්වයටත් පත්විමි.

ක්‍රිකට් දූෂණ සෙවීමට පැමිණ සිටින අයි.සී.සී. (ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය) කණ්ඩාම සමඟ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟ වී ඇත. ක්‍රිකට් සමඟම ලංකාවේ දේශපාලනය ද පිරිසිදු කිරීමේ වගකීම ඔවුන් බාරගෙන ඇත. මා එදින ගෙදර ගියේ ජයග්‍රාහී මනසෙනි. එහෙත් බිරිඳ කියූ දෙයින් මම යළිත් අවුල් වීමි.

“වැඩක් වෙන එකක් නෑ... දැන් ප්‍රවෘත්තිවලට කිව්වා බාරකාර ආණ්ඩුවට චීනයයි, ඉන්දියාවයි දෙකම විරැද්ධයි කියලා.”

මට එදිනද නින්ද ගියේ නැත. මුළු සිරිලංකාවටම වැලි කොට්ට අවශ්‍ය වී ඇත.!

►කපිල කුමාර කාලිංග