2020 ජනවාරි 18 වන සෙනසුරාදා

හඬපට - හුටපට

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:03 66

60 දශකයේ දී බිහිවුණෙමු.
70 දශකයේ දී හැදී වැඩුණෙමු.
80 දශකයේ දී ඉගෙන ගත්තෙමු.
90 දශකයේ දී රැකියා ඇරඹුවෙමු.
2220ට ළඟාවීමු.

දශක පහක් ජීවත් වූයෙමු.
සියවස් දෙකක් පසුකළෙමු.
සහස්‍රක දෙකකට මැදිවීමු.

VCR පසු කර යූ ටියුබ් වෙත ළඟාවීමු.

කැසට් යන්ත්‍රයෙන් අයිපොඩ් වෙත ආවෙමු.

තැපැල් යුගයෙන් මොබයිල් යුගයට ළඟාවුණෙමු.

නව පරපුරට ඇත්තේ ඇනලොග් ළමා වියක් සහ ඩිජිටල් වැඩිවියක් (උධෘතය අන්තර්ජාලයෙනි.)

තාක්ෂණය විසින් ලෝකය උඩුයටිකුරු කර ඇත. මිනිසාගේ පෞද්ගලිකත්වය, අනන්‍යතාවය, සන්නිවේදනය හා තාක්ෂණය මගින් අභියෝගයට ලක්කොට ඇත.

එදා පෙම් හසුනක් අසුවීමෙන් ඇති වූ “හා හූව” අද එම්.එස්. පණිවිඩයක් ලීක්වීමේ තත්ත්වය දක්වා දිගු වී ඇත.

දුරකතන ඇමතුම් “හඬ පට” බවට පත්වීමේ අවදානමට මුහුණ පා ඇත.

සංස්කෘතියද, තාක්ෂණික පරිණාමයට යටත්වීම තුළ සරස්වතිය ද ඩිජිටල් වී ඇත. දැන් ඇගේ අත්වල දක්නට ඇත්තේ අලුත් උපකරණයන්ය.
මෙම පරිවර්තනය හොඳ ද නරක ද යන්න වෙනම කතා කළ යුත්තකි. ඕනෑම දෙයක දෙපැත්තක් ඇත. දෙවියන් මිනිසාට ගින්දර හඳුන්වා දෙන්නේ, ඉන් වැඩ ගැනීමට මිස, ලෝකය දවා හළු කරීමට නොවේ. (ග්‍රීක පුරාවෘත්තය) රයිට් සොහොයුරන් ගුවන් යානය නිපදවන්නේ මගී ප්‍රවාහනයට මිස ගුවනින් බෝම්බ දැම්මට නොවේ.

නව තාක්ෂණික නිපැයුම්වල ද අරමුණ එකකි. එහෙත් භාවිතය වෙකක් වීමට ඉඩ තිබේ. හඬපට ගාලගෝට්ටිය ද ඊට නිදසුනකි.

මිනිසා එකිනෙකා මුණ ගැසෙමින්ද, හමුවීමට යමින් ද සබඳතා පැවැත් වූ කාලය, ක්‍රමයෙන් දුරස්වීමට පටන් ගත්තේ ජංගම දුරකතනය ඔහුට හඳුන්වාදීමත් සමඟය. එය මිනිසාගේ ඉන්ද්‍රියක් තරමටම ඔහුට සමීප විය.

මෑතකදී අසන්නට ලැබුණු විහිළු කතාවක කියැවෙන පරිදි සැමියා සිය නිවස තුළ සිටම බිරිඳ සොයන්නේ ඇයගේ “ජංගම දුරකථනයට ඇමතුමක් දී “මේ.. ඔයා කොහෙ”දැයි විමසමිනි. තවත් කතාවකදී මිතුරන් දෙදෙනෙක් හමුවූ අවස්ථාවක එක් අයෙක් අනෙකාට මෙසේ පවසයි.

“මගේ දවසෙන් බාගයක් ගත වෙන්නෙ ෆෝන් කෝල්ස්වලට.”

“එතකොට අනික් බාගේ?”

“ෆෝන් එක චාර්ජ් කරනවා.”

ජංගම දුරකථනය මොහොතකට හෝ නැති වුවහොත් නූතන මිනිසාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙයි.

කාර්යාලයක සේවයේ නියුතු තරුණයෙකුගේ ජංගම දුරකතනය අස්ථානගත විය. ඔහුට ඒ බව තම බිරිඳට දැනුම් දීමට අවශ්‍ය වූයෙන් තමා අසල සිටින මිතුරා දෙසට හැරි මෙසේ ඇසුවේය.

“මචං මට අපේ ගෙදර ෆෝන් නම්බර් එක කියවනවද?”

තත්ත්වය මෙබඳුය. මතකයේ තබා ගත යුතු බොහෝ දෑ අපි දුරකතනයට පවරා ඇත්තෙමු. එහෙයින් දුරකතනය නැති තැන අපි අනාථ වන්නෙමු අසරණ වන්නෙමු. අක්‍රීය වන්නෙමු.

දුරකථනය නාද වූ විට මෙලෝ සිහියක් නැතිව එයට අමතන්නට කලබල පුද්ගලයින් අප ඕනෑ තරම් දැක ඇත. මේ එබඳු කාන්තාවක මුහුණ පෑ අකරතැබ්බයක් පිළිබඳවය.

මැදිවියේ රූමත් කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවීමට ගියාය. ඇයගේ කන් දෙකම පිළිස්සී, රතු වී තිබුණි.

“මොකද වුණේ?” වෛද්‍යවරයා ඇසීය.

“මම අද උදේ වැඩට යන්න ඇඳුම් අයන් කර කර ඉන්නකොට කෝල් එකක් ආවනෙ.”

“ඉතින්?”

“මම කලබලේට ෆෝන් එක තියලා හිතලා අයන් එක කනේ තියා ගත්තනෙ.”

“ඉතින්, අනික් කන?”

“එයා අයෙත් කෝල් කෙරුවනෙ.”

එක්තරා රටක කාන්තාවකට සිතූ පැතූ සම්පත් ගෙන දෙන පුදුම පහනක් ලැබුණි. ඇය එය ස්පර්ශ කළ සැණින් භූතයෙකු පහළ විය.

“ඔබතුමියට මගෙන් සිදුවෙන්න ඕන දේ මොකක්ද?”

“මට මගේ සැමියගෙ අවධානය මා වෙතටම යොමු කර ගන්න ඕනෙ. එයා හැම තිස්සෙම මා එක්ක කතා කරන්න ඕනෙ. කෑම කාමරයට ගියත්, නාන කාමරයට ගියත් මා එක්ක ඉන්න ඕනෙ. දවස පටන් ගන්න ඕනෙත් මා එක්ක. දවස ඉවර කරන්න ඕනෙත් මා එක්ක. එයා යන හැම තැනකම මාවත් එක්ක යන්න ඕනෙ.”

“ඒක සුළු දෙයක්.” භූතයා අතුරුදහන් විය.

එ සැණින්ම ඒ කාන්තාව ස්මාට්ෆෝනයක් බවට පත්වූවාය.

අන්තර්ජාලයෙහි වූ සටහනකට අනුව ජංගම දුරකථන භාවිතා කරන්නෝ එහි සිරකරුවෝය. ඉංග්‍රීසි බසින් එයට “Cell” Phone යැයි කියන්නේ එහෙයිනි. “සෙල්” යන්න සිරකූඩුව යන අරුත ද දෙයි. තවත් සටහනකින් කියැවෙන පරිදි ගැහැනු ළමයි ද ජංගම දුරකතන බඳුය. අපි ඔවුන් අතින් ගෙන කතාවෙහි යෙදීමට ප්‍රිය කරමු. එහෙත් අත් වැරැද්දකින් හෝ වැරදි බොත්තමක් එබුණොත් සබඳතාව ඇනහිටී.

ඇතැම් දුරකථනවලට කොතෙක් කතා කළත් පිළිතුරු නොලැබේ. එයින් දෙපාර්ශ්වයටම අවාසි සිදුවන අවස්ථා බොහෝය. එක් පුද්ගලයෙකුට ඔහුගේ වෛද්‍යවරයාගෙන් ඇමතුමක් ලැබුණි.

“මට ඔබට ශුභාරංචියකුයි, අශුභාරංචියකුයි කියන්ඩ තියෙනවා.”

“මොකක්ද අශුභාරංචිය?”

“ඔබට ජීවත් වෙන්න තියෙන්නෙ තව පැය 24යි.”

“හැබෑව? එතකොට මොකක්ද ශුභාරංචිය?”

“මම ඕක ඊයෙම කියන්න හැදුවේ. හොඳ වෙලාවට ඔබ ෆෝන් එකට කතා කෙරුවෙ නෑ.”

වැරදි අංකවලට ඇමතීම ද නිතර සිදුවන්නකි. කාන්තාවක් මට නිතර නිතර අමතමින් “ඔය ගම්පොළ කුකුල් ෆාම් එක”දැයි විමසයි. “නෑ... නෑ.. වැරදි නොම්බරයක්” මම පිළිතුරු දෙමි. එහෙත් නැවත නැවතත් එම ඇමතුම ලැබෙයි. බැරිම තැන විහිළුවක් කිරීමට සිතා “ඔව්... ඔව්... කුකුළො කීයක් ගන්ඩදැයි” ඇසුවෙමි.

“කුකුළො ගන්ඩ නෙවෙයි. ඔතන වැඩ කරන මගේ මනුස්සයට කතා කරන්ඩ.”

ඇය කෝපයෙන් කීවාය.

I කපිල කුමාර කාලිංග