2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පරණ බලපත්තර හා අලුත් මුහුණු

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

එක්තරා රටක, ගම්බද පෙදෙසක ගොවිපොළක් ඉදිරියේ ජීප් රථයක් නතර කෙරුණි. ඉන් පිටතට බට හැඩිදැඩි පෙනුමින් යුත් පුද්ගලයෙක් කඩුල්ල පැන ගෙපැළ අසල පුදුමයෙන් බලාසිටින ගොවියා වෙත ගමන් කළේය.

“මට මේ ගොවිපොළ පරීක්ෂා කරන්න අවශ්‍යයි.” හැඩිදැඩි පුද්ගලයා ගාම්භීර හඬින් කීය.

“ඒ මොකටද සෑර්?”

ගොවියා බයාදු ලෙස හිස පහත්කර ඇසීය.

“තමුසෙ නීති විරෝධී ලෙස කංසා වගා කරලා තියෙනවා කියලා අපිට ආරංචියි.”

“අනේ ඒ මොන බොරැ කතාද සෑර්... කංසා තියා මිරිස් පැළයක්වත් හිටෝගන්ඩ වතුර නැතිවයි අපි මේ බලන් ඉන්නෙ.”

“මට ඒ කතා වැඩක් නෑ මිනිහෝ.. මම ආවේ මට අදාල රාජකාරිය කරන්ඩ.”

හැඩිදැඩි පුද්ගලයා ගොවිපොළ තුළට යාමට පිය එසැවීය.

ගොවියා ඔහු ඉදිරියට ගියේය.

“මම මේ සෑර්ගෙ හොඳටයි කියන්නෙ. ගොවිපළ මැද්දහටම යන්නෙ බලාගෙනයි. කැලෑවෙලා තියෙන්නෙ. සතා සරුපයා ඉන්ඩ පුළුවන්.”

“ඒ පාර තමුසෙ මම නියෝග දෙන්ඩ එනවද? මම ආණ්ඩුවෙ නිලධාරියෙක්. මේ බලනව මට දීලා තියෙන බලපත්‍රය. මේකේ තියෙන හැටියට මට පුළුවන් ඕනම ඉඩමක්, ගොවිපොළක්, කැලෑවක් පරීක්ෂා කරන්ඩ. මගෙ රාජකාරියට බාධා කරන්ඩ ආවොත් මට පුළුවන් නීති ප්‍රකාර කටයුතු කරන්ඩ.”

නිලධාරියා ගිගිරුවේය.

“එහෙනම් ඉතින් සෑර්ගෙ කැමැත්තක්.”

ගොවියා අසරණ බැල්මක් හෙළා පසෙකට විය. නිලධාරියා ගොවිපොළ තුළට ගියේය.

ටික වේලාවකට පසු උස් හඬින් කෑ ගසන හඬක් ඇසුණි.

නිලධාරියා මරහඬ දෙමින් ඉදිරියට දිව එයි. ඔහු පසුපස පිඹිමින් හඹා එන විශාල කුළු හරකෙකි. තව මොහොතකින් ඌ නිලධාරියාට අනිනු ඇත. නිලධාරියා, ගොවියා සිටි තැනට ආසන්න විය.

“තමුසෙ එතන නිකන් බලන් ඉන්නෙ.. මොනව හරි කරල මාව බේරගන්නවකෝ.”

නිලධාරියා මර බියෙන් කෑ ගැසීය. එවිට ගොවියා මෙසේ කීවේය.

“සෑර්... අර බලපත්තරේ කොහෙද? ඉක්මන් කරලා ඒක පෙන්නන්ඩ ඔය කුළු හරකට!”

මෙය මීට කලකට පෙර මට කියැවීමට ලැබුණු උපහාස කතාවකි. එය අවසානයේ මෙසේද සඳහන් විය.

• නිල බලය පෙන්විය යුත්තේ තැනට සුදුසු නුවණින් හා නිලයේ ගෞරවය ද රැකෙනා පරිදිය. පුහු ආඩම්බරය ප්‍රදර්ශනය අවශ්‍ය නැත.

• අනෙකාට, ඔබට යමක් කීමට ඇත්නම් ඊට සාවධානව සවන් දිය යුතුය. එයින් සැකසංකා දුරු වෙයි. ගැටලු නිරාකරණයට මඟ පෑදෙයි. අනවශ්‍ය ප්‍රශ්න මතු නොකෙරෙයි.

මට මේ පරණ කතාව යළි මතක් වූයේ මේ දිනවල අපේ රටේද බොහෝ තැන්වල බොහෝ වෙනස්කම් සිදුවනු දක්නට ලැබෙන බැවිනි. අලුත් නිලතල ප්‍රදානය කෙරෙයි. අලුත් නීතිරීති පැනවෙයි. ජනතාව සුභවාදීව බලාසිටිති.

ඕනෑම රජයක ආරම්භයේදී ජනතාව සුභවාදී බලාපොරොත්තු දල්වා ගත්හ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් නැවතත් දක්නට ලැබුණේ “පරණ බලපත්‍රම” ක්‍රියාත්මකවීමකි. (මෙවර එය එසේ නොවේවා!)
නිලධාරියා යනු ජනතා සේවකයෙකු මිස බලපත්‍ර පෙන්වන පුහු ආඩම්බරකාරයෙකු නොවන බව බොහෝ දෙනාට අමතකය. රාජකාරිය යනු සේවාවක් මිස, පීඩාවක් නොවේ. නිලධාරි ක්‍රමය, නිලධාරිවාදයක් බවට පත්වූ පසු බොහෝ රටවල් රාජ්‍ය පරිහානියට පත්විය. සමාජවාදී රටවල් පවා අසාර්ථකවීමට නිලධාරිවාදය බලපෑ අයුරු පසුව හෙළිදරව් විය.

පාලකයින් කෙබඳු නියෝග පැනවූවත්, ඒවා ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය නිලධාරීන් මගිනි. පසුගිය කාලයේ පාලමක්, බෝක්කුවක් තැනීමට පමණක් නොව නිවස ඉදිරිපිට කුණු ටික ඉවත්කර ගැනීමට පවා ජනාධිපතිට “පෙත්සම්” යැවීමට ජනතාවට සිදු වූයේ කාරිය කරවන රාළලා කාරිය හරිහැටි ඉෂ්ට නොකළ නිසා බව කවුරුත් දනිති.

ඔඩුදිව් තුවාලයකට ප්‍රතිකාර කිරීම පහසු නැත. නිසි ලෙස ප්‍රතිකාර නොකළොත් රෝගියා මිය යාමට පවා ඉඩ ඇත.

එක්තරා රටක ජනාධිපතිවරයෙක්, නිතර නිතර විදේශ සංචාරයන්හි යෙදීමට පුරුදුව සිටියේය. එහෙත් ඔහු තම රට ගැන කිසි අවධානයක් යොමු නොකළේය. රටට බරක් මිස පලක් නැති විදේශ ගමන් ගැන ජනතාව ජනපතිට චෝදනා එල්ල කරන්නට වූහ.

එරට රූපවාහිනී සේවාවක පැවති සංවාදයකදී, ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් සැලසුණි. තරුණ මාධ්‍යවේදියෙක් නැගිට මෙසේ ඇසීය.

“ඔබතුමා නිතරම රටරටවලට යනවා. ඒ ගමන්වලින් ඉගෙන ගත්තු දෙයක් තිබෙනවාද?”

“ඔව්.. අපේ රටේ සිස්ටම් එක වෙනස් කරන්ඩ ඕනේ.”

“ඉතින් ඔබතුමා ඒක කරන්නෙ නැත්තෙ ඇයි?”

“එහෙම කළොත් මට නිතර නිතර රට යන්ඩ වෙන්නෙ නෑ.”

ජනාධිපතිවරයා පැවසුවේ සභාව සිනාගන්වමිනි.

අපේ රටටද සුදුසු කාලය එළඹ ඇත.

ජනාධිපතිවරයා වෙනස් වී ඇත. “සිස්ටම්” එකද වෙනස් විය යුතුය. පරණ බලපත්තරකායන්ද වෙනස් දැක්මකට හුරුවිය යුතුය.

► කපිල කුමාර කාලිංග