2020 ජුනි 06 වන සෙනසුරාදා

ට්‍රම්ප් පනී ලංකාවට!

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ප්‍රාදේශීය සභාවේ සේවය කරන නෝබට් මගේද හොඳ මිත්‍රයෙකි. මේ දිනවල හැමෝම ඔහු අමතන්නේ නිව් - නෝබට් නමිනි. ඊට හේතුව ඔහු කොරෝනාවට බියෙන් ඕනෑවටත් වඩා නිව් - නෝමල් වී සිටීම නිසාය. නෝමල් වීමට පෙර හිතේ හැටියට කොරන්ටයින් වූයේය. බිරිඳ කඩේ යැව්වේය. නිදාගත්තේත් මුකවාඩම බැඳගෙනය. (එවිට ඔහු වෙනදාටත් වඩා ගොරවන්නට වූ නිසා නින්ද ගිය පසු බිරිඳ එය ගෙල තෙක් පහත් කළාය.) වතුර බිල ගැන නොසිතා දවසට දෙතුන් වරක් ඇඟ සේදුවේය. පැයෙන් පැයට සබන් ගා අත් සේදුවේය. කවුරුන් හෝ සමඟ කතා කරනවිට මීටර් දහයක් පමණ ඈතින් සිටියේය.

රාජකාරියට යාමට සිදු වූවිට ඒ සඳහා අමුතුම ආරක්ෂිත ඇඳුමක් සකසා ගත්තේය. එය පොලීසියේ බාප්පාගෙන් ඉල්ලාගත් වැහි කබායකි. පයින් ගියත් හිසේ හෙල්මටයකි. අතේ මේස් දෙකකි. ඔහු එසේ යනු දකින අසල්වැසියෝ සිනාසුණහ.

නෝබට්කාරයා හරියට කොරෝනා ඩෙඩ් බොඩියක් වගේ

දිනකට පැය භාගයක්වත් ඔහු මිදුලේ කොහොඹ ගස යටට වී සිටියේ විෂබීජහරණය සඳහාය. මුහුණු පොතේ ගොඩ වෛද්‍යවරැ උපදෙස් දෙන ආකාරයට කෑම බීම ගත්තේය. කොත්තමල්ලි බිව්වේය. පෙරැම්කායම් කැබලි හතර හන්දිවල බැඳගත්තේය. නිවස වටා කහ වතුර ඉස්සේය. ඔය ආකාරයට කී, නොකී බොහෝ දේ කළේය.

ජනප්‍රිය චරිතයක් වූ නෝබට් මෙසේ අසීමාන්තිකව ස්වයං නිරෝධායනයකට පත්ව සිටීම අසල්වැසියන් තුළද ඇති කළේ කුතුහලයකි. ඒ පිළිබඳව කවුරැන් හෝ විමසූ විට නෝබට්ගේ බිරිඳ සිනාසී මෙසේ කියයි.

අපේ නෝබට් මේ ටිකේ ගෙට වෙලා

නෝබට්ගෙන් ඒ ගැන ඇසුවොත් ඔහු පවසන්නේ රජය රටවැසියන්ගෙන් ඉල්ලා සිටින සමාජ වගකීම තමා අකුරටම ඉටු කරන බවය. ඔහු කැරම් ක්‍රීඩාව, කාඩ් සෙල්ලම නතර කළේය. කෙළ ගැසීමට සිදුවන නිසා බුලත් කෑමෙන්ද වැළකුණි. රූපවාහිනී ප්‍රවෘත්තිවල වැටෙතැයි බියෙන් මත්පැන් පෝලිම්වලට ද එක් නොවුණේය. ඔහු කොහොමටත් දුම් පානය කළේ නැත.

පසුගිය සෙනසුරාදා මට නෝබට් මුණගැසුණි. මුකවාඩම තිබුණත් මට ඔහුගේ නළලේ කැළලින් හා දෑසින් හඳුනාගත හැකි විය.

කොහොමද නෝබට්? මොකද තත්ත්වේ?

දන්නැද්ද ඉතින් නිව් නෝමල් එකේ ඉන්නවා.

ඔහු සිනාසෙන බවක් මට ඇඟවුණි.

කොහෙද මේ ගියේ? අද වැඩද?

යාළුවෙක්ට පන්දාහ අරන් දෙන්ඩ පුළුවන්ද බලන්න ගියා

ඒක දැන් නවත්තලා නේද තියෙන්නේ?

ඒකනේ. මැකෝතුමා පොල්ලක් දාලානේ

නෑ. නෑ. එතුමා කිව්වේ දුන්නට කමක් නෑ. නිර්දේශපාලන විදිහට කියලා.

ඒක කරන්න පුළුවන් වැඩක්යෑ. සල්ලි කොතනද දේශපාලනයත් එතන.

නෝබට්ටත් පන්දාහ හම්බුණාද?

සභාපතිතුමා ගෙදරටම බඩු මල්ලක් එවලා තිබුණා. ඒක ඇතුළේ පන්දාහකුත් තිබුණා.

ඒක ඡන්ද ගුණ්ඩුවක් කියලත් සමහරු කියනවා නේද?

ඒ වුණත් ඒක ලොකු දෙයක්නේ. නැත්නම් කාල බාගෙ ගන්න උන්ට බෝතලයක්ම ගන්න ලැබෙයියෑ

ඡන්දෙත් ළඟදිම තියන්ඩනේ යන්නේ

මෙලහකටත් තියලා ඉවරයි මැකෝතුමා ලෙඩේ ඇද්දෙ නැත්නම්

එතුමා නෙවෙයි, විපක්ෂෙනෙ කිව්වේ ඡන්දයක් එපා කියලා. කොමසාරිස්තුමා වැඩ කරන්නේ හොඳට හොයලා බලලා නීතියේ විදිහට. එතුමට ආතතියක් නැති බව හිනාවෙන්ම පේනවනේ.

අපිට ආරංචි විදිහට කොරෝනා නිවාඩුව අස්සේ එතුමා පොතක් ලියනවලු.

හැබෑට? මේ අපිටවත් එහෙම ආරංචියක් නෑනේ. එතුමා එහෙම වැඩක් කරනවනම් මාධ්‍යයට නොකියා ඉන්නේ නෑ

එතුමය කිව්වට රට ඉඳන් ආපු පුතාලු ලියන්නේ

හැබෑට? පුතා ලේඛකයෙක් නෙවෙයිනේ?

පොතේ නම කොමසාරිස් තාත්තාලු.

මම හිසේ අත ගසා ගතිමි. නිව් - නෝබට් හීන්සිරැවේ පිටවී ගියේය.

දේශපාලනඥයා යනු විශ්‍රාම සුවයෙන් පසුවීමට අකමැති, සමාජශීලී සත්වයෙකි. හැට පැන්නත් වඳුරාට බිමින් ගමන් නැතැයි කියන්නා සේ ඔහුටත් හැමදාම වේදිකාවේ අසුනක් අවශ්‍යය. හිටපු ජනාධිපතිතුමත් මෑතකදී ආපසු ප්‍රවෘත්ති අතරට එක්වූයේ දින තුනකදී අත්සන් 21,000ක් ගැසීමේ කතාවත් සමඟය. මේ වනවිට එය ගිනස් වාර්තාවක් වී තිබීමටත් බැරි නැත.

හිටපු ජනපතිතුමා බලයට ආ මුල් කාලයේ ජනතාව සිතුවේ එතුමා පාරේ බසයෙන් තම ගමන් බිමන් යනු ඇත කියාය. එහෙත්, පසුව එතුමා වැඩිපුර සිටියේ ගුවනේය. නොගිය රටක්, හමුනොවූ නායකයෙක් නැති තරම්ය. එමගින් සිරිලංකාවට ලබාදුන් කීර්තිය ඉමහත්ය.

නිල නොවන ආරංචියක හැටියට ඊයේ පෙරේදා එතුමාට අමෙරිකාවේ ජනාධිපතිගෙන් දුරකථන ඇමතුමක් ආවේය.

සිරී. ඩොනල්ඩ්.

ඔව් සර්. මොකද තත්ත්වේ?

තත්ත්වෙ භයානකයි. මම ගෙදරම බංකර්ගත වෙලා ඉන්නේ. කළු කේස් එක ආරංචි ඇතිනේ.. සිරීගෙන් උපදේශයක් ගන්නයි කතා කෙරැවේ. මොකද මං දැන් කරන්නේ?

සර් වහාම පිටරටකට පනින්න. ඊටපස්සේ කියන්න මං ඔය කිසිදෙයක් දන්නෙ නෑ කියලා

එහෙම කොහොමද කියන්නේ?

මොකද බැරි? මම ඒවා දැක්කේ ෆේස්බුක් එකෙන් කියන්න. උප ජනාධිපතිට, ලේකම්ට බෝලෙ පාස් කරන්න. වැඩේ ෂේප්.

මම ලංකාවට එන්නද?

ඕන වෙලාවක. වෙල්කම්. නෝ ප්‍රොබ්ලම් ශ්‍රී ලංකා

මට නිරෝධායන නීති බලපායිද?

ඒවා අපිට අදාළ නැහැ. ඒවා තියෙන්නේ පොදු ජනතාවට විතරයි. සර් දැන්ම පිටත් වෙන්න.

- කපිල කුමාර කාලිංග