2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

යූ.එන්.පී. කොහිල කටු ඇනෙනවා කියලා ජනාධිපතිතුමා කිඹුලගේ ඇඟට පැන්නා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 129

ජනාධිපති වැඩකරන්නෙ එස්.බී. ටයි තිලංගටයි ඕන විදිහට
♦ අගමැති කවුද කියන එක ජනාධිපතිතුමාට තීරණය කරන්න බෑ
 චන්ද්‍රිකා නෝනා රාජ්‍ය දේපොළ ගෙඩි පිටින් වික්කා: එදා මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවෙන් ගියාද!
 ඡන්දෙකට අපි සූදානම්: හැබැයි නීති විරෝධී ආණ්ඩුවක් යටතේ නොවේ
 මහින්ද මහත්තයාම කවදහරි මෛත්‍රීපාල මහත්තයාට පාඩම කියාදේවි

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක

පාර්ලිමේන්තුවේ මෙවර ඇතිවෙලා තියෙන්නේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔහුට 113ක් ඉන්නවා කියලා. එජාපය නියෝජනය කරන ඔබලා කියනවා ඔබලට 113ක් ඉන්නවා කියලා. ඒත් ජනතාව වෙච්ච අපට පේන්නේ පාර්ලිමේන්තුවේ මරාගන්න එක විතරයි?

ඇත්තටම මෙතැන විසංවාදයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන්නේ නෑනේ. පාර්ලිමේන්තු සැසිය කල්දාලා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න උත්සාහ ගද්දි විසුරුවන්න ඕනේ නෑනේ. පාර්ලිමේන්තු සැසිය පටන් ගත්තට පස්සේ කථානායකට පහර දීලා මිරිස් කුඩු ගහගන්න ඕනෙත් නෑනේ.

හැබැයි මේ හැමදේකටම හේතුව පාර්ලිමේන්තුවේ නිල ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නයක් කියලා නේද මහින්ද මහත්තයාගේ පැත්තේ කට්ටිය කියන්නේ?

පාර්ලිමේන්තු මහ ලේකම් හරහා නිත්‍යනුකූලව පළකරන දේ තමයි හැන්සාඩ් වාර්තාව. ඒ හැන්සාඩ් වාර්තාව මේ වෙනකොට මුද්‍රණය කරලා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 14, 15 සහ 19 වෙච්ච සියලු දේවල් හැන්සාඩ් එකේ සඳහන් වෙලා තියෙනවා. ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු බහුතර කැමැත්ත මත විශ්වාසභංගයක් ගෙනැල්ලා ඒක බහුතර කැමැත්තෙන් සම්මත වූ බව. ඒකට 122ක් පක්ෂව සිටි බවත් එයට කිසිවකු විරුද්ධ නොවූ බවත් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. සියලු දේ හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. අපි කිව්වා මේවා වැරදි නම් ඡන්දයකට යමු කියලා. ජනාධිපතිවරයා ඉදිරියෙත් කිව්වා. අපි ලෑස්තියි. එයාලට යන්න අවස්ථාව තියෙනවා.

ආණ්ඩු පක්ෂය වෙච්ච මහින්ද මහත්තයාගේ පැත්තේ කට්ටිය කියන්නේ කථානායකවරයා ඉතාම පක්ෂග්‍රාහී ලෙස පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු කරනවා කියලා. ඒ චෝදනාව ගැනත් යම් සාධාරණ සැකයක් එන්න පුළුවන් නේද කාට වුණත්?

කථානායකගේ පක්ෂග්‍රාහී බව තියෙන්නේ කාටද? තියෙන්නේ බහුතරයට. දැන් බලන්න කථානායකවරයා පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිගත්තා. මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ අගමැති ආසනයත් පැනෙව්වා. ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ සුදුසු පැත්තත් දුන්නා. සභානායක හැටියට දිනේෂ් ගුණවර්ධනත් ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස එස්.බී. දිසානායකත් පිළිගත්තා. කාර්යාලත් දුන්නා. දැන් එතකොට කථානායක පක්ෂග්‍රාහීද?

නෑ මෙතැන තියෙන්නේ එතැනින් පස්සේ සිදුවුණු ක්‍රියාදාමය පක්ෂග්‍රාහී කියලා?

පාර්ලිමේන්තුව කැඳවන්න ළං වෙනකොට වාර අවසාන කළා. ජනාධිපතිවරයා හමුවෙලා කථානායකවරයා ඉල්ලා සිටියා පසුවැනිදා පාර්ලිමේන්තුව කැඳවමු කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයාට සහය දක්වන අයට කථානායකතුමා එන්න කිව්වා. ආවේ 34 දෙනයි. ඊට පස්සේ ඒකට විරුද්ධ අයට එන්න කිව්වා. 117ක් ආවා. එතකොට කථානායකවරයා පිළිගන්නේ කාවද? කථානායකවරයා ඊට පස්සේ කිව්වා ජනාධිපතිවරයාට මට 117ක් දැනුම්දීලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ජනාධිපති 117 කතාව ආපු ගමන් පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඊට පස්සේ හැම පැත්තෙන්ම පීඩනය ආපු නිසයි පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවන්න තීරණය කළේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 14 කැඳවන්න තියෙද්දී ඔබලා දිගින් දිගටම ඉල්ලුවානේ ඊට කළින් කැඳවන්න කියලා?

අපි ඒක දැනගත්තා. ජනාධිපතිවරයා 117 කතාව දැනගත්තට පස්සේ 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවලා එදින රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න යනවා කියලා. ඒකට බයවෙලා පාර්ලිමේන්තුව විසිරෙව්වා. එතකොට ඒ කට්ටිය මොකද කිව්වේ? ඒක නිත්‍යනුකූලයි කිව්වා. හැබැයි උසාවියෙන් වාරණයක් දැම්මා. අද පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ මහින්දගෙවත් මෛත්‍රීගෙවත් ප්‍රජාතන්ත්‍රවාදය නිසා නෙමෙයි. මේ රටේ උත්තරීතර අධිකරණය නිසා. ඊට පස්සේ කථානායකවරයා විසින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැසට් කරලා තිබුණා 14 වැනිදා කැඳවන්න කියලා. ඒ ගැසට් එක සක්‍රීය කරලා නැවත පාර්ලිමේන්තුව කැඳෙව්වා. ඒ දේ කළේ කථානායකගේ වුවමනාවට නෙමේ. නිසි ක්‍රමවේදයට අනුව. දැන් කථානායකවරයා පක්ෂග්‍රාහීද?

පාර්ලිමේන්තුව කැඳෙව්ව එක හරි. හැබැයි අභ්‍යන්තරයේ වෙච්ච කාරණය අවුල් සහගතයි නේද?

නෑනේ. 14ත් ඡන්දයක් තිබ්බා 15ත් ඡන්දයක් තිබ්බා. 16ත් ඡන්දයක් තිබ්බා. ඒ තුනෙන්ම මහින්ද පරාදයි. අපි ඊට පස්සේ ඉල්ලා හිටියා පුළුවන් නම් ඡන්දයක් තියලා ඒ ඡන්ද තුනම පරාජය කරන්න කියලා. ඒත් කරන්න බෑ. ඒ නිසා දැන් මොකද කරන්නේ නීත්‍යානුකූල නොවන විදිහට ආණ්ඩුවක් පවත්වාගෙන යනවා.

ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ කට්ටියම එකතුවෙලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත්. නැවත බලය සහිත ආණ්ඩුවක් පිහිටුව ගන්න පුළුවන්නේ කාට වුණත්?

අපිත් කැමැතියි ඡන්දයකට යන්න. හැබැයි කාරණා තුනක් නිසා අපි කැමැති නෑ. එක අපි ඡන්දයකට යන්න ලෑස්ති නෑ නීතිවිරෝධී ආණ්ඩුවක් යටතේ. දෙක රාජ්‍ය දේපොළ ඉතාමත් අශීලාචාර ලෙස අපහරණය කරන්න සූදානම් කියලා මේ අය පෙන්නුවා. සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරු සුළු සේවකයෝ දම්මලා ගහලා එලෙව්වා. මේක ලතින් අමෙරිකාවේ වගේ ජුන්ටා පාලනයක්. තුන්වැනි කාරණය පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගණන් කරනකොට මිරිස් කුඩු ගහලා පොත්වලින් ගහලා දෙසීය විසිපහක ඡන්ද අයිතිය අහිමි කරනකොට මිලියන 15ක ජනතාවගේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදීව භාවිතා කරන්න දෙයි කියලා විශ්වාස කරන්නේ කොහොමද අපි?

ඔය ටික නිවැරදි කරනවා නම් ඔබලා ඡන්දයකට ලෑස්තියි?

නෑ. වහාම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාවා දුන්න ජනවරමට ජනාධිපතිවරණයක් කැඳවිය යුතුයි. ඒ වගේම ඔක්තෝබර් 26 වැනිදාට කළින් තිබ්බ වාතාවරණයට රට නැවත පත්කළ යුතුයි. 

ඒ කියන්නේ ඔබලට බලය ආවොත් අනිවාර්යයෙන්ම ඡන්දයකට යනවා?

පැහැදිලිවම. අපි ඡන්දයකට යනවා. අපි ඡන්ද නිවැරදිව කරපු මිනිස්සු. අපි එහෙම කරලා පෙන්නුවා.

ඔබ කියන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කලින් ඕනේ කියලා?

පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ලක්ෂ 62ක ජනවරම පාවා දුන්නා. ඔහුට දැන් ජනවරමක් නෑ. ඒ ජනවරම වෙනුවෙන් නැවත ජනාධිපතිවරණයකට යා යුතුයි ඉක්මණින්ම. අපි ඉල්ලන්නේ ඒ ජනාධිපතිවරණය. ඊට පස්සේ මහ මැතිවරණයකට යමු.

ඔබලා ඇතුළු එජාපයේ බහුතරයක් පහර පිට පහර දෙන්නේ රාජපක්ෂවරුන්ගේ මේ බලය ඩැහැගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ කාරණයේදී රාජපක්ෂවරු බලය බලෙන් ලබාගත්තේ නෑ. ලබාදුන්නේ ජනාධිපතිවරයා. ඇයි මේ ජනාධිපතිව රැකලා රාජපක්ෂවරුන්ට විතරක් ගහන්නේ?

මෙහෙමයි. ජනාධිපතිට තියෙනවා සිහිනයක්. ඒ තමයි නැවත ජනාධිපති වීම. ඒ නිසයි ඔහු මහින්ද රාජපක්ෂට ළං වුණේ. අර කොහිල කටු ඇනෙනවා කියලා යූ.ඇන්.පී.යේ මැදමුලන හැලි කිඹුලගෙ ඇඟටම පැන්නා. එයාට අවුරුදු 4ක් ගියා එයා හිටිය පැත්ත පාවා දෙන්න. හැබැයි එයා දවසෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා පොහොට්ටු බලය ඇල්ලුවා. ඔතන සමාජ බලවේගය මහින්ද රාජපක්ෂ. මෛත්‍රීපාල මහත්තයාට කිසිම ජනවරමක් නැතුව නටන නාඩගමක් මේක. එයාට මහින්ද රාජපක්ෂ මහත්තයාම පාඩම ඉදිරියේදී කියාදෙයි.

මෛත්‍රීපාල මහත්තයා අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහත්තයාට දුන්නායින් පස්සේ කිව්වා ඔහු මේ තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අදූරදර්ශී නායකත්වය නිසයි කියලා. ඉතින් එහෙම නම් එතුමාගේ පැත්තෙන් නිවැරදියි නේද?

මම අහන්නේ පළමුව කියන්න ජනාධිපතිවරයා ප්‍රතිපත්තිගරුකද කියලා? මෛත්‍රීපාල මහත්තයා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටිය ඇමැතිවරයෙක්. චන්ද්‍රිකා නෝනා රාජ්‍ය දේපළ ගෙඩි පිටින් වික්කේ. එතකොට ආණ්ඩුවෙන් එන්න හිතුවද? මේ ආණ්ඩුවේ මොකද වුණේ? වරාය චීනෙට ලබාදීමේ කතාව පිටුපස්සේ හිටියේ මහින්ද සමරසිංහ. මහින්ද සමරසිංහ කාගෙද? එතුමා එතුමගේ පක්ෂයේ. එතුමට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම් එළියේ තැන් තැන්වල කතා නොකර එළිපිට අපිත් එක්ක කතා කරන්න තිබුණා.

හැබැයි එතුමා කියන්නේ බැඳුම්කර සිද්ධියෙන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිරූපය විනාශ වුණා කියලා?

බැඳුම්කරය පිළිබඳව අපිත් පිළිගන්නවා ඒක වැරැද්දක් කියලා. හැබැයි ඒ සම්බන්ධව ආණ්ඩුව පරීක්ෂණ කළා. අපි පිළිගන්නවා ඒ අයට දඬුවම් දෙන්න ඕන. නිකම් හරි මහින්ද රාජපක්ෂ හිටියා නම් ඔය සම්බන්ධව ඔය වගේ පරීක්ෂණ කරයිද? එහෙනම් මහින්ද රාජපක්ෂලාගේ දූෂණ වංචාවලට ඔයිට කලින් දඬුවම් දෙන්න එපැයි.

ඔබ කතා කරන විදිහෙන් පේනවා 2014 නොවැම්බර් 21 වැනිදා පොදු අපේක්ෂකයෙක් ගෙනැල්ලා කරගත්ත දෙයින් විශාල වැරැද්දක් කරගත්තා වගේ නේද?

මෙහෙමයි. පුද්ගලයෝ මත සීමාවෙලා අපි කොයිවෙලාවේවත් වැඩකළේ නෑ. අපි වැඩකළේ ප්‍රතිපත්ති මත. එතුමා නියෝජනය කළ සමාජ බලවේග පාවාදුන්නා විතරක් නෙමේ. එතුමා මේ හරහා පෞද්ගලික ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා නම් එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නෑ. ඔහුට මහින්ද රාජපක්ෂමයි කවදා හරි පාඩමක් කියලා දෙන්නේ. අපි නෙමේ. අපි එතුමාත් එක්ක තරහා නෑ.

ඔබලා කියනවා 113ක් ඔබලාට ඉන්නවා කියලා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණයි ටී.එන්.ඒ. එකයි ඉන්නවා. හැබැයි ඔවුන් දෙගොල්ලම යූ. ඇන් පියෙන් ආණ්ඩුවක් පිහිටවනව නම් ඔවුන්ගේ රජයට සහය දෙන්නෙ නැහැයි කියනව, දැන් එතකොට කොහොමද ආණ්ඩුවක් කරගෙන යන්නේ?

මෙහෙමයි. ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අපිට 110ක් ඉන්නවා. අපි ජනාධිපතිතුමාට කියන්නේ ඒකට අපිට ඉඩදෙන්න කියලා. අපි ඉදිරිපත් කරන පුද්ගලයාට අගමැති ධුරය ලබාදෙන්න.

මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව නීතිවිරෝධී ආණ්ඩුවක් හැටියට නම් කළාට ඔබලා කවදාවත් ඒකට විරුද්ධව අධිකරණයට ගියේ නෑනේ?

අධිකරණයට යන්න දෙයක් නෑනේ. මේක පාර්ලිමේන්තුවෙන් විසඳගන්න ඕන දෙයක්.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කොහොමද එහෙනම් නීති විරෝධී වෙන්නේ?

ඒ ආණ්ඩුව නීති විරෝධී වෙන්නේ ක්‍රම තුනකින්. එක්කෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරදින්න ඕනේ. නැත්නම් මුදල් පනතක් පරදින්න ඕන. නැත්නම් විශ්වාසභංගෙන් පරදින්න ඕන. දැන් එතුමා විශ්වාසභංගෙන් පැරදිලා. ඒක අධිකරණයෙන් කරපු දෙයක් නෙමෙයි ඒක අපි කරපු දෙයක්.

පසුගිය දවසක ජනාධිපතිවරයා සර්ව පාක්ෂික කමිටුව රැස්කරපු වෙලාවේ කිව්වා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ස්ථාවර නියෝග අනුව සිදුකරන්න කියලා?

ස්ථාවර නියෝග අනුව තමයි සියල්ල සිදුකරන්නේ. කවුරු හරි තක්කඩි ටිකක් වැරුදි වාර්තාවක් එතුමාට ලබාදීලා.

ඔබලා ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධානියෝ. ඇයි මේ ප්‍රශ්නේ ජනාධිපතිවරයා එක්ක වේලසනින් විසඳාගත්තේ නැත්තේ?

අපි අනන්තවත් කතා කරලා තිබුණා. මේවා මේ දේශපාලන නොවන පෞද්ගලික අඬෝවැඩියා. දේශපාලනයට එනවා නම් පෞද්ගලික ජීවිතයේ අරමුණු දේශපාලනයට තියාගන්න නරකයි. පෞද්ගලික තීන්දු තීරණ ගන්න නරකයි.

ඔබ කියන්නේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ පෞද්ගලික න්‍යායයක් කියලද?

පැහැදිලිවම. එතුමා සම්පූර්ණයෙන්ම වැඩකරන්නේ ව්‍යවස්ථාවට පිටින්. එතුමා වැඩකරන්නේ එස්.බී. දිසානායකටයි, සුමතිපාලටයි ඕනා විදිහට.

අපි දැක්කා මේ ප්‍රශ්නෙදි ඔබ එජාපයේ නායකයාට සමීපව ඉතා සටන්කාමීව කටයුතු කරනවා. ඒ කියන්නේ ඔබත් දැන් එජාපයට ටික ටික ළං වෙනවාද?

නෑ... නෑ... අපි එජාපයට ඇතුළු වෙනවද නොවෙනවද කියන එක නෙවෙයි එතන ප්‍රශ්නය. මෙතන තිබ්බා පොඩි අවතක්සේරුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1994 දී ගාමිණී දිසානායක ආණ්ඩුවක් පිහිටුවනවා කියලා චන්ද්‍රිකාට අරලියගහ මන්දිරය දීලා එළියට බැහැලා ගියා සද්ද නැතුවම. 2001 ආණ්ඩුවේදීත් චන්ද්‍රිකා ඇමැතිකම් ගත්තා කියලා සද්ද නොකර ගෙදර ගියා. 2005 දීත් 105ක් ඉඳලත් බහුතරයක් නැති බව පෙනි පෙනී එතුමා ගෙදර ගියා. ඉතින් හිතුවා ගොඩක් අය මේ පාරත් රනිල් සද්ද නොකර ගෙදර යයි කියලා. දෙක එයාලා හිතුවා එක රැයින් බැසිල්ගේ මන්තරය වැඩකරලා යූඇන්පී අය එහා පැත්තට යයි කියලා. මේ ඔක්කොම වැරදිලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදයයි නිදහසයි වෙනුවෙන් සටන් කළේ රනිල් කේන්ද්‍ර කරගෙන නෙමෙයි. අපි ඊට කලින් යුද්දෙදිත් ඒ සටන කළා. ත්‍රස්තවාදීන්ට කප්පම් දිදී ඉන්න කොට මහින්ද රාජපක්ෂව යුද්ධෙට තල්ලු කළේ අපි.

අපි දැක්කා ඔබලා විදේශීය මාධ්‍ය සහ තානාපතිලත් සමඟ ඉතාමත් තදින් මේ සටන අරන් යනවා. ඇයි මේ දේශීය මාධ්‍යවත් දේශීය සටන්කරුවොවත් හරියන්නේ නැද්ද?

දේශීය මාධ්‍ය අද මොකද කරන්නේ? ඔය දේශීය මාධ්‍ය පහුගිය කාලේ අයථා ලෙස මුදල් හම්බකරපු ආයතන. ඒ අය ඒ හොරණෑව ගහගෙන යන්න ඕන. අද දේශීය මාධ්‍ය කියන්නේ සමාජ වෙබ් අඩවි. හැම පත්තරයකටම වඩා බලලා තියෙනවා. අද ඒ හරහා තමයි අපේ ජනතාවත් යන්නේ. මොකක්ද ඔය විදේශීය කතාව. මහින්ද රාජපක්ෂ හම්බ වුණේ නැද්ද ඔය විදේශීය කට්ටියව. මහින්දගේ සහෝදරයෝ යැංකි පුරවැසියෝ නෙමේද? ඔය සටන් කරන බොරු දේශප්‍රේමීන්ගේ පවුලේ අය ඔක්කොම ඉන්නේ පිටරටවල. විදේශීය රටවලට කරන්න කාර්ය භාරයක් නෑ. තියෙන්නේ මේ රටේ ජනතාවට කරන්න තියෙන කාර්යභාරයක්.

මේ සියලු ප්‍රශ්නවලදී ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරනවා අග්‍රාමාත්‍ය ධුරය මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහට දෙන්නේ නෑ කියලා?

ඒක එතුමට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එතුමාගේ පෞද්ගලික අදහස්වලට වැඩකරන්න බෑ. එතුමා වැඩකරන්න ඕන ව්‍යවස්ථාවට අනුව. කැමැති වුණත් අකැමැති වුණත් බහුතරය සහිත අගමැතිත් එක්කයි වැඩ කරන්න ඕන.

එතුමා කියනවානේ වෙන නායකයෙක් අරන් එන්න එජාපයෙන් ඔහුට දෙන්නම් කියලා?

ඒක ඔහුට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕන අපි. එහෙම බලයක් ඔහුට නෑ.

අපි දැක්කා මේ කාරණයේදී මන්ත්‍රීවරු කිසිම පදනමක් නැතිව පැත්ත මාරුකරනවා. මොකක්ද මේ සංස්කෘතිය?

පිල්මාරුව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නැවැත්තුවා. හැබැයි මේක මහා අවුල් ජාලාවක් බවට පත් කළේ සරත් එන්. සිල්වා මහත්තයා දුන්න තීන්දුවක්.

පාර්ලිමේන්තුවේ සිද්ධියේදී සමහර මන්ත්‍රීවරු හැසිරුනේ ගමේ ගොඩේ චණ්ඩි වගේ. කොහොමද මේ අය එක්ක පාර්ලිමේන්තුවක් කරගෙන යන්නේ?

මෙහෙමනේ ජනතාවනේ කට්ටිය පත්කළේ. ජනතාව දැක්කනේ කවුද ඒ අය මෙහෙයවූවේ කියලා. කොයි පැත්තේ වුණත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ ඒ අයට දඬුවම් කරන්න ඕන. එදා කරන්න හැදුවේ අග්‍රාමාත්‍ය ධුරයත් බලෙන් පැහැර ගත්ත වගේ කථානායක ධුරයක් බලෙන් පැහැරගන්න. අනිත් ඒවා ද්විතික සිදුවීම්. මෛත්‍රී මහින්ද දිනේශ් යන අයගේ හැසිරීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. දිනේශ් ගුණවර්ධන, ඉස්සෙල්ලාම කථානායකවරයාට ගහන්න ගියේ ඔහු. ඔහු වැඩිහිටියෙක් හැටියට පාර්ලිමේන්තුවට ආදර්ශයක් වෙන්න ඕන.

මේ මැතිවරණවලින් තත්ත්වය වෙනස් කරන්න පුළුවන්ද?

බෑ. එජාපය වගේම ශ්‍රීලනිපයේත් ප්‍රතිපත්තිමය වෙනසක් වෙන්න ඕන. ආර්ථිකය මෙහෙයවන්න වෘත්තීයවේදී කවුන්සිලයක් පිහිටුවන්න ඕන. හැමෝම සිහින මාලිගා අතහරින්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ බෝල්සෙවික් විප්ලවය, උතුරේ පක්ෂවල ඊළාම් සිහින අත්හැරලා සියලු දෙනා එකතුවෙලා මේ රට හදන්න ඕන. වෘත්තීයවේදීන් සම්බන්ධ කරගන්න ඕන.

ඔබ කියනවා වෘත්තීයවේදීන් කතාවක්. අපි දැක්කා එකතුවෙලා කරපු ආණ්ඩු ඇතුළේත් වෘත්තීයවේදීන් ඉඳලත් ආණ්ඩුව පාලනය කළේ වෙනත් කල්ලි කණ්ඩායම්. වෘත්තීයවේදීන් ආවා කියලා වැඩක් නෑ නේද?

ඒක ඇත්ත. අසූව දශකයේ ඉඳලා තුන් හතර දෙනෙක් නිසා මේ ජනවරම විකෘති වුණා. ඒ නිසා මැතිවරණ පරාජය වුණා. නැවත ඒ වගේ තත්ත්වයක් උදාවෙන්නෙ නෑ. ජනතාවට අපකීර්තියක් ගෙනැත් දුන්න සියලු දෙනා ඊළඟ මැතිවරණයේදී පරාජය කරන්න ඕන. 

ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00