2020 මාර්තු 14 වන සෙනසුරාදා

කාන්තා දිනයට පසුවදනක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

අපගේ කන්තෝරු මිත්‍රයෙකු වන විමලසිරි පසුගිය මාර්තු 08 වෙනිදාට යෙදී තිබූ ලෝක කාන්තා දින, උදෑසනින්ම අවදිව තේ පිළියෙළ කොට බිරිඳගේ තේ කෝප්පය ඇයගේ ඇඳ අසලටම රැගෙන ගියේය.

“ඒයි... නැගිටල තේ එක බොන්න..”

විමලසිරි සහ තේ කෝප්පය දුටු බිරිඳට යකා ආවේශ වූයේය.

“ඔයා කවදාවත් නැතුව තේ හදලා! මොකක්ද මේ කරන්න හදන වින්නැහිය.”

“අද ලෝක කාන්තා දිනය. ඉතින් මම හිතුවා ඔයාට නිවාඩුවක් දෙන්න. ලන්ච් එකත් පිටින් ඕඩර් කරන්නයි හිතුවේ.”

“විමලේ... ඔයා හදන්නේ මාව අපායේ යවන්නද?”

“මොකක්ද ඒ කතාවේ තේරුම? හොඳක් කරන්න ගියාමත් ඇඟට කඩා පනිනවනේ.”

“පිරිමින්ගෙන් වැඩ ගත්තම ගෑනු අපායේ යනවලු. මීඩියා කිව්වට ඔයා කිසි දෙයක් දන්නෙ නෑනේ.”

“මම මීඩියා වුණාට, සෝෂල් මීඩියා නෙවෙයිනෙ. ඒවායේ තමා ඔය අපභ්‍රංස කතා තියෙන්නේ.”

විමලේට, බිරිඳගේ විරෝධය වැටහුණේ එවිටය. ඇය උදෑසන අවදි වූ මොහොතේ සිට රෑ නින්දට යන තුරුම ෆේස්බුක්, යූටියුබ්, වට්ස් ඇප්, වයිබර්, යනාදි සකල විධ අන්තර්ජාලයෙහි මුහුණ ඔබගෙන සිටින්නියකි. එහෙයින් ඇය දැන් ලෝකය දකින්නේත්, ගෘහ ජීවිතය කළමනාකරණය කර ගන්නේත් ඒවායේ සිටින බක පණ්ඩිතයින්ගේ උපදේශයන්ට අනුවය.

බිරිඳගේ අන්තර්ජාලයේ පැටලීමට නොගිය විමලසිරි, බිරිඳට හැදූ සීනි දැමූ තේ කෝප්පය තමාම පානය කළේය. ඉන්පසු පාපයෙන් ගැලවෙනු පිණිස බිරිඳ තැනූ සීනී රහිත, මෙලෝ රහක් නැති “දියවැඩියා තේ එකද” උගුරට හළා ගත්තේය. ඉන්පසු ලෝක කාන්තා දිනය ද සාමාන්‍ය දිනයක් සේ ගත විය.

එදින පුවත්පතක කාන්තාව පිළිබඳව ලියැවුණු ලිපියක මෙසේද සඳහන්ව තිබුණි.

“කාන්තාව යන වචනය ඇරඹෙන “ක” යන්න තුළ කාන්තාව පිළිබිඹු වන ප්‍රශ්න කීපයක්ම අඩංගුව තිබේ. ඒ මෙසේය. “කවුද.. කාවද... කා සමඟ ද.. කුමක් ද... කුමක් සඳහා ද... කීයට ද... කොහේද... කරදරයක් ද... කමක් නැද්ද...”

එම ලිපියෙහිම වූ කතාවක් විමලසිරිට එකවරම තේරැම් නොගියෙන් ඔහු එය දෙවරක්ම කියෙව්වේය.

කාන්තා දිනය දා උදෑසනම අවදිවූ විවාහක කතක් තම සැමියා අමතා මෙසේ කීවාය.

“අද අපේ දවස නිසා නිදහස් කාන්තාවක් වගේ කාලය ගත කරන්නයි මගේ අදහස.”

“බොහොම හොඳයි..” සැමියා කීවේය. “ඒත් ඊට කලින් මගේ මේ කමිසෙයි, කලිසමයි මැදලා දීලා දවල් කෑම එක ඔතලා දෙන්න..”

වෙනත් කාන්තාවන් තම සැමියාගෙන් මෙසේ විමසුවාය.

“අද කාන්තා දිනයනෙ... ඉතින් අද වගේ දවසක ඔයාට මම ගැන මොකද හිතෙන්නෙ?”

“වෙනදා හිතෙන දේම තමයි.”

“වෙනදා මොනවද හිතෙන්නෙ?”

“ඒක අද කිව්වොත් ලබන කාන්තා දිනේ වෙන කල්ම මට විසුමක් වෙන්නෙ නෑ.”

එම පුවත්පත් විශේෂාංගය අවසන් කර තිබුණේ පහත දැක්වෙන වැකියෙනි.

“කාන්තාවක සමඟ සාමයෙන් හා සතුටින් දිගු කල් සබඳතාවක් ගෙනයාමට නම් ඔබ කළ යුත්තේ නිෂ්ශබ්දතාව රන් හා වටී යන කියමන අනුගමනය කිරීමය.”

කාන්තා දිනය දාත් කාන්තාව සියුම් ලෙස හෝ උපහාසයට ලක් කිරීම නොවටනේය. එහෙත් ඒ සෑම කතාවකින්ම කියැවෙන්නේ, පිරිමියාට වඩා කාන්තාව ප්‍රබලය යනු කාරණය යැයි විමලසිරි වටහා ගත්තේය. එය සනාථ කරන සිදුවීමක් ද ඔහුගේ මතකයෙහි වෙයි.

පසුගිය වසරේ නොවැම්බර් 19 වැනිදා පැවති ලෝක පිරිමි දින රුස්වීමට සහභාගී වීමට ගිය විමලසිරි දක්නට ලැබුණේ පිරිමින්ට වඩා ගැහැනුන්ය.

සිරිලංකාව ගත් කල පිරිමියාගේ වැඩි නියෝජනයක් පෙන්වන වැදගත්ම ස්ථානය වන්නේ පාර්ලිමේන්තුවයි, එහෙත් පුදුමයකට මෙන් එහිදී ද ප්‍රදර්ශනය වන්නේ පිරිමියාගේ නොහැකියාවයි. ලෝක ප්‍රකට ලේඛිකාව වන චිලී ජාතික ඉසබෙල් අයින්දේගේ ප්‍රකට කියුමක් මෙසේය. “පිරිමියා ඔහුට හැකි දෑ කරයි, කාන්තාව ඔහුට කළ නොහැකි දෑ කරයි.”

“අමෙරිකන් ටෝක් ෂෝ” නමැති ලෝක ප්‍රකට රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන ඔප්රා වින්ෆ්‍රී එක් අවස්ථාවක දී ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගෙන් මෙසේ විමසුවාය.

“කාන්තාවක් වශයෙන් ඔබ ලෝකයේ සිටින ප්‍රබලම දක්ෂම සහ කඩවසම් පුද්ගලයින් සමඟ නිතර සම අසුන් ගෙන සිටිනවා. එබඳු පුද්ගලයින් ගැන ඔබේ හැඟීම කෙසේද?”

ඔබාමා මැතිනිය දෙවරක් නොසිතාම මෙසේ පිළිතුරු දුන්නාය.

“ඔවුන් අප සිතන තරම් දක්ෂ හෝ පෙනෙන තරම් කඩවසම් උදවිය නෙවෙයි.”

ඇයගේ එම පිළිතුර දැක්වෙන වෙබ් අඩවියක පහතින් මෙබඳු ට්වීටර් සටහනක් ද යොදා තිබුණි.

“මිෂෙල්ගේ කතාව සම්පූර්ණ ඇත්තකි. ඊට හොඳම උදාහරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එබඳු පුද්ගලයෙකු තැනීමට දක්ෂතාව හෝ කඩවසම් බව අවශ්‍ය නැති බව පැහැදිලිය. අවශ්‍ය වන්නේ මෝඩ අනුගාමිකයින් පිරිසක් පමණි.”

ග්‍රීක ධන කුවේරයෙකු වූ ඇරිස්ටෝටල් ඔනාසිස්, අමෙරිකානු ජනාධිපතිවරයෙකුට සිටි ජෝන්.එෆ්. කෙනෙඩිගේ වැන්දඹු බිරිඳ ජැකොලයින් විවාහ කර ගත්තේ ලොව පුරා මාධ්‍යයන්හි මුල් සිරස්තලය වෙමිනි. පසු කලෙක ඔහු මෙසේ පැවසීය.

“ගැහැනිය නොසිටියා නම් මෙලොව තිබෙන සියලුම මුදල්වල වටිනාකමක් නොවන්නට ඉඩ තිබුණි.”

► කපිල කුමාර කාලිංග