2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මනරංජන වැඩ වර්ජන

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

දුම්රිය වැඩ වර්ජනය අවසන් වීම අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ හැර අනෙක් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මහත් සතුටට හේතු වූ බව සත්‍යයකි. උසස් පෙළ අසමත් වන සිසුන්ට සමාවට කාරණයක් වශයෙන් දුම්රිය වර්ජනය නිසා සිදු වූ ගමන් අපහසුතාව ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව ගිළිහී යාම ඔවුන්ගේ කනස්සල්ලට හේතු වූවාට සැක නැත. රූපවාහිනී නාලිකාවකින් අදහස් දැක්වූ උසස් පෙළ ශිෂ්‍යයෙක් මෙසේ කියා සිටියේය.

“මේ දවස්වල අපිට පාඩම් කරන මානසිකත්වයක් නෑ. හවසට හිතන්නේ හෙට උදේ විභාගෙට යන්න කෝච්චියක් තියෙයිද කියලා. විභාගෙට ලියන්න ගියාමත් හිතෙන්නේ හවසට යන්න කෝච්චිය තියෙයිද කියලා.” එවිට රූපවාහිනී වාර්තාකරුවා ඔහුගෙන් හරස් ප්‍රශ්නයක් ඇසීය.

“ඇයි ඔබ දුම්රියේම යන්න හදන්නේ? මේ වගේ වෙලාවක වෙන විකල්පයක් හොයාගන්න බැරිද?”

“ඒක දුම්රිය වර්ජකයන්ට කරන අසාධාරණයක් නේද? අනිත් එක මගෙ ගෑනු ළමයත් බස්වල යන්න කැමති නෑ. අපි දෙන්නා මුණගැහුණෙත් දුම්රියේදිමනේ.”

එම පුවත් වැඩසටහන අවසානයේදී වාර්තාකරුවා තම අදහස දක්වමින් කියා සිටියේ දුම්රිය මගීන් කාලාන්තරයක් මුළුල්ලේ දුම්රියෙන්ම ගමන් කිරීම නිසා එයට ඇබ්බැහි වී සිටින බවකි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුය.

ජීවන වියදම නොසරිලන වැටුප් ලබන දුම්රිය සේවකයන් ඉල්ලා සිටියේ ඉතා සුළු වැටුප් වර්ධකයක් වුවද “මුරණ්ඩු ඇමතිවරු” එය සළකා බැලුවේ නැත. “වර්ජනය අත ඇරලා සාකච්ඡාවට වරෙල්ලා” එය ඔවුන්ගේ උද්දච්ච ස්වරය විය. ජනාධිපතිවරයාගේ කරුණාව නොතිබෙන්නට මේ රටේ බොහෝ වර්ජන සදාකාලික වීමට ඉඩ තිබේ. වැඩ වර්ජන අමාත්‍යංශයක් බිහි කොට, එය ජනාධිපතිවරයාටම බාර දුන්නත් වරදක් නැත.

අපේ කාර්යාලයේ මිතුරන් පැවසූ අන්දමට උදෑසන වැඩට ගෙනවිත් ඇරලන ලක්ෂ සංඛ්‍යාත මගීන් සවස් වරුවේ ගෙවල් දොරවල්වලට නොඇරලීම ඔවුන්ගේ මානසික අයිතිවාසිකම් කඩ කිරීමකි. නොඑසේ නම් අතරමං කිරීමකි.

ප්‍රංශ විප්ලව සමයේදී කෑමට පාන් නැති බව කියා සිටි දුගී දුප්පතුන්ට එරට සිටි මාරි ඇන්ටොනයිට් බිසව කියා සිටියේ ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යනුවෙනි. අපේ රටේ ඇමැත්තෝ ද, ‘කෝච්චි නැත්නම් කාර් එකේ වැඩට පලයල්ලා’ යැයි කීමටද ඉඩ ඇත. ඒ ඇත්තන්ගේ දරුමල්ලන්ට පමණක් නොව බලුබල්ලන්ට පවා ගමන් බිමන් යාමට සුඛෝපභෝගී යාන වාහන ඇත. අපේ දුම්රිය මගීන් බොහෝ දෙනකුට තිබෙන්නේ “සීසන් ටිකට්” එකක් පමණක් බව ඒ පින්වත්තු නොදනිති. හදිසියේම දුම්රිය වර්ජනයක් කළහොත්, ඒ අසරණුන් පත්වෙන්නේ ස්ටේෂන් මාස්ටර්ගෙන් “අතමාරුවක්” ඉල්ලා ගෙන ගෙදර යාමේ තත්ත්වයකටය.

යුරෝපා රටවල රැකියාවක් කර අත්දැකීම් ඇති මිතුරකු මා සමඟ පැවසුවේ, ඒ රටවල නම් වැඩ වර්ජනය කළ විටත්, දුම්රිය හෝ බස් රිය ගමන් කරනා බවයි. එහෙත්, එවිට මගීන් ටිකට් ගතයුතු නැත. ගමන නොමිලේය. ඒ නිසා ආණ්ඩුවට කෝටි ගණනින් අලාභ සිදුවේ. මේ නිසා මගියෝ ද වර්ජකයන්ගේ පැත්තේය. ඒ දියුණු රටවල වර්ජකයන් ආණ්ඩුවට විරෝධය දක්වන්නේ එසේය. මහජනතාවගේ බෙල්ල මිරිකීමට හෝ එදිනෙදා ජන ජීවිතය කඩාකප්පල් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත.

මීළඟ වැඩ වර්ජනයේදී එබඳු ‘නිදහස් ගමන්’ සැලසීමේ වැඩ පිළිවෙළකට යන මෙන් දුම්රිය හා බස් සේවා සංගම් වෙත යෝජනා කර සිටිනු කැමැත්තෙමි. පෞද්ගලික බස් හිමියන් හැර අන් සියල්ලෝම ඊට විරුද්ධ නොවනු ඇත. එය දෙපාර්ශවයේම වාසිදායක වූද, අන්‍යොන්‍ය සහයෝගයෙන් පවත්වාගෙන යා හැකි වූද සුභසාධක වර්ජන සම්ප්‍රදායක් බවට පත්වනු නිසැකය. එවැනි ‘ලාභදායී’ වැඩ වර්ජනයක් අවසන් වෙනවාට පවා මහජනයා විරුද්ධ වනු ඇත. කලින් කලට මෙබඳු සුභ සාධක වැඩ වර්ජන පැවැත්වීමෙන් පොදු ජනතාවගේ ආර්ථික දුෂ්කරතා ද තරමක් හෝ අඩු වන ඇත. විෂය බාර ඇමැතිවරයාට ද ඒ දිනවලදී තම අඹුදරුවන් සමඟ විදේශ සංචාරයක ගොස් (පෞද්ගලික වියදමින් හෝ රජයේ වියදමින්) විවේකයක් ලැබිය හැකිය. විපක්ෂය පවා ඊට එරෙහි වනු නැත. ඇමැතිවරු ද මනුෂ්‍යයෝය.

මගේ මිත්‍රයා පැවසූ අන්දමට තවත් ආකාරයකට මහජන හිතවාදී වැඩ වර්ජන ක්‍රමයක් ඇත. එහිදී ද වර්ජකයෝ වැඩෙහි යෙදෙති. එකම වෙනස, රජයට විරෝධය පළ කරනු පිණිස ඔවුන් තම බාහුවක කළු පටියක් බැඳ සිටීමය.

මෙරට ශිෂ්‍ය වර්ජන හා උද්ඝෝෂණවලදී ද නළල් පට මෙන් කළු පටි හෝ රතු පටි බැඳ සිටින අයුරු දක්නට ලැබේ. කළු පටි බාහුවේ බැඳගෙන දේශනවලට යනවා නම් මේ උද්ඝෝෂණ වඩා ප්‍රගතිශීලී තැනකට ගෙන යා හැකිය. එවිට ලිප්ටන් වටරවුමේ හෝ ගාලු පාරේ ගමනාගමනයට ද බාධා සිදු නොවනු ඇත. එවැනි නිහඬ විරෝධතා වර්ජන ක්‍රමයකට මහජනතාවගේ ද සහයෝගය ලැබීම අනිවාර්යය. එපමණක් නොව, ඇතැම් සිවිල් සංවිධාන ‘කළු පටි’ සැපයීම සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වනු ඇත. කරාටේ සංගම් පවා ශිෂ්‍යයන්ට හා වැඩ වර්ජකයන්ට ‘කළු පටි’ ප්‍රදානය කිරීමට සිය කැමැත්ත පළ කරනු නොඅනුමානය. වැඩ වර්ජනය හෝ උද්ඝෝෂණය අවසානයේ ‘කළුපටිධාරියකු’ වීමට අකමැති කවුරුන්ද?

මේ මනරංජන වැඩ වර්ජන ක්‍රියාවලිය තුළින් කුළු පොලුධාරී කැරලි මර්දන පොලිස් හමුදාවන් ද තාවකාලිකව නිවාඩු ගන්වා හෝ විසුරුවා හැර ඔවුන් භාවනා පංතිවලට යොමු කිරීමට පොලිස්පතිතුමාට අවස්ථාව උදාවනු ඇත.

එසේම, විෂය භාර ඇමැතිවරුන්ගේ දෙමව්පියන්ට ද පරුෂ වචනයෙන් නින්දා අපහාස නොලබා මෙලොව හෝ පරලොව පිනක් දහමක් කරගෙන නිදහසේ ජීවත්වීමට ඉඩ සැලසෙනු ඇත.

අතිගරු ජනාධිපතිතුමාට ද, ශ්‍රී ලංකා ජනරජයේ කටයුතු බලා කියාගෙන, (හැම කුණු ගොඩටම අත නොගසා) තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගෙන, පාක්ෂිකව හෝ නිර්පාක්ෂිකව ධාර්මික ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව උදාවේ.

සියරට දේ සිරිසැප දේ කියමින් එක තැන කැරකෙනවාට වඩා පිටරටින් එන හොඳ දේ පිළිගනිමින් ඉදිරියට යාමට අප සැරසිය යුතුය. ලෝක පාපන්දු තරගාවලියට ගිය ජපන්නු අනුගමනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාංගණ පවිත්‍ර කිරීමට අපි දැන් පුරුදු වෙමින් සිටිමු. නිදහස් ගමන් හෝ කළු පටි වර්ජන සම්ප්‍රදාය ද ක්‍රියාත්මක කිරීමෙන් දියුණු ජාතීන් අතරට එක්වීමේ මහඟු අවස්ථාව අප විසින් උදාකර ගත යුතුය. එවිට වැඩ වර්ජන, ඉල්ලා සිටීම සඳහා ද මහජනයා පෙළගැසෙන, දියුණු දේශපාලනික යුගයක් අප රට තුළ නිර්මාණය වනු නොඅනුමානය.

►කපිලකුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00