2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

හංස ගීතය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 645

ඈත රටක වෙසෙන දිළිඳු මිනිසෙක්, හංසයකුට වෙඩි තබා මරා දැමුවේය. වනජීවී නිලධාරීහු ඔහුට විරුද්ධව නඩු පැවරූහ.

“වන සතුන් දඩයම නීතියෙන් තහනම් බව තමා දන්නේ නැද්ද?” නඩුකාරයා ඇසීය.
“දන්නවා ස්වාමිනී.”

“එහෙම නං හංසයා මැරුවෙ ඇයි?”

“කුසගින්නට ස්වාමිනී.”

“තමා හංසයා ආහාරයට ගත්තද?”

“එහෙමයි. මම දරුපවුල් කාරයෙක්. එදා මට කිසිම වැඩක් ලැබුණෙ නෑ. දරුපැටව් හාමතේ තියන්න බැරි නිසයි හංසයට වෙඩි තිබ්බෙ... මං වෙන කිසිමදාක සතෙක් මරල නෑ ස්වාමිනී.”

“හංස මස් මොන රසයිද?”

“වල් තාරාමස් වගේමයි. රාජාලි මස් කියලත් විකුණනවා.”

නඩුකාරයා එම මිනිසාව හිරේට යැව්වේය. මෙම කතාවේ ආදර්ශය වන්නේ, වන සතුන් දඩයම් කිරීමෙන් වැළකී සිටිය යුතුය යන්න නොව, උසාවියේ දී පරිස්සමින් වචන පාවිච්චි කළ යුතු බවය.

“හංස කේස්” උසාවි යන්නේ කලාතුරකිනි. එහෙත් සාහිත්‍ය - කලා ලෝකයේ නම් හංසයන් සැරිසරන්නේ ඈත අතීතයේ සිටමය. ළමා කතා, ජනකතා, ජනප්‍රවාද, සුරංගනා කතා හා ගීත රචනා තුළ හංසයාට ඇත්තේ විශේෂ තැනකි. චයිකොව්ස්කිගේ “ස්වෝන් ලේක්” (හංස විල) මුද්‍රා නාට්‍ය ලෝක ප්‍රකටය. සිංහල සංදේශ කාව්‍යයන් අතර හංස සංදේශයක් ද වෙයි. තිසරා යනු ද, සිංහලයෙන් හංසයාට යෙදෙන නමකි.

හංසයා යනු ප්‍රේමයේ, පවිත්‍රත්වයේ, සුන්දරත්වයේ හා අභිමානයේ සංකේතයකි. ධවල හංසයාට සහ රණ හංසයාට පළමු තැන හිමිවෙතත්, කැලෑ හංසයෝ ද ලොව වෙසෙති.

විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයෙහි එන කුඩා කතාවක හංස - බකමූණු මිත්‍රත්වයක් ගැන කියැවෙයි.

එක්තරා වනයක ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් අලංකාර විලක, රාජ හංසයෙක් සුව සේ වෙසෙයි. එක් දිනක් ආගන්තුක බකමූණෙක් එහි පැමිණෙයි.

“ඔබ මොකටද මෙහෙ ආවෙ?”

බකමූණාගේ පැමිණීම ගැන අප්‍රසාදයෙන් යුතුව හංසයා අසයි.

“ඔබ බොහෝම හොඳ කෙනෙක් කියල ආරංචි වුණා. මම කැමතියි ඔබ වැනි උසස් ගතිපැවතුම් ඇති කෙනෙක් සමඟ මිත්‍ර සම්බන්ධකම් පවත්වන්න.”

මෙසේ චාටු බස් කියන බකමූණා, හංසයා සමඟ මිතුරු වී එහි කල් ගෙවන්නට වෙයි. ටික කලක් යන විට, ඒ විසුම එපාවන බකමූණා, ආපසු තමන්ගේ වනාන්තරයට යාමට සැරසෙයි.

“මම ආපසු මගේ නෙළුම් වනය වෙත යනවා. කැමති දවසක ඔබටත් එහි එන්න පුළුවන්.”

හංසයා ශෝකයෙන් යුතුව තම මිතුරාට සමුදෙයි. මඳ කලකට පසු, හංසයා බකමූණා බැලීමට යයි. එහෙත් නෙළුම් වනයක් නම් හමුවන්නේ නැත. වනාන්තරය පීරා බැලූ හංසයාට අඳුරු ගස් බෙනයක් තුළ සිටින බකමූණා දක්නට ලැබෙයි. හංසයා ද අපහසුවෙන් වුව එහි පසෙකින් ලැඟුම් ගනී.

එදින සවස වෙළෙඳාමේ යන තවලම් කණ්ඩායමක් පැමිණ, මේ ගස යට වාඩිලා ගනී.

පසුදින උදෑසනම යළි ගමන් අරඹන්නට අදහස් කරන තවලම් නායක, තම පිරිසට සංඥාවක් දෙනු පිණිස සක් ගෙඩියක් පිඹියි. දහවල් වනතුරු නිදන බකමූණා ඒ හඬින් අවදි වෙයි. ඉන්පසු කෝපයෙන් “හූම් හූම්” හඬක් නගා, යළි බෙනය තුළට රිංගා ගනී.

හිමිදිරියේම බකමූණු හඬක් ඇසීම අශුභ නිමිත්තකැයි සිතන තවලම් නායක, හීයක් විද ඌ මරා දමන මෙන් තම සගයකුට අණ කරයි. ඒ අනුව ඔහු, බකමූණා පෙනෙන්නට නැතත්, ශබ්දය ආ දෙසට හීයක් විදී. අවාසනාවකට මෙන් බෙනය අසල රුඳී සිටි හංසයාට එය වැදී එතැනම මියයයි.

විෂ්ණු ශර්මන් මේ කතාව කියන්නේ පාප මිත්‍ර සේවනයත්, අවස්ථාවට නොගැලපෙන ක්‍රියාවත් නිසා අත්වන දුර්විපාක කියාපෑමටය.

පංචතන්ත්‍රය පුරා තිබෙන්නේ එකින් එකට සම්බන්ධ වන ආදර්ශමත් සත්ව කතාය. විෂ්ණු ශර්මන් මේ කතා කියන්නේ මීට අවුරුදු දෙදහසකටත් වඩා ඈත කාලයකදීය. ඔහුගේ ඉහත දැක්වූ කතාවේ එන හංසයා සහ බකමූණා යන දෙදෙනාම, සිරි ලංකාවේ ඡන්ද අපේක්ෂකයන්ගේ සලකුණු අතර සිටියහ. ඊට අමතරව අලියා, කුකුළා, අශ්වයා, ඔටුවා, නයා, රාජාලියා, හාවා, සමනළයා, සිංහයා, කිඹුලා, ගිරවා සහ කැන්ගරුවාට ද ඡන්දය දෙන්නැයි අපේක්ෂකයෝ අයැද සිටියහ.

ඡන්දය ඉල්ලන කාලයේ මේ සත්තු අතර නොයෙක් වෙනස්කම් තිබුණ ද, ඡන්දය දිනීමෙන් පසු ඔවුන් සෑම එකම ජාතියේ බව ඡන්දදායකයන්ට වැටහී යයි.

සිරි ලංකාවේ ඡන්ද සත්වයන්ගේ කතා විෂ්ණු ශර්මන් දැනගතහොත්, පංචතන්ත්‍රයේ දෙවැනි කොටස ලියනවාට සැක නැත.

අද ඔහුගේ කාරිය ඉටුකරලන්නේ සමාජ මාධ්‍ය තුළ සිටින ශර්මන්ලාය. මේ ඔවුන්ගෙන් කෙනකු නිර්මාණය කර තිබූ ප්‍රවාදයකි.

එක් වනාන්තරයක විසූ අලියෙක් ගිම්හාන කාලයේ දාහය නිවාගනු පිණිස විල්තෙරකට ගිය මොහොතේ වෙනදා මෙන් ඒ මේ අත නොයා, එක තැනක උකටලීව සිටින හංසයකු දැක කතා කළේය.

“මොකද යාළුවා අප්සෙට් එකෙන් වගේ?”

“බලන්නකො අලි රාළහාමි, සිරි ලංකාවෙ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක හැටි. ඒගොල්ලො පක්ෂ සලකුණු හැටියට අපි දෙන්නව බෙදාගන්න බැරුව රණ්ඩු කරනවනෙ. ඒක අපේ තත්ත්වෙටත් හොඳ නෑනෙ.”

“මටත් ආරංචියි, සමහරු කියනවලු මගේ පිට උඩ නොගියොත් ඡන්දෙ පරදියි කියලා.”

“අපි දෙන්න නැතුවට ඔය ඕනතරම් සත්තු ඉන්නෙ. නරියා, ගෙම්බා. කකුළුවා, හම්බාවා, බල්ලා, බූරුවා.. එහෙම කෙනෙක් යොදාගන්න බැරිද?”

“මම ඔය ගැන අපේ කෙනෙක් මගින් මැතිවරණ කොමසාරිස්ට දන්වන්න බලන්නම්.”

ඒ සමඟම විල් දිය දෙසින් හඬක් නැඟුණි.

“ඔය බොරු වැඩ නොකර, ඔය දෙන්නත් අපේ පැත්තට එන්න. එතකොට සේරම ප්‍රශ්න ඉවරයි. කලින් ආව නං සභාපතිකම වුණත් දෙන්න තිබුණා.”

එසේ කියමින්, හංසයා සහ අලියා දෙස බලා සිටියේ විල මත වූ පොහොට්ටුවකි. ඒ ඇසූ හංසයා, ශෝකී හඬින් තම ගීතය ගයන්නට වූයේය. අලියා විලට බැස දියෙහි හිස ඔබා ගත්තේය. කොහේදෝ සිටි ගෙම්බෙක් “බක බක” ගෑවේය.

► කපිල කුමාර කාලිංග