2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ආණ්ඩුව පෙරළන සාකච්ඡා පටන් ගත්තා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 6193

හම්බන්තොට දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ඔබ ජනාධිපතිවරයකුගේ පුත්‍රයෙක්. ජනතාව එවැන්නන්ගෙන් බොහෝ දෑ අපේක්ෂා කරනවා. ඔබේ පියා බලයේ සිටි කාලයේ සහ වර්තමානයේ ඔබට ඒ ජනතා අපේක්ෂා ඉෂ්ඨ කරන්න පුළුවන් වුණා කියලා හිතෙනවාද?

මම තමයි ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් ජනාධිපතිවරයා බලයේ ඉද්දී පළමු වතාවට දේශපාලනය කළේ. බොහෝ අයට මගේ දේශපාලන කටයුතුවලට වැරදි අර්ථකථන හා නිර්වචන දෙන්නත් ඒක හේතුවක් වුණා. ඒත් ජනතාව අපේක්ෂා කළ හා මගේ වටපිටාව ඇතුලේ කළහැකි දෑ සියල්ලම උපරිමයෙන් කරන්න මම ඒ වෙලාවේ උත්සාහ දැරුවා.

හම්බන්තොට ඉන්න එකම ජනාධිපති පුත්‍රයා ඔබ පමණක් නෙවෙයි. හම්බන්තොට තවත් ජනාධිපති පුත්‍රයෙක් ඉන්නවා. කොහොමද ආසනයේ තියෙන තරඟය?

මගේ පියා ඇතුළු රාජපක්ෂවරුන්ගේ දේශපාලන නිජබිම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය. මමත් හැදුණේ වැඩුණේ හම්බන්තොට. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා පිටින් හම්බන්තොටට ඇවිල්ලා යම් හේතු නිසා එහේ දේශපාලනය ආරම්භ කළ අයෙක්. නමුත් මගේ මතය අපේ තාත්තලාගේ නම් නෙවෙයි. තමන් බිම්මට්ටමේ කොතරම් ජනතාව එක්ක ඉන්නවාද කියන එක තමයි වැදගත් වන්නේ.

සමාජගත චෝදනාවක් තියෙනවා ඔබේ පියා පසුගිය සමයේ ජනාධිපතිවරයා වීම තමයි ඔබට තිබුණ සුදුසුකම දේශපාලනයට එන්න කියලා?

පහුගිය මැතිවරණයේදී මගේ පියා පැරදුණු ජනාධිපතිවරයෙක්. මමත් සජිත් ප්‍රේමදාසත් දෙදෙනාම හිටපු ජනාධිපතිවරුන්ගේ පුතාලා විදියට මැතිවරණයට ආවා. ඒ වගේම මම ආවේ විපක්ෂයේ ඉදිමින් නොයෙක් අවලාද අසන හිටපු නායකයකුගේ පුතෙක් විදියට. ඒත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා ඊට ඉදිරිපත් වුණේ ප්‍රබල කැබිනට් මන්ත්‍රීවරයෙක් හා රටේ අග්‍රාමාත්‍යවරයාගේ ආශිර්වාදයද සමඟ. හැබැයි හම්බන්තොට අපි දින්නා. මනාප වලිනුත් ජනතාව මාව ඔසවා තැබුවා.

 රජ ගෙදරයි හිරගෙදරයි දෙකම එකයි 

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ චෝදනාවක් එල්ල වුණා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් විශාල කොටසක වගකීම දරන්න ඕන ඔබ කියලා?

ඔව්. චෝදනාවක් එල්ල වුණා. ඒත් හම්බන්තොට මැතිවරණ ප්‍රතිඵලයෙන් ඒක පුස්සක් වුණා. මැතිවරණයක කැපී පෙනෙන චරිත කිහිපයක් ඉන්නවා. මම ඒ වෙලාවේ නිල්බලකාය හා තරුණ සංවිධාන හරහා රටේ විශාල මෙහෙවරක් කළා. මම හෝ මගේ මල්ලිලා දෙන්නා නයිට් ක්ලබ් ගිහින් නයිට් ක්ලබ් කුඩු කරලා නෑ. බීලා පාරේ වැටිලා හිටියේ නෑ. වාහනවලින් මිනිස්සු හප්පගෙන ගියේ නෑ. තරුණයෝ ඩිෆෙන්ඩර්වලින් උස්සගෙන ගියේ නෑ. අපිට චෝදනා කරන අයගෙන් අහන්නේ අපේ වැරැද්දක් තියෙනවා නම් හැංගි හැංගි ගේම් නොගහ කෙළින් අපිට ඒක පෙන්වන්න.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජයට වගකිවයුතුය යන අනෙක් චෝදනාව එල්ල වෙන්නේ තවත් රාජපක්ෂවරයෙක් වන බැසිල් රාජපක්ෂට. ඔබ හිතනවාද ඔහු මැතිවරණ පරාජයට වගකිවයුතුයි කියලා?

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා තමයි ඒ අවස්ථාවේ මැතිවරණය මෙහෙය වූයේ. ජයග්‍රහණය කළාම මෙහෙයවපු කෙනාට හොඳ කියනවා. පරාජය වුණාම මෙහෙයවපු කෙනාට බණිනවා. නිකම් ක්‍රිකට් කණ්ඩායමක් මැච් එක දින්නාම කැප්ටන් හොඳයි, පැරදුණාම කැප්ටන් නරකයි වගේ.

ඒකාබද්ධ විපක්ෂයේම සමහරු චෝදනා කළා බැසිල් රාජපක්ෂ මහත්මයා මැතිවරණ පරාජයත් සමඟම ලංකාවෙන් ගියේ මේ චෝදනාවට තියෙන බය නිසා කියලා?

නෑ. මම හිතන්නේ නෑ එතුමා චෝදනාවලට බය නිසා ගියා කියලා. එතුමාගේ පෞද්ගලික කාරණා නිසා එතුමා ගියා. මම දන්න බැසිල් රාජපක්ෂ මහත්මයා නම් මැතිවරණයක් දින්නා හෝ පැරදුණා අනිවාර්යෙන් රට යනවා.

 තාත්තා ජනාධිපති නිසා සමහරු මගේ දේශපාලනේට දොස් කිව්වා 

 

බැලූබැල්මට පෙනෙන කාරණයක් තමයි ඔබේ පියා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේදී සමීපයේ තබාගෙන ඉන්නේ ඥාතීන්. ඔබේ පියා විශ්වාස කරන්නේ රාජපක්ෂවරුන් පමණද?

එහෙම දෙයක් නෑ. ඕනෑම දේශපාලඥයෙක් වටේ සමීප පිරිසක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතා වටේත් නෑදෑයොත් හිටියා. නෑදෑයෝ නොවන හිතවතුන් විශාල පිරිසකුත් හිටියා. අද වුණත් ඒකාබද්ධ විපක්ෂයේ පවා ඉන්න පිරිස් එතුමාට දුරින් නැදෑයෝ වෙනවා. උදාහරණයක් කිව්වොත් කුමාර වෙල්ගම මහතා එතුමාගේ නෑදෑයෝ. අපේ පවුල රට පුරා විහිදුනු පවුලක්. අපේ පවුලේ නෑදෑයෝ රට පුරා ඉන්නවා. රාජපක්ෂ පවුලේ දෙමළ අය බැඳලා යාපනෙත් නෑදෑයෝ ඉන්නවා. මුස්ලිම් අය බැඳලත් ඉන්නවා.

ඒ නිසාද හිටපු ජනාධිපතිවරයාට ඥාති සංග්‍රහය පවත්වනවා. පවුල් ගහක් හදලා තියෙනවා කියන චෝදනාව එල්ල වුණේ?

විහිලු කතානේ. දැන් බලන්න අද ආණ්ඩුව දිහා. මහත්තයා එනවා ඡන්දෙන්, නෝනා එනවා ජාතික ලැයිස්තුවෙන්. දෙන්නම ඇමැතිවරු. නෝනාගේ සහෝදරයා RDA එකේ සභාපතිවරයා. ඒත් නෑදෑයෝ. නවීන් දිසානායක අයියලා මල්ලිලා හැමෝම පාර්ලිමේන්තුවේ. කාටහරි මඩ ගහන්න ඕන නම් පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ පරම්පරා හොයලා අපිටත් එහෙම කරන්න පුළුවන්. හැබැයි අපි එතෙන්ට වැටෙන්නේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කටයුතුවල කැපවෙලා නිරත වූ බැසිල් රාජපක්ෂ මහත්මයා හදිසියේම විදේශගත වුණා. මේ විදේශගත වීම පිටුපස රට නොදන්න යම් හේතුවක් තිබෙනවාද?

ඒක හොරාට ගිය ගමනක් නෙවෙයි. උසාවියට දැනුම් දීලා ගිය ගමනක්. එතුමාට විදෙස් ගතවෙන්න සිද්ධ වුණේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ආදිය ඉදිරිපත් කරලා තමයි එතුමා ගියේ.

දේශපාලන කරළිය පිටුපස ඇසෙන කතාවක් තමයි 2020 ජනාධිපතිවරණයේදී ඔබේ බාප්පා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළයුතුය යන්න. එසේ සිදුවුණොත් ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වනවාද?

මම දන්න තරමින් දැනට ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එනවාද නැද්ද කියලා තීන්දුවක් අරගෙන නෑ. හැබැයි ඉතින් මහින්ද රාජපක්ෂ මහතා කියන ඕනෑ කෙනෙක්ට අපි සහයෝගය දෙනවා.

ඒ හැරුණාම 2020 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය වෙනුවෙන් ඉදිරිපත් කරන්න තරම් සුදුසු අපේක්ෂකයෙක් ඔබට පෙනෙනවාද?

ඒක මම හිතන්නේ අද තීරණය කරන්න බෑ. උපකල්පනය කරලා නම් කිහිපයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කියන අය මුලින් තීරණය කරන්න ඕන තමන් මැතිවරණයට ඉදිරිපත්වෙනවාද නැද්ද කියලා. අනෙක් කාරණය තමයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛව අපි දැවැන්ත සංධානයක් හරහා ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වේවී. ඒ වගේම යහපාලන ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ඨ කරනවා නම් නැවත ජනාධිපතිවරණයක් රටේ එන්නේ නෑ.

ඔබ FCID යන සෑම වාරයක් පාසාම කියනවා මේක මේ දේශපාලන පළිගැනීමක් කියලා. එතකොට ඔබ සියඹලා ගෙනල්ලම නැද්ද?

ඒක දේශපාලන පළිගැනීමක් කියලා මම විතරක් නෙවෙයි මෛත්‍රීපාල ජනාධිපතිතුමත් කියනවා. ඔහුම කියනවා මේ ආයතන දේශපාලනීකරණය වෙලා කියලා. ඒ හින්දාම අන්තිමට අල්ලස් කොමිසමේ ප්‍රධානියා ඉල්ලා අස්වුණා. 

 අපට දෙමළ මුස්ලිම් නෑයොත් ඉන්නවා 

එහෙත් රටේ ජනතාව පැවති රාජපක්ෂ පාලනය පරාජය කරන්න ප්‍රධාන හේතුව යැයි කියැවෙන්නේ රාජපක්ෂ පවුල කළායි කියපු වංචා හා දූෂණ. වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන තුරුම්පුව වුණේත් ඒ වංචාවලට දඬුවම් දෙනවායැයි කියූ පොරොන්දුව?

හරි, ඒ කාලේ එල්ල වුණ චෝදනා මොනවද. රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි වාහන, ඇමරිකාවේ බකිම්හැම් මාලිගා, ඩුබායි ගිණුම්වල කෝටි ගණන් තියෙනවා කිව්වා. එක උදාහරණයක් ගමු. එදා කිව්වා ඩුබායි මැරියට් හෝටලේ නාමල් රාජපක්ෂගේ කියලා. අද ඒ මැරියට් හෝටලේ සැබෑ අයිතිය හිමි නන්දන කියන මහත්තයා රනිල් වික්‍රමසිංහ අගමැති එක්ක ටයර් කම්හලකට මුල්ගල තියනවා. එදා ගොතපු සම්පූර්ණ බොරුවනේ මේ දැන් එළිවෙන්නේ. රාජ්‍ය දේපළ හොරාකන්න ඕන නෑ. අපේ පවුල්වලට ජීවත් වෙන්න අවශ්‍ය තරමට මුදල් අපිට තියෙනවා.

එහෙනම් අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් ඔහොම කියන්න පුළුවන්නේ. ඒත් අපි එහෙම කියන්නේ නෑනේ.
රජගෙදර ඉඳලා රිමාන්ඩ් බන්ධනාගාරයට යද්දී මොකද හිතුණේ?

මට අවසනයේ හිතුනේ මේ දෙකම එකයි කියලා.

දෙකම එකයි කියලා?

ඔව්. රජ ගෙදර හිටියත් දොරවල් ටික වහලා අපිව ඇතුළට දාලා. රිමාන්ඩ් බන්ධනාගාරයේත් එච්චර තමයි.

කොහොමද ඇතුලේ ගත වූ කාලය?

බන්ධනාගාර ජීවිතය තමයි මගේ ජීවිතේ සුන්දරම කාලය හා ලබපු ලොකුම අත්දැකීම් ලැබුවේ. රජ ගෙදරක ඉඳන්වත් සාමාන්‍ය ගෙදරක ඉඳන්වත් ලබන්න බැරි අත්දැකීම් හා මිත්‍රයෝ පිරිසක් ලැබුවා. 

බන්ධනාගාරයේදි ඔබ කිව්වා ඔබ දේශාපාලන සිරකරුවෙක් කියලා. නමුත් ඔබට තිබුණ චෝදනාව දේශපාලන චෝදනාවක් නෙවෙයි. මූල්‍ය වංචාවක් සම්බන්ධ චෝදනාවක්?

21 වැනි සියවසේ දේශපාලන සිරකරුවන් සිරගත කරන්නේ මූල්‍ය වංචා චෝදනා ඉදිරිපත් කරලා තමයි. අතීතයේ දේශපාලන සිරකරුවෝ මිනීමරුවෝ විදියට හිරේ දාපු කාලයක් තිබුණා. තවත් කාලයක් තිබුණා රාජ්‍ය කුමන්ත්‍රණ පිළිබඳ චෝදනා එල්ල කරලා හිරේදාපු. මෑත යුගයේ ලංකාවේ දේශපාලන සිරකරුවෝ සියල්ලම යන්න මුදල් අවභාවිතය නැත්තම් රාජ්‍ය දේපළ අවභාවිතය. ජේවීපී කාලේ මනුස්සයෙක් ගෙනල්ලා බෝම්බයක් දාලා ඇප නොදී තියනවා වගේ දැන් රාජ්‍ය දේපළ නැත්තම් මුදල් විශුද්ධිකරණය හරි පොදු දේපළ පනත හරි පටලවලා දානවා. ඇප නෑනේ එතකොට.

රාජපක්ෂවරුන්ට මෙතරම් දූෂණ චෝදනා එල්ලවෙලා තියෙද්දිත් ඔවුන් බයක් සැකක් නැතිව රටේ දේශපාලනය කරන්නේ ඔවුන් වර්තමාන ආණ්ඩුවේ ඉහළ තැන්සමඟ ඩීල් දාලා තියෙන නිසාද?

නෑ. හදවතින් අපි නිර්දෝෂී කියලා දන්න නිසා. 

හැබැයි මේ ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරු පසුගිය දවස්වල ප්‍රසිද්ධියේ කිව්වා මොන ඩීල් තිබුණත් අපි මේ ආණ්ඩුවේ කිහිපදෙනෙක් මේ අවුරුද්ද ඇතුලේ හිරේට යවනවා, ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා?

රාජපක්ෂලාට හිර ගෙදර අලුත් තැනක් නෙවෙයි. රාජපක්ෂලා හිරේ දාලා ජනමතය පරදවන්නත් එයාලට බෑ. 

ඔබේ පියා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නේ නෑ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් තිබෙන ලොකුම අභියෝගය වුණ ඒකාබද්ධ විපක්ෂයට කෙළින්ම උපකාර කරනවා. මොකද්ද මේ වචන දෙක?

ඒක වචන දෙකක් නෙවෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති කඩන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක ඉන්න පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ නෑනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙයි දීගය නතර වුණ දවසක මෛත්‍රීපාල මහත්තයාට එන්න වෙන්නේ අපි ගාවට. මොකද සැබෑ නිදහස් පක්ෂ ප්‍රතිපත්ති තියෙන්නේ අපි ගාව.

ඔබත් ඔබේ පියා එක්ක මේ අවුරුද්ද තුළ ආණ්ඩුව පෙරළන්න ලැහැස්තිද?

ඔව්. අපි හම්බවෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා. දැනටත් ඒ සම්බන්ධව ශ්‍රීලනිප හා එජාප පාර්ශව අපිත් එක්ක සාකච්ඡා කරනවා. දැන් ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරුවල ඉන්න අය සාකච්ඡා කරනවා.

 හම්බන්තොටින් සජිත්ට වඩා මනාප ලැබුණෙ මටයි 

 

මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරලන්න තරම් මැතිවරණයක් එන්නට නියමිත නෑනේ?

ආණ්ඩුව පෙරළන්න මැතිවරණයක්ම අවශ්‍ය නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව පෙරලන්න පුළුවන්.

ඔබ කියන්නේ හිටපු ජනාධිපතිවරයා කිව්වා වගේ ඔළු මාරුවක්ද?

ඔළු මාරුවක් බොහෝ දුරට මේ අවුරුද්ද ඇතුළත වෙනවා.

හැබැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නම් කියන්නේ ඔවුනට තුනෙන් දෙකක බලය තිබෙනවා. ආණ්ඩුව පෙරළනවා කියන්නේ හීනයක් කියලා?

මහින්ද මහත්තයත් ඔය වගේ ඒවා කිව්වා. අන්තිම මොහොතෙත් කිව්වේ සිරිසේන මහත්තයා යන්නේ නෑ කියලනේ. අපි කියන්නේ ඔච්චර රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාස නම් අර පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ හරියට කරන්න. කළොත් කීදෙනෙකුට හිරේ ඉන්න වේවිද බලන්න.

ඔබේ පියාගේ පාලන සමයේ නොතිබුණ අදහස් දැක්වීමේ හා විරෝධතා දැක්වීමේ නිදහසක් මේ ආණ්ඩුව උදාකරලා දීලා තියෙනවා නේද?

අද උද්ඝෝෂණ කරන්න. විරෝධතා දක්වන්න නිදහස කෙසේ වෙතත් මිනිස්සුන්ට ඒවට හේතු කාරණා නම් තියෙනවා. 

හම්බන්තොට වරාය විරෝධී උද්ඝෝෂණ සිදුවීම පිටුපස ඉන්නේ රාජපක්ෂලා?

නෑ. හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව. හැබැයි ඒ ජනතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. විශේෂයෙන් මම මොන බාධක ආවත් පෙනී ඉන්නවා.

චෝදනාවක් තියෙනවා හම්බන්තොට වරායේ මේ ගැටලුවට ලක්වූ සේවකයින්ට රුකියා දුන්නේ ඔබට හිම් මෑන්පවර් ආයතයක් හරහා කියලා?

ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ රැකියාවලට ඔවුන් යොමුකළේ වරාය අධිකාරියට අයත් ආයතනයක් හරහ සහ ඒ ආයතනය අදටත් අයිති වරාය අධිකාරියට. 

හම්බන්තොට කර්මාන්ත පුරයේ අක්කර 15,000ක් බදුදෙනවාට විරුද්ධව කෑගහපු ඔබලා පැවති ආණ්ඩුව සමයේ පෝට් සිටියේ අක්කර 500ක් සින්නක්කර චීනයට දෙන්න ගියා කියලා මඟහැරය නොහැකි චෝදනාවක් තිබෙනවා?

ඒක වෙනම ව්‍යාපෘතියක්. පෝට් සිටි එකේදී ගොඩ නගන්නේ ලංකාවට මෙතෙක් කලක් අයිති නැති භූමියක්. මිනිස්සු, ගොවියෝ එලවලා හදන පුරවරයක් නෙවෙයි ඒක. හම්බන්තොට වෙන්නේ දැනට මිනිස්සු ජීවත්වෙන, ගෙවල් දොරවල් තියෙන. හේන් කුඹුරු තියෙන ඉඩම් අක්කර 15000ක් චීනයට දෙන එක. 

ඔබේ පියාගේ බලය හොබවන සමයේ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට ඔබට ඇමැතිවරයෙකුටත් වඩා බලතල තිබුණා කියලා ඒ ආණ්ඩුවේ සිටි පිරිස් පසුව චෝදනා කළා?

නෑ. ඒ චෝදනාව වැරදියි. හැබැයි මම ඒ කාලේ බොහෝ අමාත්‍යවරුන්ට උදව් කළා.

පැවති ආණ්ඩුව සමයේ රටේ රාජය ආයතනවල නව පත්වීම් දුන්නේ ඔබ හරහා කියනවා. ඔබලු නිසි බලධාරියා?

නෑ. මම නිසි බලධාරියෙක් වුණේ නම් නෑ. නමුත් සමහර අමත්‍යාංශවල ඇමැතිවරු මටත් අවස්ථාවක් දුන්නා යම් සීමිත රැකියා ප්‍රමාණයක් ලබාදෙන්න. මම ඒකට අදටත් ස්තූති වෙනවා. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා මට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර පත්වීම්වලට හම්බන්තොට පිරිස් ඇතුළත් කරන්න අවස්ථාව ලබාදුන්නා ඒ කාලේ.

දැන් ඔබ භාවිත කරන ඔරලෝසුව රුපියල් කීයක් වටිනවාද?

මේක මේ පිටකොටුවෙන් ගත්තේ. ඒක එච්චර වටින්නෙ නෑ.

ඔබ මිලියන ගණන් ඔරලෝසු හා ලක්ෂ ගණන් වටිනා සෙරෙප්පු භාවිත කළා කියලා චෝදනා එල්ල වුණා?

ඒ හැමදේම මැතිවරණ සමයේ රටේ ජනතාව නොමඟ යවන්න පතුරවපු මුසාවාද. මගේ සෙරෙප්පු දෙක එක්ලක්ෂ පනස්දාහක් වටිනවා කිව්ව තිස්ස අත්තනායක මහත්තයත් අවසානයේ අපේ පැත්තට ආවා.

සයිටම් වෛද්‍ය පීඨය මෙරට ආරම්භ වෙන්නේ ඔබේ ආණ්ඩුව කාලයේ. නමුත් දැන් විපක්ෂයේ ඉන්න ඔබ ඊට විරුද්ධයි. මොකද්ද මේ?

නෑ. ඒක විරුද්ධත්වයක් නෙවෙයි. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස් කරන්නත් ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ මේ වෙනස්කම් කළා. අද වෙද්දි සයිටම් සම්බන්ධව අධිකරණ නියෝග නිකුත්වෙලා තියෙනවා. ශිෂ්‍ය අරගලයන් සමඟ අපිත් ඉන්නවා. ජනතා නියෝජිතයෝ විදියට අපිට වගකීමක් තිබෙනවා මේ පාර්ශව දෙකේම මතය අහන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ලංකාව පංච මහා කේන්ද්‍රයන් කරනවා කියලා. කළාද?

හම්බන්තොට වරායට චීන සමාගමක් ඇවිත් මොකුත් හොයන්නේ නැතිව බිලියන 1.2ක ලංසුවක් දෙන්නේ ඔවුන් මේ වරාය ලෝක නාවික ක්ෂේත්‍රයේ කේන්ද්‍රයක් කියලා පිළිගන්න නිසා. මත්තල හා හම්බන්තොට වරාය ලෝකයේ සීපෝට්, ඒ කිව්වේ වරාය හා එක්ව ගුවන්තොටුපළ තිබෙන කර්මාන්තපුරයන් දහය දොළහ අතුරින් එකක්. නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත්කළා. කොළඹ පෝට් සිටි එක මේකෙම තව කොටසක්. 

ඔබේ ආණ්ඩුව කාලයේ මහබැංකු බැඳුම්කර විකුණුවේ නැද්ද?

විකිණුවා. හැබැයි ඒ ප්‍රාථමික හා ද්වීතියික වෙළඳපොළ තුළ ඉතාමත් විනිවිද ලෙස. ඒකයි මෙයාලට මේ තවම ඒකට ඇඟිල්ල දික් කරගන්න බැරිව ඉන්නේ. අපි එහෙම කළාට මෙයාලා රජයේ මිලදී ගැනුම්කරුවන් සියල්ලෝම ද්වීතියික වෙළඳපොළට දාලා පර්පචුවල් ට්‍රෙෂරීස් කියන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වූ අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම පමණක් ප්‍රාථමික වෙළඳපොළට දාලා කළ ගනුදෙනුවක්.

අර්ජුන් ඇලෝෂියස් ඔබේ සමීප මිත්‍රයෙක්ලු නේද?

ඔව්. මම ඔහුව පොඩි කාලේ ඉඳලා හඳුනනනවා. හැබැයි මම ආණ්ඩුවට අභියෝග කරනවා ඔය කියන විදියට අගමැතිතුමා හරි ආණ්ඩුවේ ලොක්කෝ හරි මේක කිසි සම්බන්ධයක් නැත්තම් අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට ගන්න. ඒකට ඕනෑතරම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. මෙතන ඔහු වැරැද්දක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. කෝප් වාර්තා දෙකකින් ඔප්පුවෙලා තියෙනවා. ඊ.පී.එෆ්. වාර්තාවෙන් ඔප්පුවෙලා තියෙනවා. මහබැංකු අභ්‍යන්තර වාර්තාවෙන් ඔප්පුවෙලා තියෙනවා. විගණකාධිපති වාර්තාවෙන් තහවුරු වෙලා තියෙනවා. 

ආණ්ඩුව කියනවා මේ සිදුවීමට අදාළව එවැනි අත්අඩංගුවට ගැනීමකට යන්න තරම් සාක්ෂි තවම නෑ කියලා?

මල්වානේ ඉඩමක් තියෙනවා කියලා ඉඩමේ අයිතිකාරයා හොයාගන්නත් කලින් බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, සී.එස්.එන්. එකේ අයිතිකාරයෙක් හොයාගන්නත් කලින් උපකල්පනය කරලා යෝෂිත රාජපක්ෂව රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, රගර් ක්‍රීඩාවට දීපු සල්ලි නාමල් හොරකම් කරලා කියලා උපකල්පනය කරලා මාව රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, අමාත්‍යාංශයේ ට්‍රැක්ටරයකුත් විමල් වීරවංශ පාවිච්චි කළා කියලා ඔහුව වාහන අවභාවිතයට රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, ඒ ට්‍රැක්ටරයටම මුසම්මිල්ව රිමාන්ඩ් කරන්න පුළුවන් නම් ඇයි මේක බැරි?

පසුගිය සතියේ චතුර සේනාරත්න මන්ත්‍රීතුමා කිව්වා ඔබ කුමාරෝදයවත් කියවලා නෑ කියලා?

මම කියවපු පොත් කෙසේ වෙතත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා කියන කරන දේවල් බලාගෙන හිටියාම පේනවා ඔහු කියවපු පොත් මොනවද කියලා.

ප්‍රවීණ ජෝතිෂවේදියෙක් වරක් ප්‍රකාශයක් කරලා තිබුණා ඔබටත් වයස අවුරැදු 50ට පස්සේ ඔබේ පියාගේ කේන්ද්‍රය තරම්ම බලවත් රාජයෝග ඔබටත් තිබෙනවා කියලා?

මම ඒ ගැන දන්නේ නෑ ඇත්තටම නොදන්න දේවල් මොකුත් කියන්න බෑනේ.


♦ විමුක්ති රත්නමලල

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00