2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බොරු ආණ්ඩුව පන්නනවා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

  • විදේශීය තානාපතිවරු ආණ්ඩුව පිළිගන්නේ නැහැ
  • මෛත්‍රී - ගෝඨා ඝාතන කතාව බොරුවක්
  • මේ වැඩේට ජ.වි.පෙත්, දෙමළ සන්ධානයත් විරුද්ධයි
  • ව්‍යවස්ථාවට, නීතියට පටහැනිවයි ආණ්ඩුව හැදුවේ
  • ආණ්ඩුව පරද්දන්න අපි තීන්දු කළා
  • අද ජනපති ඒකාධිපති වෙලා

දැන් අලුත් පාර්ලිමේන්තුව පත්වෙලා සතියකුත් ගතවෙලා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අලුත් ආණ්ඩුව කියන්නේ නිත්‍යනුකූල ආණ්ඩුවක් නෙවෙයිනේ. මේකේ නිත්‍යනුකූල අගමැති කෙනෙකුත් නෑ. මේ රටේ නිත්‍යනුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. නිත්‍යනුකූල ආණ්ඩුව අපේ. ඒ නිත්‍යනුකූල නොවන ආණ්ඩුවේ නිත්‍යනුකූල නොවන බව ඔප්පු කරන්න අපි කටයුතු කරනවා. 

ඔබ නිත්‍යනුකූල නොවන බව කිව්වට කතානායකවරයා ප්‍රකාශ කරලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ අග්‍රාමාත්‍යවරයාට හිමි නිසි තැන මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දෙනවා කියලා. 

අපි මන්ත්‍රීවරු 119 දෙනෙක් අත්සන් කරලා කතා නායකවරයාට ලිපියක් බාර දුන්නා මේ නිත්‍යනුකූල නොවන ආණ්ඩුව අපි පිළිගන්නේ නෑ කියලා.

මේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බව කිව්වට ජනාධිපතිවරයා පවසනවා මේ සියලු පත්කිරීම් නීතියට සහ නීති උපදෙස්වලට අනුව සිදු කළ දේවල් කියලා. ඔහු තානාපතිවරුන්ටත් කියලා තියෙනවා.

විදේශ තානාපතිවරු පිළිඅරගෙන නෑ මේක නිත්‍යනුකූල ආණ්ඩුවක් කියලා. ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අග්‍රාමාත්‍යවරයාට හිමිව තිබියදී ඔහුව ඉවත් කරලා වෙන කෙනෙක් අග්‍රාමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා පත් කරන්න. ජනාධිපතිවරයා අද ඒකාධිපතියෙක් හැටියට වියරු වැටිලයි කටයුතු කරන්නේ. 

දැන් මේ දීගෙ කැඩුණට පස්සේ එක්සත් ජාතික පක්ෂය කියනවා ජනාධිපතිවරයා වැරදියි කියලා. ජනාධිපතිවරයා කියනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කටයුතු කළ ආකාරය වැරදියි කියලා. දැන්නේ දෙගොල්ලන්ගේ වැරදි එළිවෙන්නේ. 

මෙතන ජනාධිපතිවරයා පැහැදිලිව කියන දේ තමයි ඔහුව ඝාතනය කරන්න පුද්ගලයෙක් ආවා. ඒ ඝාතන කුමන්ත්‍රණය නිසා තමයි මේ ආණ්ඩුව මාරු කළේ කියලා. හැබැයි මම කියනවා නීතිය හා සාමය භාර හිටපු අමාත්‍යවරයා හැටියට නාමල් කුමාර සහ නාලක සිල්වා අතර හුවමාරු හඬපටවල ජනාධිපතිවරයා ඝාතනයක් සම්බන්ධව කිසිඳු වචනයක් නෑ. 

ජනාධිපතිවරයා පසුගිය දවසක ප්‍රකාශ කරලා තියෙනවා මේ ඝාතන කුමන්ත්‍රණය පිටුපස විශාල සැඟවුණු කතාවක් තියෙනවා හැබැයි මේ පරීක්ෂණ පොලිසිය විසින් මන්දගාමී ලෙස සිදුකරලා යටගහන්න උත්සාහ කළා කියලා. 

නෑ. මම කියනවා ඒ පරීක්ෂණ කටයුතු ඉතාම කඩිනමින් ඉතාම නිවැරදි ලෙස සිදු කළා. අසූ ගාණක සාක්ෂි සටහන් කළා. ඒ හඬපට රහස් පොලිසිය හරහා රස පරීක්ෂකට ලබා දුන්නා. ඒ වගේම ඒ හඬ පරීක්ෂා කරලා ඒවා සමාන බව කියලා තියෙනවා. හැබැයි ඒ කිසිම හඬපටයක නෑ ජනාධිපති ඝාතනයක් සම්බන්ධව. නාමල් කුමාර එළියේ කියන දේ විතරයි තියෙන්නේ ඔය ජනපති ඝාතනයත්. ඊට පස්සේ මේ හැමදේම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසලා තමයි මේ පරීක්ෂණ කටයුතු කළේ.

ඔබ කියනවා මේක ඝාතන කුමන්ත්‍රණයක් නෙවෙයි කියලා. හැබැයි ජනපතිවරයාත් ආණ්ඩුවේ අයත් කියනවා මේක ජනපති හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් කියලා. මේකට කැබිනට් මණ්ඩලයේ සමහර අයත් සම්බන්ධයි කියලා කනින් කොනින් කියනවා. ඉතින් එහෙම තියෙද්දි කොහොමද එහෙම නෑ කියන්නේ?

නාමල් කුමාර කියන මනුස්සයා ඔය හඬපටය සම්බන්ධව පැමිණිලි කළා. හැබැයි ඒ දුන්න හඬපටවල කොහෙවත් ඝාතන කුමන්ත්‍රණයක් ගැන සටහන් වෙලා නෑ. අර කතාවක් තියෙනවා කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තියෙනවා කියලා. ජනාධිපතිවරයාත් සිදුකරපු දේ වහගන්න මේ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කතාවක් කියනවා. මෙහි ඝාතන කුමන්ත්‍රණයක් ගැන සටහන් වී නෑ කොහෙවත්. 

ඔබට වගකීමෙන් කියන්න පුළුවන්ද හිටපු පොලිසිය භාර ඇමැතිවරයා හැටියට මෙතන ඝාතන කුමන්ත්‍රණයක් නෑ කියලා? 

මම ඕන කෙනෙක් එක්ක අභියෝග කරනවා. ඒ හඬපටත් එක්ක මම කතා කරන්න ලෑස්තියි මෙතන ඒ කිසිදු කුමන්ත්‍රණයක් නෑ කියලා. 

දැන් මේ ආණ්ඩු පෙරළියත් එක්ක ඔබලා පළවෙනි දවසෙම කිව්වා අපිට තමයි බහුතරය තියෙන්නේ අපි ඒක පෙන්නනවා කියලා. අද ඇයි ඒ කියපු අය අතරේ හිටිය සමහර අය පැදුරටත් නොකියා මහින්ද රාජපක්ෂ ගාවට ගියා. දැන් කොහොමද ඔය බහුතරය ගැන විශ්වාසයක් තියන්නේ? 

මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට දෙසැරෙකට කට්ටිය ගිහිල්ලා තියෙනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නෑ මේ වගේ වෙලාවට සමහර අය එහාට මෙහාට යනවා. මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ එහෙ අය අපේ පැත්තට ආවා අපේ අය ඒ පැත්තට ගියා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මුදලට විකිණීම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වෙනකොට අපි පෙන්නලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතර බලය තියෙනවා කියලා. අපි පාර්ලිමේන්තුව රැස් වෙලා හැමදෙනා එකඟතාවයකට ආවා මේ පවුල් වාදයෙන් ඒකාධිපති ස්වරෑපයෙන් ඉන්න මේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් කියලා. ඒක පරද්දන්නත් අපි තීන්දු කළා. 

දැන් ඔබලා කියනවා බහුතරය පෙන්නලා බලය ගන්නවා කියලා. ඔය කියන හැටියට ගන්නේ කොහොමද බහුතරයක් පෙන්නලා? 

ඒකනේ ජනාධිපතිවරයාට බහුතරය නැති නිසා පාර්ලිමේන්තුව කල් තිබ්බේ. ව්‍යවස්ථාවේ තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කණ්ඩායමට අගමැති ධූරය පිරිනමන්න ඕනෙ කියලා. සුළුතරයක් ඉන්න කෙනෙක් කොහොමද පත්කරන්නේ? මේකෙන් පේන්නේ ජනාධිපතිවරයා වියරුවෙන් වැඩ කරන බවක්. ව්‍යවස්ථාවට විරැද්ධව, නීතියට විරුද්ධව, ජනතාවට විරුද්ධව තමයි මේ ජනාධිපතිවරයා වැඩ කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන ජනාධිපතිවරයෙක් තමයි අද රටේ ඉන්නේ. 

බහුතරය පෙන්නලා බලය ගන්න බෑ නේද? ඊට කළින් පාර්ලිමේන්තුවේදී නව අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ඕනෙ නේද? ඒකෙන් පරාජය කරලා නේද බලය ගන්න ඕනේ? 

අපි ඉස්සෙල්ලම කරන්නේ පාර්ලිමේන්තුවට බහුතරය පෙන්නන එක. ඒ පෙන්නලා අපි කියනවා අපිට බහුතරය ඉන්න නිසා ආණ්ඩු බලය දෙන්න කියලා. 

දැන් ඔබලා බහුතරය ගැන කතා කරනවා. ඒත් 2015 ජනවරා 09 වැනිදා සවස මන්ත්‍රීවරු 46ක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනමද්දී ඔය කියන කතාව කිව්වේ නෑ.

එදා ජනාධිපතිවරණයේදී සමස්ත ආණ්ඩුවම ප්‍රතික්ෂේප කළා. එහෙත් අද එවැනි දෙයක් වෙලා නෑ. එදා ජනාධිපතිගේ තීන්දුවක් අනුව ආණ්ඩුව ඉවත් කළා. නව අගමැති කෙනෙක් පත් කළා. අද මැතිවරණයකින් එහෙම විරෝධතාවයක් පෙන්නලා නෑ.මෙය ජනාධිපතිගේ හිතුමතේට කළ දෙයක්. එදා ජනතාවගේ තීන්දු මත තමයි එහෙම දෙයක් කළේ. 

ඔබලාට ඉන්න බහුතරය අනුව කීදෙනෙක් ඉන්නවද?

අද වෙනකොට 119ක් මේකට විරුද්ධව එකතු වෙලා ඉන්නවා.

අද ආපු තොරතුරක් තමයි ඔබලත් එක්ක ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එකට වාඩි වුණා කියලා. ඒ මේ නව ආණ්ඩුවට එරෙහිවද? නැත්නම් සාකච්ඡා විතරද? 

ඒ අයත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට විරැද්ධයි කියලා ඊට විරැද්ධව හිටගන්න සූදානමින් ඉන්නේ. ඒ අයත් පෙනී ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. 

ඒ කියන්නේ නව අගමැතිවරයාටයි, ආණ්ඩුවටයි එරෙහිව කරන ඕනෑම ඡන්ද විමසීමකදී ඒ අය ඡන්දය භාවිතා කරනවා කියන එකද?

අනිවාර්යයෙන්. ඒ අය ප්‍රසිද්ධියේ කිව්වා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට ඒ අය විරුද්ධ බවත්, එයට විරුද්ධව පෙනී ඉන්න බවත්. ඒ අනුව එයට විරුද්ධව යෝජනාවකුත් සම්මත කරගත්තා. 

නව අගමැතිතුමා කිව්වා මම ජනාධිපතිවරණයෙන් පැරදිලා හිනාවෙලා ගෙදර යනකොට මිනිස්සු ඇඬුවා කියලා. හැබැයි හිටපු අගමැතිතුමා ඇතුළේ අඬනකොට මිනිස්සු හිනාවෙනවා කියලා. දැන් මේ අරලියගහ මන්දිරේ අල්ලගෙන මොකද්ද කරන්න හදන්නේ?

නෑ. මෙතන තියෙන්නේ මේ අගමැතිවරයාව අයින් කරන්න බෑ ජනාධිපතිවරයාට හිතුමතේට. එතකොට ඒ අගමැතිවරයාට තවදුරටත් අරලිය මන්දිරේ නැවතිලා ඉන්න පුළුවන්. එයට නීතියෙන් ප්‍රශ්නයක් නෑ. මම ජනාධිපතිතුමාට කියනවා විහිළු වැඩ නොකර නිත්‍යනුකූලව වැඩ කරන්න කියලා. ජනාධිපතිවරයා මේ වෙනකොට ඔහුට ඡන්දෙ දුන්න ලක්ෂ 62ක ජනතාවට විරැද්ධ වෙලා තියෙනවා. ජන සම්මතවාදයටත් විරැද්ධ වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරැද්ධ වෙලා තියෙනවා. අපිට හිතාගන්න බෑ මොන විදිහට වැඩ කරනවද කියලා. 

ඔබ මේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම නායකතුමා එක්කත් ඉන්නවා. පසුගිය කාලේ ජනාධිපතිවරයා අගමැතිවරයාට මෙවැනි දෙයක් සිදු කරයි කියලා ඉඟියක් හෝ අවදානමක් පෙන්නුවේ නැද්ද?

නෑ ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාවත්, රටේ අගමැතිවරයාවත් තීරණය කරන්න බැහැනේ ජනාධිපතිවරයාට. අගමැතිවරයා තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපි. 

ජනාධිපතිවරයා ජාතිය අමතමින් කිව්වේ අගමැතිවරයාට අවදානම ගැන මුල සිටම දැනුම් දුන් බව. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම සම්බන්ධව ජනාධිපතිවරයා විවේචනය කළා. ඉතින් මේවා මෙහෙම කියද්දී මිනිස්සුන්ට යම්කිසි සාධාරණයක් හැටියට එනවා නේද මේ සිද්ධිය?

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා. පරීක්ෂණ සිදු කළා. මේ සියලු දේවල් සිදුකළේ ජනාධිපතිවරයා පැහැදිලිවම පරීක්ෂණයක් වගේම තව පැත්තකින් එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරන්න. එතුමා එහෙම කරන්න උවමනා නෑ. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙනවට විරුද්ධ නෑ. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජාතික පක්ෂය විනාශ කළා. 

ඉතින් එතුමාට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න තියෙන වුවමනාව මොකද්ද?  

එක්සත් ජාතික පක්ෂයේ අය තමා එතුමාව ඔතනට ගෙනාවේ. ඒත් එතුමාට ඒක අමතක වුණා. එතුමාගේ ඒ කෘතවේදීභාවය පිළිබඳව අපි පුදුම වෙනවා. 

ඔබ ඇතුළු සමහර අය ජනාධිපතිවරයාව විවේචනය කළත්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න වගේ ඇමැතිවරැ කියනවා ජනාධිපතිවරයා නිවැරදි වෙන්න පුළුවන් කියලා නැවත එකතු වෙන්න. ඇත්තටම ජනාධිපතිවරයාට නිවැරදි වෙන්න පුළුවන්ද දැන්?

ඔව්. එතුමාට නිවැරදි වෙන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා.

ඔබගේ අය එහෙම කියනකොට ජනාධිපතිවරයා කියනවා අගමැතිවරයා නැවත ආවොත් පැයක්වත් ඉන්නේ නෑ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙලා ගෙදර යනවා කියලා.

මම කියනවා එතුමට ඒක ක්‍රියාත්මක කරන්න කියලා. තාම නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා.

ඇත්තද ඔබලා ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවා කියන්නේ?

අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ අපි කරනවා. 

පහුගිය ආණ්ඩුව සම්බන්ධව තිබ්බ චෝදනාවක් තමයි මිනිස්සුන්ට දැනෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නේ නෑ කියලා. ඒත් මේ නව අගමැතිවරයාගේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දවස් තුනක් යන්න කළින් බඩු මිල අඩු කළා. එහෙම කොහොමද කරන්නේ?

මම කියනවා අඩු කරපු ගණන් ඔක්කොම ටික 2015 මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ ගණන්වලට සමානයි. මේවා මේ කෙටිකාලීන වැඩසටහන්. ඒත් අනාගතයේදී බොරැ ආණ්ඩුවත්, බොරු අගමැතිත් එළියට දානවා.

දැන් මේ අලුත් ආණ්ඩුව ඔබලා පිහිටුවන එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් ආරාධනා කරනවා. ඇත්තටම ශ්‍රී ලංකා පක්ෂයේ අය එන්න ඉන්නවද? එන්න ඉන්න අයත් දැන් ආණ්ඩුවට ගිහින් නේද?

මම නම් කියන්න කැමති නෑ ඇමැති ධූර භාරගත්ත අය ගැන. එහෙම ඇමැති ධූර ගත්තා කියලා ඡන්දෙ දෙන්න බාධාවක් නෑනේ. ඒ අය ඕනවෙලාවට ඕන කටයුත්තක් කරයි.

ඔබලා හිනාවුණා ආණ්ඩුවේ 16 අයින් වුණාම මේ ආණ්ඩුවේ හිටිය විෂබීජ ඉවත් වුණා දැන් ආණ්ඩුවට පිරිසිදු ගමනක් යන්න පුළුවන් කියලා. ඒත් අන්තිමට ඒ අය නේද මේ ආණ්ඩුව පෙරලුවේ?

මම හිතන්නේ නෑ 16 දෙනාට එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ අය ජනාධිපතිවරයායි, ශ්‍රී.ල.නි.පයයි දෙකම අත්ඇරලා ගියේ.

එ.ජා.පයේ සමහර අය කියනවා මේක රාජපක්ෂ නොවන කෙනෙක්ට දුන්නනම් කමක් නෑ කියලා. ඔබත් ඒ මතයෙද ඉන්නේ?

අපිට රාජපක්ෂලා එක්ක පෞද්ගලික තරහක් නෑ. හැබැයි අපේ නායකයා, අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. 

ඔබලා කියනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලංසු තිබ්බා කියලා. ඇත්තටම එහෙම දෙයක් වුණාද?

එහෙම මුදල් ගණන් කිව්වා කියලා ආරංචියි.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාට කතා කළේ නැද්ද? 

නෑ මට කවුරුත් කතා කරන්නේ නෑ. මොකද මම එක්සත් ජාතික පක්ෂය අත්ඇරලා නොයන බව කවුරුත් දන්නවා.

 ගයාන් ගාල්ලගේ