2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

විරාත් කෝලිගෙන් ඇමතුමක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

සංජීවට ක්‍රිකට් යනු ආහාරයකි. ක්‍රිකට් ඇත්නම් ඔහුට බතුත් එපාය. කසාද බැඳපු දිනය, දරුවන්ගේ උපන් දින, රැකියාවට බැඳුණු දිනය ආදිය මතක නැතත් ක්‍රිකට් ක්‍රීඩකයින් වාර්තා පොතට එක්වූ ලකුණු ගණන්, කඩුලු ගණන් සංජීවට කට පාඩම්ය. බ්‍රෑඩ්මන්ගේ සිට ජයසූරිය, අරවින්ද ආදීන් දක්වාම පිතිකරුවන් ලකුණු රැස්කළ ආකාරයත් ඔහු චක්කරේ කියන්නාක් මෙන් එකදිගට පවසයි.

සංජීවගේ මිතුරන් දෙදෙනෙකු වන දයාදේව හා යටිවැල්ලට ක්‍රිකට් අරහංය. ක්‍රිකට් තරග තිබෙන දිනවලදී සංජීව හමුවීමට නොයාමට ඔව්හු වගබලා ගනිති.

එක් සති අන්තයක දයාදේවා සහ යටිවැල්ල බෝතලයක් සහ රෝස්ට් කුකුළෙක් ද රැගෙන සංජීවගේ නිවසට ගියේ පැයක් දෙකක් විනෝදයෙන් කල්ගෙවීමටය. අවාසනාවට මෙන් ඊට පෙර දිනයේ ශ්‍රී ලංකාව ඉන්දියාවට පැරදී තිබුණි.
බෝතලය අරින්නටත් පෙරම සංජීව ශ්‍රී ලංකා කණ්ඩායමට (අම්මා මෝ) නැතුව බණින්නට පටන් ගත්තේය. දයාදේව සහ යටිවැල්ලට සිදුවූයේ මුහුණු ඇඹුල්කර ගෙන එදෙස බලා සිටින්නටය.

“බලනවකො දයා, ඊයේ මුන් කැත විදිහටනේ පැරදුණේ. ලැජ්ජයි ලැජ්ජයි ලංකාවේදීම ඔහොම නම් ඉන්දියාවෙදි කොහොමට තියෙයිද?”

“කවුරු හරි පරදින්ඩත් එපායැ සංජීව...” යටිවැල්ලේ තම මිතුරා අස්වැසීමට උත්සාහ කළේය.

“එහෙම කියල කොහොමද? අපි සෙල්ලම් කෙරුවෙ ඉන්දියාවට ලංකාවට එන්ඩ කියල බැටින් ප්‍රැක්ටිස් කරන්ඩ දුන්න වගේනෙ. ඉස්සර එහෙමද වාස්ලා, මුරලිලා, ධර්මසේනලා බෝල් කරනකොට ඉන්ඩියන්ස්ල ඇඹරෙනවා.”

“දැන් ඒ වගේ සීනියර්ස්ලා නෑනෙ. අලුත් කොල්ලො ටිකක්නෙ ගහන්නෙ. උනුත් අයි.පී.එල්. දෙක තුනකට ගිහින් ආවට පස්සේ හොඳට ගහයි.” යටිවැල්ල නැවතත් කීවේ, ඔහු දයාට වඩා ක්‍රිකට් ගැන යමක් කමක් දන්නා බවද පෙන්වමිනි. එහෙත් ඉන් සිදුවූයේ සංජීවගේ කේන්තිය තවත් ඇවිස්සීමය.

“ඔය අයි.පී.එල්. කොඩිවිනේ තමයි ක්‍රිකට් කෑවේ. ඒවට ගිහින් ආවට පස්සෙ අපේ බෝලර්ස්ලා ඕවරයක් දානකොට උරේ නෙවෙයි හක්කත් පනිනවා.” සංජීවගේ ක්‍රිකට් කේන්තිය යනතුරු මිතුරෝ කටපියා ගෙන බෝතලයට වග කියන්නට වූහ.

සංජීව මුද්‍රණාල හිමියෙකි. ඉරිදාට ඔහුට වැඩ නැත. එක් ඉරිදා දවසක ඔහු තම අසල්වැසියෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයට සහභාගීවීමට ගියේය. ආපසු ගෙදර අවේ (දෙකට) ගණින්නට බැරි ගාණටය. සුරා සොඬුන් නිදන්නේ නින්දේ පත්ළටත් යටින් යැයි කවියෙකු කියා ඇත. සංජීවද ඒ ගාණට නිදාසිටියදී දුරකථනය නාදවිය. අඩ නින්දේම අත දිගුකොට රිසිවරය අතට ගත් ඔහු ඊට කතා කළේය.

“හලෝ.”

“ඔය මිස්ට සංජීවද?”

“ඔව්. ඔව්. ඔය කවුද?”

“මේ විරාත් කෝලි කතා කරන්නෙ.”

“අද ප්‍රෙස් එක වහලා. හෙට උදේ කතා කරනවද?” රිසිවරය ආපසු තැබූ සංජීව. “කරදරකාරයෝ, නිදාගන්ඩවත් දෙන්නෙ නෑයි” කියමින් අනිත් පැත්ත හැරුණෝය.

එදා ඒ ඇතුම දුන්නේ, උපතින්ම විහිළුව අතමිට මොළවාගෙන පැමිණියෙකු වන යටිවැල්ලය. තවත් දිනෙක, සංජීව (රතු ඉර) පැන සිටිනු දුටු යටිවැල්ල ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය.

“මිස්ට සංජීව, මමත් ඔයා වගේ හොඳ ක්‍රිකට් ෆෑන් කෙනෙක්. අපි ක්ලබ් එකේදි මුණගැහිලත් තියෙනවා”

“ඔව් මොකද්ද වෙන්න ඕනෙ?”

සංජීව හිතුවේ ප්‍රෙස් එකට වැඩක් එතැයි කියාය. 

“මම මේ කතා කළේ ආරංචියක් කියන්ඩ. අපේ ක්‍රීඩා ඇමැතිතුමා ඉන්දියාවෙන් නරඹන්නො ගේන්ඩ යනවලු මැචස් බලන්ඩ.”

“ආ එහෙමද, අපේ මැචස්වලට දැන් සෙනඟ එන්නෙ නැතිවෙයි කියල බයවෙලාද?”

“නෑ... නෑ... මැච් පැරදුණාම ප්ලේයර්ස්ලගෙ ගෙවල්වලට ගල් ගහන හැටියි, පඹයො පුච්චන හැටියි කියල දෙන්ඩ”

“මේ යන විදිහට ඒක එහෙම වෙයි. හැබැයි අපේ මිනිස්සු, ඉන්ඩියන්ස්ල වගේ ටෙලිවිෂන් පොළොවෙ ගහන එකක් නං නෑ.”

“ඒ මොකෝ...?”

“උන්ට ක්‍රිකට් මැච් බලනවට වඩා වටිනවා ටෙලි නාට්‍ය බලන එක. අපි වර්ල්ඩ් කප් පැරදුණු විදිහට මේ වෙනකොට ලංකාවෙ එක ටෙලිවිෂන් එකක්වත් තියෙන්න විදිහක් නෑනෙ.”

යටිවැල්ලේ අතින් කට වහගෙන රිසිවරය ආපසු තැබුවේය.

යටිවැල්ලේගේ “කෝලි විහිළුව” තවත් දුර ගියේය. එක් දිනක් රාත්‍රියේ ඔහු සංජීවට ඇමතුමක් දුන්නේය. ඒ මොහොතේ සංජීව සිටියේ සුපුරුදු ලෙසට (ජොලි මූඩ්) එකේය.

“හලෝ ඔය සංජීවද?”

“ඔව්... ඔව්...”

“මම මේ විරාත් කෝලි”

“අප්පට සිරි! මේ ටිකට අපේ උන් ඔයාට සිංහලත් උගන්නලද?”

“උගැන්නුවෙ නෑ. ඉගෙන ගත්තා. ඔයාලා වගේ අය අපිට බණින ඒවට උත්තර දෙන්ඩ.”

“ෂී... ෂී... කාලා බීලා කියන ඒවා ගණන් ගන්ඩ එපා මචං! ඔයා ඇත්තටම ඉන්ඩියන් ටීම් එකේ කෝලිද?”

“නැතුව මං ලංකාවෙ ටීම් එකේයැ?”

“ඇත්තටම ඔයා මේ දවස්වල ඉන්ඩ තිබ්බෙ අපේ ටීම් එකේ.”

සංජීව සුසුමක් හෙළා රිසීවරය ආපසු තැබුවේය. 

♦ කපිල කුමාර කංලිං