2019 ජනවාරි 19 වන සෙනසුරාදා

කොමිටි කන්ට්‍රිය

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

“කෝකටත් ජයසේන” මහතා ඊයේ හවස (තෛපොංගල් දිනය) අප නිවසට ගොඩවුණේම අලුත් ප්‍රවෘත්තියක් ද රැගෙනය. 

“ඔන්න තවත් කොමිටියක් දාලා.”

“කෑ ගහන්ඩ එපා. වයිෆ්ට ඇහෙයි.”

“ඉතින් මොකද?”

ඉක්බිති මම ජයසේනට කාරණය පැහැදිලි කර දුනිමි. අපේ බිරිඳට කොමිටි පෙනෙන්නට බැරිය. මගේ මිතුරන් එක්වන තැනකට ඇය දමා තිබුණු නම වූයේ “බී කොමිටිය”ය. “බී” යන්නෙන් අදහස් වුණේ “බීම”ය. “ඔන්න අදත් බී කොමිටිය රැස්වෙන්ඩ වගේ.” ඈ එසේ කියන්නෙ මා සවස්වරුවල ටවුමට යාමට සැරසෙන විටය. මගේ කොට කලිසම හා රතු ටී ෂර්ටය ඇය හඳුන්වන්නේ “බී යුනිෆෝමය” ලෙසිනි! තත්ත්වය එසේ තිබියදී මේ ගෙදර කොමිටි ගැන කතාබස් කිරීම “කිරිමේල්ය.”

“මං මේ කිව්වෙ ආණ්ඩුව අලුතින්ම දාපු කොමිටිය ගැන.”

ජයසේන කරුණු වටහාගෙන කුස්සියටම ඇසෙන හඬින් කීවේය. ඒ අතරම හඬ බාලකොට මෙසේ ඇසීය.

“අද හවස තෛපොංගල් කොමිටියක් හෙම නැද්ද?”

“බලමු... බලමු... ජාතික සමගිය ආරක්ෂා කරන්න එපායැ.”

මම එසේ රහස් හඬින් පවසා යළි උස් හඬින් මෙසේ ඇසුවෙමි.

“අලුත් කොමිටිය මොකටද? පුද්ගලික බස් ගාස්තු ගැනද?”

“නෑ... නෑ... එයාර් ලංකා ප්‍රතිසංවිධානය ගැන.”

“අහසෙ යන දේවල් ගැන නෙවෙයි, පොළවෙ තියෙන දේවල් ගැන කොමිටි දාන්ඩ කියන්ඩකො.” බිරිඳ දුර සිටම කෑගැසුවාය.

“එහෙම කියන්ඩ එපා. බඩු මිලත් තියෙන්නෙ අහසේ තමයි.” මම කීවෙමි.

“ඒත් ඒවා ගැන හොයන්ඩ කවුරුත් නෑ... අනිත් හැම මඟුලටම කොමිටි දානවා.”

ඇය යළිත් කියයි. එන පොට හොඳ නැත. අන්තිමට පහර වදින්නේ “ජීවන වියදම” ඉහළ දැමීම ගැන අපේ දුප්පත් “බී” කොමිටියටය.

මම ඇයට අප නෑසෙන තැනකට ජයසේන කැඳවා ගෙන ගියෙමි.

“මේ ගෙදරත් පාර්ලිමේන්තුව වගේ තමයි නේද? හැම තිස්සේම ජනතා ප්‍රශ්න ගැන අවදියෙන්!”

ජයේ සිනාසුණේය.

“හරියට හරි... ඒත් කතා විතරයි. කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නෑ. හරිම ප්‍රජාතන්ත්‍රවාදියි!” මම ද සිනාසුණෙමි.

“මම හිතන්නෙ අපි බයවෙන්ඩ ඕන නෑ.” දැනටම ලංකාවේ කොමිටි දහදාහක් විතර දාලා තියෙනවා. ඒවගේ වාර්තා එළියට ඇවිත් ක්‍රියාත්මක වෙන්ඩ ගන්නකොට සේරම ප්‍රශ්න විසඳෙයි. රට කිරියෙන් පැණියෙන් උතුරයි.”

ජයසේන කීවේය.

“මට ප්‍රශ්නයක් තියෙනවා. කොමිටි දාන්ඩ ද අපි ආණ්ඩුවක් පත්කරන්නේ?”

“ජනාධිපතිටවත් අගමැතිටවත් වෙලාවක් නෑනෙ හැම ප්‍රශ්නයක් ගැනම හොයලා බලන්ඩ.. ඒකයි කොමිටි දාන්නේ. එතකොට උද්ඝෝෂණත් නවතිනවා.”

“කොමිටිවලින් මොනවද විසඳපු ප්‍රශ්න?”

“තාම කොමිටි වාර්තා පිටවෙලා නෑනෙ. ඒවාට සෑහෙන කාලයක් ගත වෙනවා. ඒවා ආවම විසඳෙයි.”

“එෆ්.සී.අයි.ඩී. එක වගේ වෙයිද?”

“ඒවා කියන්ඩ බෑ. සාක්කි නැත්නම් ඔප්පු කරන්ඩ බැරි නම් ඔය අලුත දාන කොමිටිත් විසුරුවලා යවයි.”

“එතකොට ප්‍රශ්නෙ එහෙමමයි.”

“ටික කාලයක් ඉඳලා මිනිස්සු කෑ ගහනකොට ආයෙත් අලුත් කොමිටියක් පත්කරනවා. ඒක තමයි මේ සිස්ටම් එක.”

“මාර සිස්ටම් එකක්නෙ. ප්‍රශ්න විසඳනව ද ප්‍රශ්න යටගහනවද?”

“ඒකනෙ රතු සහෝදරවරු කිව්වෙ මේ සිස්ටම්එක වෙනස් කරන කල් ප්‍රශ්න විසඳෙන්න බෑ කියලා.”

“ඒ සහෝදරවරුන් සමහර කොමිටිවල ඉන්නව නේද?”

“කොමිටිවල නැත්තෙ කවුද?”

අපි දෙදෙනාව එක්වර සිනාසුණෙමු.

“මෙහෙම ගියොත් ලංකාවෙ හැම පුරවැසියෙක්ම මොකක් හරි කොමිටියක ඉඳී.”

ජයසේන සිනාසෙමින්ම කීය.

“ඒක මරු සිටිසන්ස්ලා වෙනුවට කොමිටි මෙම්බර්ස්ලා තමන්ගෙ ප්‍රශ්න තමන්ම විසඳගන්න ක්‍රමයක්.”

“ඒ විතරක් නෙවෙයි. ලෝකේ වැඩිම කොමිටි තියෙන රට හැටියට ලෝක වාර්තාවක් පිහිටුවන්ටත් පුළුවන්.”

“කොමඩි කන්ට්‍රි එක කොමිටි කන්ට්‍රි වෙයි.” ජයසේන සවස “බී කොමිටියට” එන පොරොන්දුව දෙමින් පිටට ගියේය.

ඊට මොහොතකට පසු “නිර්පාක්ෂික සැම්සන්” දිග ලියුම් කවරයක් ද රැගෙන මා හමුවීමට ආවේය.

“මේක කියවලා බන්ඩකෝ.”

ඔහු දුන් ලියුම කියවා බැලූ මම සැම්සන්ට සුබ පැතීමට අත දිගු කළෙමි.

“ෂා... කන්ග්‍රැජුලේෂන්ස්... ඔයාව කාබන් ටැක්ස් කොමිටියට දාලා. නේද? සන්තෝසයි.”

“ටැක්ස් එක ක්‍රියාත්මක වෙන්ඩත් කලින් කොමිටියක් මොකටද?”

“ටැක්ස් එක පරක්කු වෙයිද බලන්ඩ වෙන්නැති. අනික පහුවෙලා දානවට වඩා මුලින්ම පත්කරලා තිබුණාම ලේසියිනෙ.”

“කොහොමටත් මට මේක බාරගන්න බෑ.”

“ඇයි? ටැක්ස් ෆ්‍රී ගාණකුත් හම්බ වෙනවනෙ. කාබන් ෆ්‍රී වාහනේකුත් ෆ්‍රී ගන්ඩ පුළුවන් වෙයි.”

මිස්ටර් දන්නවනෙ මම නිර්පාක්ෂික පුද්ගලයෙක්. මම ඔය දේශපාලන පත්වීම් බාරගන්න කැමති නෑ.”

“ඔයිට වඩා ලොකු නිර්පාක්ෂික පුද්ගලයො අපි දැකලා තියෙනවනෙ... බය නැතුව ඕක බාරගන්න. දැන් ඕවට කවුරුත් දොස් කියන්නෙ නෑ. හැමදේම සාම්ප්‍රදායට යට වෙලානෙ!”

“නිර්පාක්ෂික වුණාම තමයි ප්‍රශ්න දිහා මධ්‍යස්ථව බලන්න පුළුවන්. මධ්‍යස්ථ තීන්දු ගන්න පුළුවන්.”

“මේ රටට පක්ෂ දේශපාලනය මිසක් නිර්පක්ෂ දේශපාලනයක් ගැලපෙන්නෙ නැති බව දැන් සනාථ වෙලා ඉවරයි.” මම කීවෙමි.

“එතකොට මේ රටට නිර්පාක්ෂිකයෝ ඕනෑම නැද්ද?”

“ඒක තීරණය වෙන්නෙ ලබන ජනාධිපතිවරණයෙන් පස්සේ!”

ඒ ඇසූ නිර්පාක්ෂික සැම්සන් කට කොණකින් ඒක පාර්ශවීය සිනාවක් පෑවේය.

►කපිල කුමාර කාලිංග