2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය අද එජාපයේ නැට්ටක් වෙලා

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

මහින්ද මහත්තයා හංගලා ගේම් ගහන්නේ නෑ
ආණ්ඩුවේ කෙරුවාවෙන් බිස්නස් බංකොලොත්
මන්ත්‍රීවරුන් එළියෙ කියන දේවල් අපේ පක්ෂයේ තීන්දු නොවෙයි
මේ සටන දිනන්න නම් රාජපක්ෂවරු නායකත්වය ගන්න ඕනෑ
වෙල්ගමලා බැණගත්තට හම්බවුණාම ඔක්කොම සුහදයි
අපි ආණ්ඩුව බිම දාන්නේ ඡන්දයකින් පමණයි

රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි

 

යහපාලන ආණ්ඩුව බිහිවෙච්ච දවසේ ඉඳලම ඔබලා කිව්ව දෙයක් තමයි මේ ආණ්ඩුව පෙරළනවා කියලා. විවිධ උපක්‍රම භාවිතා කළා. කෝ ඒත් පෙරළගන්න හම්බවුණේ නෑනේ?

ආණ්ඩුව පෙරළන්න නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් අපි හිතන්නේ මැතිවරණයකින් ආණ්ඩුව පෙරළන එක. මැතිවරණයකින් ජනතාවගේ මතය එළියට ගන්න පුළුවන්. ඒක පළාත් පාලන මැතිවරණයෙදීත් අපි පෙන්නුවා. ඒක දැනගත්ත ආණ්ඩුව ඉදිරි මැතිවරණ කල් දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේක කූඨ උපායක්.

ඔබ කියනවා මැතිවරණයකින් පෙරළනව කියලා. ඇයි මැතිවරණ නැතුව ආණ්ඩු පෙරළන්න බැරිද?

මැතිවරණයක් නැතිව ආණ්ඩුව පෙරළන්න අපිට යම්කිසි අපහසුතාවයක් මේ වනවිට තිබෙනවා. අපිට ආණ්ඩුවක් ගන්න නම් දැන් තියෙන ආණ්ඩුව කඩන්න ඕන. මෙහෙම කඩනවද නැද්ද කියන එක තීන්දු කරන්න ඕන අපේ පක්ෂ නායකයො.

ඒකෙ ආරම්භයක් නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අලුත් දීගයක් පටන් අරන් තියෙන්නෙ?

මම දන්න තරමින් එහෙම දීගයක් නෑ.

හැබැයි ආරංචිය නම් තියෙන්නෙ තිරය පිටුපස්සේ නායකයන්ගේ කතාබහක් යනවා කියලා?

මම දන්න තරමින් නම් එහෙම නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා එළිපිට වැඩකරන කෙනෙක්. එතුමා එහෙම දෙයක් වෙනවා නම් අපිට කියනවා. මහින්ද මහත්මයා හංගලා ගේම් ගහන මනුස්සයෙක් නෙමෙයි. ඒ නිසා දන්න තරමින් එහෙම කතාබහක් නැහැ.

අපට පහුගිය දවස්වල ආරංචියක් ආවා එස්.බී. ඇමැතිතුමාගේ ගෙදරට ජනාධිපතිතුමයි, මහින්ද මහත්තයයි, බැසිල් රාජපක්ෂයි කැඳවලා පොඩි රාත්‍රී භෝජනයක් එක්ක රහස් සාකච්ඡාවක් තිබ්බා කියලා. ඒක ඔබතුමිය දන්නේ නැද්ද? නැත්නම් හංගනවාද?

නෑ අපිට එහෙම හංගන්න කිසි දෙයක් නැහැ. මම හිතන්නේ එහෙම සාකච්ඡාවක් වුණාද නැද්ද කියන එක එස්.බී. මහත්තය මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරලා රටටම කිව්වා. අපි ඡන්දයකින් මිසක් ආණ්ඩු පෙරළන වෙන ක්‍රමයක් නැහැ. මේ වෙනකොට රටේ ඇවිත් තියෙන්නෙ ආණ්ඩු විරෝධී ජනතා රැල්ලක්.

හැබැයි කිව්වේ ඔළුගෙඩි මාරුවකින් මේ ආණ්ඩුව පෙරළනවා කියලා?

ඇත්ත. න්‍යායාත්මකව ගත්තොත් මේ ආණ්ඩුව කඩන්න ඕන කියන තැන අපි ඉන්නවා. 

ඒ කියන්නේ මේ ආණ්ඩුව කඩාගන්න බැරිතරම් ශක්තිමත් ආණ්ඩුවක්ද?

නෑ. ඒකටත් ටිකක් කල්යල් යනවා. මම හිතන්නේ කඩන්න පුළුවන් අවස්ථාවකදී මහින්ද මහත්තයා ඒකට නායකත්වය දෙයි. හැබැයි ඔබ කියන විදියට ශ්‍රීලනිපයයි අපියි එක්ක සාකච්ඡාවක් යනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඇයි මේ ඔබතුමිය ශ්‍රීලනිපය කියලා වෙනම කතා කරන්නේ. ඔබතුමියත් ශ්‍රීලනිපයේ කෙනෙක්නේ?

නෑ... නෑ... මම පොදුජන පෙරමුණේ.

ඒ කියන්නේ ඔබතුමිය ශ්‍රීලනිපය සම්පූර්ණයෙන් හිතෙන් අයින් කරලද තියෙන්නේ?

ශ්‍රීලනිපය කියන්නේ ඩාර්ලි පාරේ තියෙන බිල්ඩිමයි බෝඩ් එකයි නෙමෙයි. මගේ පියතුමා හැටේ දශකයේ ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කළා. බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක කළේ. බණ්ඩාරනායක මහත්තයාගේ රැස්වීම් සංවිධානය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු පවුලක් තමයි වන්නිආරච්චි පවුල කියන්නේ. මගේ පියාට කලින් බාප්පාත් පාර්ලිමේන්තු ගියා. අපිට එවැනි පැරැණි නායකයෝ කියලා දුන්න බණ්ඩාරනායක ප්‍රතිපත්ති අද වෙනකොට ඉතිරිවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ විතරයි. අද ශ්‍රීලනිපය එජාපයේ නැට්ටක් වෙලා. අපි පක්ෂය කියලා කියන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන තැනක්.

හැබැයි ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු කියන්නේ රාජපක්ෂවරුන්ට නතුවෙලා තිබ්බ ශ්‍රීලනිපය දැන් තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තියට හැරිලා තියෙන්නේ කියලා?

බණ්ඩාරනායක මහත්තයා මේ රටේ වරායවල් සේවාවන් ජනසතු කරද්දී දැන් ශ්‍රීලනිපය කළේ මොකක්ද? කළේ විකුණන එක විතරයි. එදා බණ්ඩාරනායක මහත්තයා කරපු දේවල් තමයි මහින්ද මහත්තයා කළේ. ඒත් මේ ආණ්ඩුව ඒ දේවල් වික්කා. අපි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් හැදුවා. ගොවියා නගාසිටුවූවා. අන්තිමට හාල් අතිරික්තයක් ආවා ඒ ක්‍රමය නිසා. නමුත් මේ ආණ්ඩුව මොකද කළේ? හාල් ටික ගිහිල්ලා ගුවන්තොටුපළක ගබඩා කළා. මේවා ලැජ්ජා නැති වැඩ. මේ ගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අද දේශීය කර්මාන්තකරුවෝ විශාල වශයෙන් තමන්ගේ ව්‍යාපාර වහන තැනකට ඇවිල්ලා. 

ඔබ කියනවා මේ ආණ්ඩුවෙයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙයි ආර්ථික සැලැස්ම අහසට පොළොව වගේ කියලා. ඒත් ආණ්ඩුව කියන්නේ අද මේ තැනට පත්වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ගත්ත අධික ණයබර නිසා කියලා?

රාජපක්ෂ මහත්වරු ණය ගත්තට ගත්තේ තමන්ට ගෙවාගන්න පුළුවන් ප්‍රමාණයට. හැබැයි මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු තුනටම අරන් තියෙනවා මහින්ද මහත්තයා ගත්ත ණය ප්‍රමාණය හා සමානව. මහින්ද මහත්තයාගේ කාලේ මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම පිළිගත්ත ත්‍රස්තවාදය මුලින්ම උපුටා දමන්න විශාල වැඩ කොටසක් කළා. ඒ වගේම වාරි කර්මාන්තය කෘෂිකර්මය අධ්‍යාපනය ආදී හැම ක්ෂේත්‍රයක්ම ඔහු මේ සියලු ප්‍රශ්න මැද්දේ ඉතාම හොඳින් පාලනය කළා.

ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරු ගත්ත ණය ගෙවා ගන්න බැරිතරම් ලොකු නිසා මේ හිරවීම සිද්ධ වුණා කියලා?

එතුමා කළේ ගත්ත ණයවලට ආදායමක් එන විදිහට. ඒත් මේ ආණ්ඩුවේ එහෙම දේවල් නෑ. මේ ආණ්ඩුව ඒ තැනට පත්වෙන්න හේතුව තමයි නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම. මේ දේවල්වලින් ගොඩඑන්න මේ ආණ්ඩුව දැඩි ලෙස ජනතාවට බදු ගැහැව්වා. අපේ කාලයේ බදු ආදායම බිලියන 1000යි. මේ ආණ්ඩුව ආපු ගමන් ඒක දෙගුණයක් කළා.

ඔබතුමියලගේ කාලයේත් ඔය ආර්ථික අවුල් රුපියල අවප්‍රමාණය වීම වාගේ දේවල් සිදුවුණා?

මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ අවුරුදු 9කම රුපියල අවප්‍රමාණය වුණේ 2.8%කින් වගේ. අද වෙනකොට මේ ආණ්ඩුව යටතේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා 9.1%කින්. මේ තත්ත්වය නිසා අපේ ආර්ථිකය විශාල අර්බුදයකට ලක්වෙලා. ව්‍යාපාර වැහෙනවා. ආනයනික භාණ්ඩ සීමා පනවලා. මේ රැපියල අවප්‍රමාණය වීම තුළ අපේ ණය ප්‍රමාණය බිලියන 35කින් විතර ඉහළ යනවා. මේ නිසා ණය ගොඩ වැඩිවෙලා. මේවා මහ බැංකුවටත් ගාණක් නෑ. මේ තත්ත්වයක් තුළ ආයෝජකයෝ ලංකාවට ඒවිද? මේ හැමදේම වුණේ මහ බැංකු කොල්ලයත් එක්ක. 

දැන් මේ හැම ප්‍රශ්නෙකටම විසඳුමක් හැටියටනෙ ඔබතුමියලා ජනබල මෙහෙයුම අරගෙන කොළඹට ආවේ. හැබැයි ආණ්ඩුවෙන් නම් කියන්නේ ඒකාබද්ධයේ පසුබෑම තමයි මේකෙන් පෙන්නුවේ කියලා?

ඕන කෙනෙකුට කියන්න සංගණනයක් කරලා බලන්න කියලා. තමන්ගේ විරෝධතාවය පෙන්වන්න මේ රටේ ජනතාව කොළඹ නගරයට රැස්වුණා. ඔබතුමාලා දකින්න ඇතිනේ කොච්චර සෙනඟක් ආවද කියලා. දැන් හිතන්න මේ රටේ ආණ්ඩු විරෝධයට මහින්ද මහත්තයා මැදිහත් වෙලා විරෝධතාවයක් සිදුකරනවා නම් තමන්ගේ විරෝධතාවය දක්වන්න ජනතාව කැමැත්තෙන්ම කොළඹට එනවා. මම කියනවා අපි හිතුවට වැඩිය ප්‍රමාණයක් ඒකට ආවා. ඒ වගේම අපිට විශාල ප්‍රමාණයක් කොළඹ අත්පත් කර ගන්න හැකිවුණා. 

ඒකාබද්ධ විපක්ෂය කිව්වාම කට්ටිය කියන්නේ එකමුතුවෙන් ඉන්නේ කියලා. හැබැයි මේ ජනාධිපති අපේක්ෂකයකුගේ ප්‍රශ්නයක් අල්ලාගෙන දෙගොල්ලෝ දෙපැත්තකට වෙලා බැණගන්නා තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් එකමුතුව ඉවරද?

එහෙම කිසිම දෙයක් නෑ. මම කියන්නේ මහින්ද ජනාධිපතිතුමා කියන කෙනෙකුට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ. එතුමා හරියට මම කියන්නේ අධ්‍යාත්මික නායකයෙක් වගේ. 

මේ ප්‍රශ්න එළියට ගියාම ඒකාබද්දෙ අවුල එළියට එනවා නේද? ඒක ඡන්දයටත් බලපාන්න පුළුවන් නේද?

ඉස්සර නම් පවිත්‍රා දේවි වන්නිආරච්චි කියද්දී ඡන්ද ලැබුණා. ඒත් දැන් තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමට. ඒ නිසා ඒ මැතිවරණය අනුව මහින්ද රාජපක්ෂ මහත්තයා සුදුසුම අපේක්ෂකයා ජනතාවට ඉදිරිපත් කරයි. ඒ මතයට පිටින් කිසිම දෙනෙක් යන්නේ නෑ. මොන දේ කළත් මහින්ද මහත්තයි කියන දේ තමයි අන්තිමට කරන්නේ.

ඔබතුමිය කිව්වා නේද මහින්ද මහත්තයාගේ නමට තමයි ඡන්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඕන පොල් ලෙල්ලක් දැම්මොත් දිනන්න පුළුවන්ය කියන කතාවේ ඇත්තක් තියෙනවා නේද?

නෑ. එහෙම තත්ත්වයකට අපි වැටිලා නෑ. වඩාම ඡන්ද ගන්න පුළුවන් කෙනා තමයි මහින්ද මහත්තයා දාන්නේ. අන්න ඒ පුද්ගලයාට අපි දිවිහිමියෙන් වැඩ කරනවා. 
හැබැයි මේ මොන එකඟතාවය තියෙනවා කිව්වත් කුමාර වෙල්ගම මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්කරනවා යන කාරණයට එළිපිට ගහනවානේ?  ඒ වගේම ඔහුටත් ඒකාබද්ධ මන්ත්‍රීවරු ප්‍රහාර එල්ල කරනවා. මොකක්ද මේ අවුල?

අනේ මම දන්න තරමින් ඔය කට්ටිය හම්බ වුණහම ඉතාම සුහදශීලීව හොඳින් ඉන්නවා. ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ. හැබැයි කෙනකුට හිතුමතේ ප්‍රකාශ කරන්න බැහැ. ඒත් අපේ පක්ෂයේ ඕන කෙනෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න දෙනවා. පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඒක කරන්න ඕන කියලා නෙමෙයි.

ඉතින් ඔය මන්ත්‍රීවරුන්ගේ අදහස් කියන දේවල් ඒකාබද්දෙ ඇතුළේ තීන්දු තීරණ නේද? නිකම් කියන්නේ නෑනේ?

ඔය මන්ත්‍රීවරු කියන දේවල් අපේ පක්ෂයේ තීන්දු කියලාම කියන්න බෑ. ඒවා වෙනස් වෙන්න පුළුවන්. අනික මහින්ද මහත්තයා කියලත් නෑ අපිට. මහින්ද මහත්තයා තමයි තීණ්දු කරන්න ඕන.

ඇයි මේ ඒකාබද්ධයට රාජපක්ෂ විතරමද ඉන්නේ, වෙන කවුරුත් නැද්ද?

ඔය ඔබ කියන කාරණය මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය සිද්ධියක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් මහත්තයාට අමතරව තව නායකයෝ නැද්ද? ඉන්නවානේ. ඉතින් එතුමාව එළවන්න පෙළපාලි ආවේ. ඒ නිසා ඕවා එච්චර ලොකු දේවල් නෙමෙයි. එතුමාට එහෙම නම් රාජපක්ෂවරුන්ට කොහොමද දෙන්න ඕන.

නෑ අපි අහන්නේ රාජපක්ෂලා විතරමද පක්ෂයේ රටේ නායකයෝ වෙන්න ඕනේ?

මම විශ්වාස කරනවා රාජපක්ෂවරු වෙන්න ඕන. ඒ මගේ මතය. මම හිතවා මේ සටන දිනන්න නම් රාජපක්ෂවරු නායකත්වය ගන්න ඕන. 

ආණ්ඩුවෙන් ඉවත්වෙලා පිරිසක් නැවත ඒකාබද්ධයට ඇවිල්ලා ඉන්නවා. ඒ අය දැන් ඔබලා ඉන්න තැන් තැන්වලටම වැඩකරන්න ඇවිල්ලා ඉන්නවා. ඔබ ඉන්න තැනටත් ඔබේ මාමා කෙනෙක් වන ජෝන් සෙනෙවිරත්න මහතා ඇවිත් ඉන්නවා. දැන් ප්‍රශ්න වැඩියි නේද වැඩකර ගන්න බැරිව?

මහින්ද මහත්තයාට ඉතා පුළුල් දැක්මක් තියෙනවා. ඔහු නොසැලෙන නායකයෙක්. සියලු දෙනාටම ඉතාමත් ආදරයෙන් සලකනවා. ඇත්තම අපි ආණ්ඩුව කඩන්න නම් ආණ්ඩුවේ ඉන්න අය අපේ පැත්තට ගන්න ඕන. එහෙම එන අයට අපේ ගෞරවය දෙන්න ඕන. ඔය එන අය අපේ පක්ෂයට විශාල කැපකිරීමක් කරපු අය. ඔවුන් ජ්‍යෙෂ්ඨයන්. ඒ සැලකීම ඒ අයට ජනතාව වගේම අපේ නායකයත් ලබාදෙනවා.

නෑ අපි අහන්නේ ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා ආවාම ඔබතුමියට රත්නපුරේ තැන අඩුවෙනවා නේද?

දැන් ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා ආවා කියලා අපේ නායකයාගේ සැලකීමේ අඩුවකුත් නෑ. ඒ වගේම අපිට රත්නපුරේ තියෙන සැලකීමේ අඩුවකුත් නෑ.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00