2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

අපි බලය ගත්ත නිසා රට විකිණිල්ල නැවතුණා

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

♦පොහොට්ටුවද - රටද - අපිද කියන ප්‍රශ්නයට මුහුණ දුන්නා
♦විශ්වාසභංගෙ හරියට ගෙනාවනම් අලුත් ආණ්ඩුව ගෙදර
♦ටී.එන්.ඒ. එකේ අරමුණ රට බෙදන එක
♦රනිල් වික්‍රමසිංහ මහත්තයට ජවිපෙ කියන්නේ ස්වීප් එකක්
♦පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් කතානායකවරයා විනාශ කළා
♦එකතු වෙන වැඩේට මම මුලින් විරුද්ධ වුණා

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම

ඔබතුමාලා පහුගිය කාලයෙම විශාල සටනක් දුන්නා ඔබලටම කියපු ආණ්ඩුවක් පිහිටුවගන්න. ඒත් එකපාර ආණ්ඩුව අතට ආවා නේද? අර එදා සියලු කරපු දේවල් ගඟට කපපු ඉනි වගේ වුණා නේද?

ඔව්. අපි අරන් ආපු වැඩ පිළිවෙළට යම්කිසි පාඩුවක් වුණා මේ වැඩපිළිවෙළ හරහා. ඒත් ඒ වැඩේ කරන්න හේතු කාරණා කීපයක් තිබ්බා. ඒ නිසයි අපි මේ තීන්දුව ගත්තේ. මේ සියලු තීන්දු තිරණ අපිත් එක්ක සාකච්ඡා කරලා ගත්ත දේවල්. 

හැබැයි ඔබලා මුල ඉඳන්ම හිටියේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක ආයි ආණ්ඩු කරන්නෙ නෑ කියන අදහසින්. 

ඇත්ත. විරුද්ධ වීමේ කණ්ඩායමේ මමත් හිටියා. එකතු වීම සඳහා පවත්වපු සාකච්ඡාවට තදබලව මගේ විරෝධය පෑවා. ඒකට හේතුව වුණේ ඇත්තටම එකතු වුණොත් මේ වැඩපිළිවෙළ අසාර්ථක වෙයි කියලා.

එතකොට ඔළුව වෙනස් කරගත්තේ කොහොමද?

ජනාධිපතිතුමා අපිට මේ ගැන පහදලා දුන්නා. එතුමා කිව්වා එතුමාගේත් අගමැතිගේත් වැඩපිළිවෙළ ගැන. ඒ වගේම එජාප රජය දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකතු වෙලා රට බෙදන වැඩපිළිවෙළකට යමින් ඉන්නවා කියලා අපිට දැනුවත් කළා. මේ නිසා තමයි අපි එකතු වුණේ. හැබැයි බොහෝදෙනකු කියන්නේ මේ කිසිදෙයක් නොගෙන මහමැතිවරණෙකින් තුනෙන් දෙකක බහුතරයක් බන්දේසියේ තියලා ගන්න තිබ්බ අවස්ථාවක් නැති වුණා කියලා. ඒත් ජනාධිපතිතුමා කිව්ව හැටියට රටෙන් තුනෙන් දෙකක් බන්දේසියක තියලා පිටරටට විකුණමින් තිබුණේ.

ඒත් ඔබට හිතෙන්නේ නැද්ද කිසිම වැඩපිළිවෙළක් නැතුව එක පාර ආණ්ඩුවක් ගත්ත නිසා අද රට අස්ථාවර වෙලා කියලා?

ඇත්ත. ඔබ කියනවා වගේ යම් අස්ථාවරභාවයක් තියෙනවා. හේතුව අපි ගන්නකොටත් මේක සම්පූර්ණයෙන් විනාශ කරලා තිබ්බේ. අපි උත්සාහ කරමින් සිටින්නේ ඒ වැටිච්ච වලෙන් ගොඩ එන්න. තවදුරටත් මෙහෙම ගියානම් රට සදාකාලිකව අස්ථාවර වෙනවා. මෙතන තියෙන්නේ රට අස්ථාවරයි. හේතුව අපිට බහුතරය තාම නෑ. හැබැයි අපි නොගත්තා නම් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි මෙතනදි හිතුවේ පක්ෂෙට වඩා රට ඉදිරියට යන වැඩපිළිවෙළක්. 

මෙහෙම වැඩපිළිවෙළකට ගිහිල්ලා අනාගත්ත ඇනිල්ල හේතුවෙන් අනාගතයේදී පොහොට්ටුවට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා නේද?

මම හිතන්නෑ ජනතාවට ඒක අදාළ වෙනවා කියලා. ජනතාව කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත බලයට ගේන්න සූදානමින් ඉන්නවා. අපි රට ගැන ගත්ත තීන්දු තීරණ සම්බන්ධව මම තාම ඉන්නේ ගත්ත ස්ථාවරේ. ඒ නිසා මේ වැඩපිළිවෙළ වරදින්න විදිහක් නෑ.

ඇතැම් පිරිස් කියනවා ජනාධිපතිවරයා ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙලෙස බලය හුවමාරු කරලා  සූක්ෂමව නෙළුම් පොහොට්ටුව විනාශ කළා. ඒක ඇත්තද?

අපිව එහෙම රවට්ටන්න බෑ. අපි ඉන්නේ බොහොම කල්පනාවෙන්. ඇත්ත. අපි එතුමාගේ කතාවලට බොහොමයක් අහු වුණා. රැවටුණා. ඒත් දැන් එහෙම නෑ. අපි දැන් එකමුතුවෙන් මේ රට ගොඩනගන්න හදන්නේ. ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා ඔහුට හිටි අගමැතිවරයා දේශීය සම්පත් විකුණලා රට දෙකඩ කරන්න හදනවා කියලා. ඒ නිසයි අපි බලය ගත්තේ. ඒ වගේම රටේ හමුදා කඳවුරුත් ඉවත් කළා. ඒවා බලාගෙන ඉන්න බැරි තැන තමයි අපි එකතු වුණේ. මේවා ජනාධිපති දැනුවත්ව තමයි මුලදි වුණේ. හැබැයි පහුවෙලා හරි එතුමා මේ දේ නිවැරදි කළා.

කුමාර වෙල්ගම මහත්තයා මුල ඉඳන්ම කිව්වා මේ වැඩේ හොඳ දෙයක් නෙවෙයි පොහොට්ටුව විතරක් නෙවෙයි රාජපක්ෂවරුත් නැති වෙන වැඩක් කියලා. ඇත්තටම එහෙම නේද?

එතුමා කියන දේ අපිත් පිළිගන්නවා. පොහොට්ටුවේ බහුතරක් ඉන්නේ ඔය එතුමා කියන කාරණයේ තමා. මේ තීන්දුවට ගොඩක් අය කැමති නෑ. එයට හේතුව තමයි 2015 ජනවාරි 08 වැනිදයින් පස්සේ ආරම්භ කරපු මේ බලවේගයට සුළු හෝ හානියක් වෙයි කියන බයට. කොටින්ම අපි කැමතිත් නෑ. ඒත් අපිට ප්‍රශ්නයක් ආවා පොහොට්ටුවද අපිද නැත්නම් රටද කියන එක ගැන. ඕනෑම කෙනකුට ප්‍රධාන වෙන්න ඕන පක්ෂයට වඩා රට. මෙතනින් යම් කිසි අවාසියක් සිද්ධ වුණත්.

දැන් ඔබතුමාලා බලය ගත්තා කියනවනේ. හැබැයි තවම පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න බැරිවෙලා තියෙනවා නේද?

ඇත්ත. තවම ආණ්ඩුව පිහිටුවගන්න 113ක් අපට විතරක් නෙවෙයි කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා. අපි පිළිගන්නවා ආණ්ඩුවට බහුතරයක් තියෙනවා කියලා. හැබැයි මේ මැතිවරණයකින් ගත්ත බලයක් නෙවෙයි. හදිසියේ ගත්ත බලයක්. ජනාධිපතිවරයාට ඕන වෙලා තිබ්බා එතුමා යටතේ ඉන්නකොට මේ සිදුවන මංකොල්ලය නවත්වන්න. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා රටේ බහුතරය වෙනස් වෙලා නෑ. රටේ බහුතර මතයෙන් නැවත මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එන්න ඕන. හැබැයි එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වෙලා තියෙන එකම පුටුව කතානායක පුටුව නිසා ඒක යොදාගෙන ඔවුන් ආණ්ඩුව වට්ටන්න හදනවා.

හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් කියන්නේ මේ පත්වීම නීති විරෝධී කියලා.

නැහැ. මේ සියලු දේම නීත්‍යානුකූලව සිදු කළ දේවල්. අපි එක්සත් ජාතික පක්ෂෙට කියනවා අගමැතිවරයා ඉවත් කරනවානම් ඒකත් නීත්‍යානුකූල ක්‍රමයට සිදුකරන්න කියලා. ඒත් එජාපය ඒකට ලෑස්ති නෑ.

ඔය 113 පෙන්නගන්න බැරි වුණ නිසා නේද එදා පාර්ලිමේන්තුවේ යකා නැටුවේ?

කතානායකතුමා එක්ක ගැටුම ඇති වුණේ 113 පෙන්නන්න බැරි වුණ නිසා නෙවෙයි. මේ වෙනකොට එජාපය හරියට විශ්වාසභංගයක් ගෙනල්ලා තිබ්බා නම් අලුත් අගමැතිතුමාත්, ආණ්ඩුවත් ගෙදර. නමුත් මේ අය ඒ වෙලාවෙම ලියලා ඒ වෙලාවෙම අත්සන් කරලා ඒ වෙලාවෙම ඡන්ද ගණින ක්‍රමයක් හැදුවා. ඒක පාර්ලිමේන්තු නීතිවලට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ කිසිම දිනක නොකළ දෙයක් එදා කරන්න ගිය නිසයි එදා මේ වගේ සිද්ධියක් ඇති වුණේ. 

මේකෙන් වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්පූර්ණ විහිළුවක් බවට පත්වුණ එක නෙවේද?

පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිටින් විශ්වාසභංගයක් ගෙනඒම නිසා. පාර්ලිමේන්තුව විනයානුකූලව පවත්වාගෙන යාම, සාම්ප්‍රදාය ආරක්ෂා කරගැනීම ආදී සියලුම දේ තියෙන්නේ කතානායකවරයා සතුව. අපි පාර්ලිමේන්තුවේ නැවතිලත් හිටියා එක පාරක්. ඒත් කවදාවත් මෙවැනි ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් මෙවැනි දෙයක් සිදුවෙන්න යනකොට ජනතා ඡන්දයෙන් ආපු මිනිස්සු හැටියට අපි මැදිහත් වෙන්න ඕන. එදා ඒකයි නැවැත්තුවේ.

හරි දැන් කියන්නකෝ ඔබගේ අත කැපුණේ කොහොමද?

එදා කලබලය අස්සේ එහාට මෙහාට වෙනකොට අත කැපුණා. මම දන්නෙ නෑ කොහොම කැපුණද කියලා.

ඔබ දන්නෑ කැපුණේ කොහොමද කියලා?

නෑ මම දන්නෑ. ඒ වේදනාව මමම දරාගෙන හිටියා. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

ඔබලා 225ටම මීට වැඩිය විනීතව හැසිරිලා මේ ප්‍රශ්නය විසඳගන්න තිබුණා නේද?

පාර්ලිමේන්තුවේ ගෞරවය, විනීතබව මනින්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා රීති අනුව. ඒත් කතානායකතුමාට ඕන ඕන විදිහට ගෞරවය කෙලෙසලා ඇයි ඒක බලාගෙන සද්ද නොකර ඉන්නේ? මොකද පාර්ලිමේන්තුව මෙහෙයවීමේ වගකීම තියෙන්නේ කතානායකතුමාට. එදා නියෝජ්‍ය කතානායකතුමා කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට කළේ.

ඔබතුමා කියනවා කතානායක පක්ෂග්‍රාහයි. හැබැයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සුදුසුම තැන ලබාදුන්නා නේද එතුමා?

ඔව්. ඒක තමයි එතන තියෙන ප්‍රශ්නේ. එතුමා ඒ දේවල් කරලා එදා කරපු ප්‍රකාශේ බලන්නකො. එතුමා පාර්ලිමේන්තු කතානායක පුටුවේ වාඩි වෙලා කිව්වා මම අගමැති පිළිගන්නෙත් නෑ කියලා. එතුමා විශ්වාසභංගය යෝජනාව එවෙලෙම ගෙනල්ලා එවෙලෙම ඡන්ද ගණන් කරන්න කියලා. මේ එජාපයේ වැඩපිළිවෙළ.

ඔබතුමාලා කිව්වනේ ආණ්ඩුව ගත්ත ගමන්ම අපි බහුතරය අරන් දෙනවා කියලා. 

අපිට බහුතරයක් නෑ. කවුරුත් එහෙම කියලත් නෑ. අපිටත් නෑ. එජාපයටත් නෑ. ඔය එජාපය බහුතරය කියලා පෙන්නන්නේ ආණ්ඩුව ඉවත් කරන එකට. එහෙම නැතුව කවුරුත් කියලා නෑ ආණ්ඩුවක් පිහිටුවගන්න බහුතරයක් තියෙනවා කියලා. ඒ නිසා කාටවත් බහුතරයක් නැහැ.

හැබැයි මේ අස්සෙනම් මන්ත්‍රීවරු හොඳ ගාණකට එහෙ මෙහෙ වෙනවා නේද?

මමනම් කියන්නේ මන්ත්‍රීවරු එහෙ මෙහෙ කරන්න නරකයි. එහෙ මෙහෙ වෙනවා මිසක්. මන්ත්‍රීවරු මුදලට නෙවේ හැමතිස්සෙම රට ගැන හිතලා තීන්දු ගන්න ඕන. රට ගැන තීන්දු ගන්නකොට මම කියන්නේ එහා මෙහා වුණොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතනදී දැක්කා සමහර අය මුදලට එහා මෙහා වෙනවා. ඒවා හරිම කැත විදිහට වුණේ. ඒවා අනුමත කරන්න බෑ. මට තියෙන ප්‍රශ්නෙ මුදල්වලට එහා මෙහා වුණ පලියට රටේ ප්‍රශ්න විසඳෙනවද? කිසිම දේකට පිළිතුරක් ලැබෙන්නේ නෑ. 

ඇයි මේ ප්‍රශ්න විසඳගන්න බැරි වුණේ?

විසඳන්න ගියා ජනාධිපතිවරයා. එතුමා පාර්ලිමේන්තුව විසුරවලා නිසි ලෙස ජනතා වරමින් ආණ්ඩුවක් පිහිටුවන්න හැදුවේ. ඒත් එජාපය මොකද කළේ? ඊට විරැද්ධව ගිහිල්ලා නඩු 13ක් දැම්මා. ඒ අය ඊට විරුද්ධ වුණේ ඒ අය දන්නවා සල්ලි දීලා 113 හැදුවත් ජනතාව ඉදිරියට ගිහිල්ලා කොච්චර සල්ලි දුන්නත් ඒ බලය ගන්න බෑ කියලා. 

මේ පාර වැඩේ ලේසි වෙන එකක් නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා ඉන්නවා.

ඔය සියලුදෙනාගෙම සටන් පාඨය වෙලා තියෙන්නේ ඒ අයගේ බැංකු ගිණුම්වල සල්ලි පොදි ගහන එක. ඒ වගේම වෙනම රටක් බිහිකරගන්න එක. දෙමළ ජාතික සන්ධානයේ එකම අරමුණ රට බෙදන එක. ඒකට තමයි මේ කට්ටිය එකතු වෙලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණටනම් එක මතයක් නෑ. අද තියෙන මතය නෙවෙයි හෙට තියෙන්නේ. එක පැත්තකින් ඩොලර් වැඩිපුර හම්බුණොත් ඔවුන් ඔවුන්ගේ මතය අද වෙනස් කරනවා. ඒක හොඳටම පේනවා ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් පෙරටුගාමී පක්ෂයේ ඉන්නේ. මේ ප්‍රතිපත්තිය නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇදුණු ස්වීප් එකක් වගේ. 

දැන් මේ වෙනකොට අගමැතිතුමාගේ වැය ශීර්ෂය කපලා අයින් කරලා. ඇමැති මන්ත්‍රීවරුන්ගේ වැය ශීර්ෂය ඉවත් කරලා. කොහොමද එහෙම ආණ්ඩුවක් කරගෙන යන්නේ?

ඇත්තටම ඒක වැරදි වැඩක්. කතානායකතුමාවත් දන්නේ නෑ. රජයට විතරයි මුදල් පනත් අවලංගු කිරීමේ පනත් ගේන්න පුළුවන්. විපක්ෂයට පුළුවන් රජයෙන් ගේන මුදල් යෝජනා පරාජය කරන්න. යෝජනා ගෙන එන්න විපක්ෂයට බෑ. මේ කරන්නේ විහිළුවක් සහ පාර්ලිමේන්තු රීතිවලට විරුද්ධ වැඩක්.

මේ අවුල ලිහාගන්න ඇත්තටම මොකද කරන්න ඕනේ?

කරන්න ඕන ලොකුම දේ තමයි ජනතාවගේ ඉදිරියට ගිහිල්ලා ජනතා මතය උරගා බලන එක. ඒක අධිකරණයට දැන් බාරයි. රටේ නීති පොතට අනුව රටට සෙතක් කරන්න පුළුවන්. මොන දේ කළත් හැමදේටම වඩා රටක් සෙතක් වෙන ජනතාවට සෙතක් වෙන දෙයක් කරන්න ඕනේ.

ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොකෙන්ද?

අතෙන්වත්, බුලත් කොලෙන්වත් නෙවෙයි අපි එන්නේ. එක්කො පොහොට්ටුවෙන්. නැත්නම් වෙනත් සන්ධානයකින්.

ඒ කියන්නේ දිලුම් අමුණගමගේ පක්ෂය ශ්‍රීලනිප නෙවෙයි?

නෑ. මම පොදු ජන පෙරමුණේ.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00