2018 ජුලි 21 වන සෙනසුරාදා

එල්ලුම් ගසට අවසරයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ඇක්මන් බාසුන්නැහේ මේ දිනවල පළාත් සභාවේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ යෙදී සිටී. පසුගිය දිනෙක ඔහු වැඩ බිමෙහි මඩුව ඉදිරිපස බංකුවක හිඳ පුවත්පත බලමින් සිටින අතරේ අසල සිටි ගෝලයෙකුට මෙසේ කීවේය.

“බන්ධනාගාරෙට අලුතින් අළුගෝසුවො දෙන්නෙක් ගන්න යනවලු.”

“ඒකට නම් ඕනතරම් කට්ටිය එයි.”

“ඕන තරම්...? උඹට පිස්සුද බං. ඒක ලේසි ජොබ් එකක් නෙවෙයි. හිටපු දෙන්නෙක් අස්වෙලා ගිහිල්ලලු.”

“වැඩ නැති නිසා කම්මැලි හිතෙන්න ඇති...”

ගෝලයාගෙ කතාවට ඇක්මන් බාස්ට සිනා ගියේය. ඉන් දිරිමත් වූ ගෝලයා යළිත් කතා කළේය.

“දැන් රටේ හැම තැනම මිනී මරන මිනිස්සු ඉන්නවනෙ. එහෙම දෙන්නෙක් අළුගෝසු ජොබ් එකට තෝරගත්තැකිනෙ ලේසියෙන්ම. ඔය ඕනෑ තරම් වෙඩික්කාරයො ඉන්නෙ. කතුරෙන් ඇනලත් මිනීමරන්න දක්ෂයෝ ඉන්නවනෙ. පසුගිය මාස තුනට දෙසීය ගාණක් මරලලු.”

“හිරගෙවල් ඇතුළෙ වෙඩි තියල පිහියෙන් ඇනල මිනී මරන්න බෑ බං! මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නෙ එල්ලුම් ගහෙන්.”

“එල්ලුම් ගහ හරි පරණ ක්‍රමයෙක්නෙ බාසුන්නැහේ. වෙඩි තියල මරණ එක නේද ලේසි?”

“ඔව් ඒකට නම් ඕනතරම් සුදුස්සෝ ඉදිරිපත් වෙයි... ඒත් බෙල්ලට තොණ්ඩුව දාලා එල්ලල මරණ එක තමයි නියම ශ්‍රී ලාංකික මරණ දඬුවම... ඒක නං ලේසි ජොබ් එකක් නෙවෙයි. එක්ස්පීරියන්ස් මිනිස්සු අඩුයිනෙ.”

“ඒතක් ඇත්ත... කලින් සේවය කරපු තැනකින් චරිත සහතිකයක්වත් ගන්ඩයැ... ඉතින් බාසුන්නැහේ මොකද මේ හිටිගමන් අළුගෝසුවෝ ගන්ඩ හදන්නෙ?”

“මරණ දඬුවම නියම වෙලා ඉන්න කුඩුකාරයො බන්ධනාගාරය ඇතුළෙ ඉඳගෙනත් කුඩු බිස්නස් එක කරගෙන යනවලු.”

“මුන්ව උල තියන්ඩ එපායැ?”

“ආං ඒකනෙ. ඉතින් ජනාධිපතිතුමා තීරණය කරලා ඒගොල්ලන්ගෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඒකයි තකහනියක් අළුගෝසුවො හොයන්නෙ.”

“අපේ ගමේ හිටියා කොල්ලෙක්. ඌ ලව් කේස් එකකට දෙල්ගහේ එල්ලෙන්ඩ ගිහිං අත්ත කඩං වැටිල කකුලක් කඩා ගත්තා. මිනිහට ඕකට ඉල්ලන්ඩ කියන්ඩ ඕන.”

“දෙල්ගහේ එල්ලෙනව වගේ නෙවෙයි. කොළ නැති ගහේ එල්ලන එක... අනික මරණ දඬුවම කියන්නෙ අනුන්ව එල්ලනව මිසක් තමන්ම එල්ලෙන එකක් නෙවෙයිනෙ. එහෙම නම් ඉතින් සාරි පොටෙනුත් එල්ලෙන එවුං ඉන්නෙ ඕන තරම්.”

“ඔය ජොබ් එකේ පඩි හොඳ ද බාසුන්නැනේ?”

“ඒකනම් මාත් හරියම දන්නෙ නෑ. මම හිතන්නෙ කෑලි ගාණට වෙන්ඩැති. ප්‍රයිවට් බස්වල ටිකට් කඩනවා වගේ.”

“ඉතින් බාසුන්නැගේ ඔය හිරගෙදර ඉන්න කුඩුකාරයො ටික එල්ලල මැරුවට පස්සෙ ලංකාවෙ කුඩු බිස්නස් එක නවතියිද?”

“ඒක නම් කියන්ඩ බෑ. ඒ මොකද ඔය කුඩුකාරයො කියන්නෙ හොඳ උත්සාහවන්තයො. මොන ජාතියෙන් හරි කුඩු පැකට් එක ගන්න ගාණ සොයා ගන්නවනේ. කුඩු බිස්නස්කාරයොත් එහෙමයි. ගොඩින් බැරි නං මුහුදෙන් හරි බඩු ගෙන්න දන්නවා.”

“හිරේ ඇතුළෙත් කුඩු තියෙනවලු. එහෙම වෙන්නෙ කොහොමද? ඔක්කොටම කලින් ඒවා නවත්තල ඉන්න එපායැ.”

“හිර ගෙදර තාප්පෙ ලියලා තියෙනවා. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියලා. ඒ වගේම තමයි නිලධාරියොත් මනුෂ්‍යයෝනෙ බං.”

ගෝලයා කිසිවක් තේරුම් ගැනීමට මෙන් හිස කැසුවේය. ඉන්පසු යළිත් බාසුන්නැහේ ඇමතුවේය.

“හාල්, පිටි, අල, පරිප්පු ගෙන්නන්නෙ නැතුව කුඩු ගෙන්නෙ හොඳ ලාබයක් ඇති නේද?”

“නැතුව! ලංකාවට කුඩු ගේන තරමට පිටරටවල මිනිස්සු හිතනවා ඇති මෙහෙ එවුන් බත් වෙනුවට කන්නෙ කුඩු කියලා!”

“ඇත්තටම කුඩුවලින් බඩ පිරෙනවයැ... මිනිස්සු මොන එහෙකටද ඔය ජරාව බොන්නෙ?”

“මටත් ඒක හිතාගන්ඩ බෑ. ලෙඩ වෙලා, දුක් විඳලා, සෙම් සොටු පෙරාගෙන මළ පෙරේතයෝ වගේ වෙලා අකාලේ මැරිලා යන බව දැන දැනත් ඔය කුඩු අදින්නෙ ගොන්කමටයි, පව්කාරකමටයි තමයි. අබුද්දස්ස කාලෙනෙ බං මිනිස්සුන්ගෙ මොළේ විපරීත වෙලා.”

ගෝලයා යළිත් කල්පනාවට වැටුණේය. යළිත් ප්‍රශ්නයක් නැඟුවේය.

“ලංකාවට කුඩු ගෙන්නන කට්ටියද ඔය හිරේ ඉන්නෙ?”

“ඔව්”

“එහෙනං ලංකාවෙ කුඩු නැති වෙන්ඩ එපායැ.”

“ඇයි බං සැරයක් කිව්වෙ උන් ඇතුළේ ඉඳගෙන බිස්නස් එක අරන් යනවා. ෆෝන්වලින්. කුඩු ගෙන්නාවා.”

“එතකොට ඒව බාරගන්න තව කට්ටියක් එළියෙ ඉන්නවා?”

“පිට සපෝට් නැතුව කොහොමද බෙදාහරින්නෙ?”

“එහෙනම් ඇතුළෙ ඉන්න සෙට් එක එල්ලුවා කියලා වැඩේ නවතින එකක් නෑ නේද?”

“ඊළඟට අනිත් උන්වත් ඇතුළට දායි.”

“එතකොට උනුත් ඇතුළේ ඉඳන් බිස්නස් එක කරයි.”

“ඒකනෙ මම කිව්වෙ. කුඩුකාරයො හරි උත්සාවන්තයො කියලා.”

ගෝලයා එවර නිශ්ශබ්දවිය.

සවස් වරුවේ, ඇක්මන් බාස් ඔහුගේ හිතවත් ප්‍රාදේශීය සභාපතිතුමාගේ නිවසට ගියේ කොන්ත්‍රාත්තුවක් ගැන කතාකර ගැනීමටය. එහෙත් එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ කුඩුකාරයින්ගෙ මරණ දඬුවමට ජනාධිපතිතුමා අත්සන තැබීමට යන බව දැනගත් මොහොතේම සභාපතිතුමාට හෘදයාබාධයක් හටගත් බවය. දැන් එතුමා රෝහලේය.

“ඇයි මැඩම් සභාපතිතුමාගේ කවුරුහරි මරණ දඬුවම නියම වෙලා ඉන්නවාද?”

ඇක්මන් සභාපතිගෙ භාර්යාවගෙන් ඇසුවේය.

“නෑ නෑ පොඩි දේකදි වුණත් එයාගෙ හිත උණු වෙනවනෙ...”

ඇය එසේ කියා වහා ගෙට ගියාය.

“දුක්වෙන්ඩ එපා කියන්න මැඩම්... තාම අළුගෝසුවො හොයාගෙනත් නෑනෙ.”

ඇක්මන් කෑගසා කීවේය. “ජනාධිපතිතුමගෙත් හිත උණුවෙන්ඩ බැරි නෑ.”

කපිල කුමාර කාලිංග