2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

මුදුනටම හෙණ වැදිලා තියෙනකොට පහළ තැන් ගැන කවර කතාද?

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

♦ ඔය භාරකාර ආණ්ඩු හදන්නෙත් ‍දෙගොල්ලන්ටම හොරකම් කරන්න
♦ ජනාධිපති කියන දේ අගමැති දන්නේ නැහැ
♦ බැසිල්ලා එක්ක මඩ නාන්න අපි සූදානම් නැහැ
♦ වැරදි පෙන්නලා හදන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි මේක
♦ පොල්ලෙලි - ප්‍රතිපත්ති ප්‍රශ්නෙදි බන්දුල ගුණවර්ධන හරි
♦ මේ ආණ්ඩුව නම් ගෙදර යවන්නම ඕනෑ

 

මේ ආණ්ඩුව අයාලේ යනවා කියලා විරුද්ධ පක්ෂයෙන් වගේම ආණ්ඩු පක්ෂයෙනුත් චෝදනා තියෙනවා? ජනතා විමුක්ති පෙරමුණ ලොකු දෙයක් කරයි කියලා ජනතාව බලන් ඉන්නවා. හැබැයි ඔබලා පසුබැහැලා නේද ඉන්නේ?

හැබැයි ඔය ඒකාබද්ධ විපක්ෂයෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔබ මගෙන් ඇහුවේ.

නෑ මේ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවලට විතරනේ සීමාවෙලා තියෙන්නේ?

ඒකාබද්ධ විපක්ෂය විතරයි මාධ්‍ය සාකච්ඡාවලට සීමාවෙලා තියෙන්නේ. අපි එහෙම නෑ. ඔයා හොයලා බලන්න අපි මොන ක්ෂේත්‍රයෙන්ද අඩුවෙලා තියෙන්නේ කියලා. අපේ සියලුදෙනාම හැමතැනම හැම ක්ෂේත්‍රයක්ම මෙහෙයවනවා. අපි තමයි අදටත් ආණ්ඩු විරෝධී අරගල මෙන්ම වෘත්තීය අරගල සිදුකරන්නේ. ඒ නිසා ඔබ ඔය කරන චෝදනාව පදනමක් නැති චෝදනාවක්. 

ඔබලා යහපාලන ආණ්ඩුව හඳුන්වන්නේ ජනපීඩක ආණ්ඩුවක් හැටියට. හැබැයි මේ ආණ්ඩුව පත් කරන්න යම් ආකාරයක සහයෝගයක් දුන්නා නේද?

මොකක්ද ඒ සහයෝගය?

ඔබ කිව්වානේ මහින්ද ස්ටෝර්ස් එක විශ්වාස නෑ. මෛත්‍රී ස්ටෝර්ස් එකත් විශ්වාස නෑ. ඒත් මහින්දගෙ බඩුනම් ගන්න එපා කියලා.

අපි එහෙම කිව්වේ කොයි කාලේද?

මහමැතිවරණයේදී නේද?

දැන් ඒ කිව්ව දේ නේද අද මේ වෙලා තියෙන්නේ. අපි එදා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ ඒකාධිපතිත්වය පෙන්වලා බලයේ ඉන්න හදනවා නම් එයා පරාද කරනවා කියලා. ඒ වගේම අපි කිව්වා මේ එන අයත් වැඩක් නෑ කියලා. දැන් ඒක හරිනේ. ඒත් ජනතාව හිතුවා මේ පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් හැදුවාම රට ස්ථාවර වෙයි කියලා. අද වෙලා නැත්තේ ඒකමනෙ. එදා පැහැදිලිවම කිව්වා රටට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනසක් කියලා. ඔළුගෙඩි මාරුවකින් රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා කිව්වා.

ඉතින් එච්චර පැහැදිලි සිංහලෙන් කියා දීලත් ඇයි මේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ගැන තවම විශ්වාසයක් නැත්තේ?

ඒකත් අපි අහන්නේ ජනතාවගෙන්ම තමා. ඔයාලත් අහන්න ජනතාවගෙන්. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි මාධ්‍යවල හැසිරීම. මාධ්‍ය ඡන්දෙ නැති කාලෙට ජනතාවගේ දුක විකුණනවා. ඡන්දෙ ආපුවහම ආයෙම හිටපු අයට ඡන්දෙ දෙන්න කියලා හැසිරෙනවා. ඡන්ද නැති කාලෙට මාධ්‍යය ආණ්ඩු විරෝධියි. ඇති කාලෙට මාධ්‍යය ආණ්ඩුවේ. ඒ කාලෙට ඔය මාධ්‍යවලට ජනතා විමුක්ති පෙරමුණවත් ප්‍රතිපත්තිවත් පේන්නේ නෑ. ඊටපස්සේ ඔයගොල්ලෝ අහනවා ඇයි ජනතාව අපිත් එක්ක නැත්තෙ ඇයි කියලා.

ඔබ කියන කාරණය සාධාරණ නෑ නේද? මහින්ද රාජපක්ෂ මහත්තයා පැරැද්දුවේ ඔබලාගේ ඉල්ලීමකට අනුවයි කියලයි ඔබලා කියන්නේ? ජනතාව ඒක ඇහුවා නම් ඇයි ඔබලාට බලය නොදෙන්නේ?

නෑ.... නෑ... අපේ හඬ හින්දම නොවේ. අපි අසාධාරණ ලෙස ඒක බාරගන්නේ නෑ. එහෙම කළා නම් අපේ අපේක්ෂකයෙක් දිනවනවනේ. එදා පැරැද්දුවේ අපි විතරක් නෙමේ. ඒකට හේතු සාධක ගොඩක් තිබ්බා.

ඔය සිවිල් සංවිධාන එකතු කරලා එහෙම ඔබලාගේ අපේක්ෂකයෙක්ට රට බාරදෙන්න කල්පනාවක් නැද්ද?

රටට දැන් ඕනේ මේ අහවල් පුද්ගලයා ජයග්‍රහණය කිරීමද එහෙම නැතුව ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමක්ද? සමහර අය හිතනවා දැන් ඉන්න නායකයන්ට පණ නෑ කියලා. ඒ අයට හරියන්න කොන්ද පණ තියෙන නායකයෙක් ගේන්න ඕන කියලා හිතනවා. ඒවා තේරුමක් නෑ. ඕනෙ ඔළුගෙඩි වෙනසක් නෙමෙයි ප්‍රතිපත්ති වෙනසක්. මෙතන තියෙන්නේ නායකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. පහුගිය කාලේ ගත්ත ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් නේද දැන් අවශ්‍ය?

ඉතින් පහුගිය ආණ්ඩු ප්‍රතිපත්ති එක එක විදිහට ගෙනාවානේ?

මට කියන්න එහෙම ගෙනැල්ලා වෙනස් කරපු දෙයක්. ආසියාවේ ධාන්‍යාගාරය කිව්වා. හාල් ටික ගේන්නේ පිටරටින්. සුදු ලූනු ගෙඩිය ගේන්නේත් පිටරටින්. ලැජ්ජයි කියන්න. අපි ලෝකෙට ණයවෙලා මේවද දිනාගෙන තියෙන්නේ.

ඔය ඔබ කියන ප්‍රතිපත්තිමය වෙනස සිදුකරන්න යම්කිසි කණ්ඩායමක් හරි පුද්ගලයෙක් හරි නායකත්වය අරගෙන ඔළුගෙඩි මාරුවක් වෙන්න ඕන නේද?

අන්න හරි. වැදගත් ප්‍රශ්නයක්. ඔය තියෙන ඔළුගෙඩිවලින්මද මේක විසඳන්න පුළුවන්. මිනිස්සුන්ට ඇතිවෙලා නැද්ද? අපේ රටේ මාධ්‍යයටත් මේ තියෙන ඔළුගෙඩි ප්‍රදර්ශනය කරන එක ඇරෙන්න ඔළුගෙඩි වෙනස් කරන්න අදහසක් නැද්ද? මම කියන්නෙත් ඒකයි. අපි මීට වඩා රටේ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ හැමදේටම හේතුව මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර බලය හුවමාරු කරගන්නයි ඇමැතිවරු පත්කර ගන්නයි තියෙන කැමැත්ත. ඒ නිසා මීට වඩා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනසක් වෙන්න ඕනෙ නේද? අපි කොච්චර ලැජ්ජ වෙන්න ඕනෙද හිරේ ගිහිල්ලා එන පට්ට හොරුන්ට මල්මාලා දාලා පිළිගන්නවානේ. වඳිනවත් එක්ක. ඒවලට මාධ්‍යයත් ප්‍රචාරය දෙනවානේ.

ඔබලා ආණ්ඩුවට විරැද්ධව සටන් කළාට ඒකාබද්ධ විපක්ෂයෙන් කියන්නේ නම් ආණ්ඩුවත් එක්ක ජවිපෙට ඩීල් එකක් තියෙනවා කියලා. ඒක ඇත්තද?

ඒ ගොල්ලෝ එහෙම කියන්නේ ඉක්මනින් ගෙඩිය කඩල ඒ ගොල්ලන්ට නොදෙන නිසානේ. ඒ අයට කඩාගන්න පණ නැති නිසා අපිව වැට්ටුවා වාගේ මේ ආණ්ඩුවත් වට්ටන්න කියලනේ ඔය කියන්නේ. එහෙම නොකරපුවාම තමයි ඔවුන් මෙහෙම කියන්නේ. එයාලත් එක්ක එකතු වුණා නම් ඔය කතා නෑනේ.

මේ ආණ්ඩුවේ හැදිලා තිබෙන අවුලෙ හැටියට ඔබලාට පුළුවන්නේ ආණ්ඩුව පෙරළලා බලය අල්ලා ගන්න?

අනිවාර්යයෙන්ම අපි හදනවා. සහතික ලෙස මේ ආණ්ඩුව ගෙදර යවන්නම ඕනේ. අනික මේ ආණ්ඩුව යන ක්‍රමවේදය හරි නෑ. මේක රනිල්-මෛත්‍රී ජනපීඩක ආණ්ඩුවක්. එහෙම වට්ටලා ඒකට හරියන්න ඒ වගේම තව කට්ටියක් ගෙනැල්ලා තේරුමකුත් නෑ. ඒ නිසයි අපි ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ගිහින් තියෙන්නේ. ආණ්ඩු පෙරළන්න ඕනේ ජනතා බලයෙන්. අපි විශ්වාස කරනවා අපිට විතරක් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ වගේම මේ රට විනාශ කරපු අනෙක් පක්ෂවලට කරන්නත් බෑ. ඒක කරන්න පුළුවන් අපි තවමත් විශ්වාස කරනවා මේ රටට ආදරය කරන උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට ඒක කරන්න පුළුවන් කියලා. 

ඔබලා ඔය කියන ප්‍රතිපත්තිය ජනතාව අතරට අරගෙන ගිහිල්ලා තියෙනවාද?

අපේ ප්‍රතිපත්තිය ජනතාව අතරට අරගෙන ගිහින් තියෙනවා. ඒත් ඒවා මාධ්‍යවලින් පෙන්වන්නේ නෑ. එතකොට හිට් වෙන්නේ නෑනේ. මාධ්‍යවලට පේන්නේ සුජීවගේ ප්‍රශ්නෙයි අරවයි මෙව්වයි. නමුත් ඊට වැඩිය දේවල් අපි කරනවා. නමුත් මාධ්‍ය විසින් වාරණය කරගෙන ඉන්නේ. 

ඔබ කියනවා සුජීවගේ වගේ දේවල් පෙන්වනවා කියලා. ඇයි මාධ්‍යයට හොඳ නැද්ද ආණ්ඩුවේ දූෂණ වංචා එළිදරව් කරන එක?

මේ ආණ්ඩු වැරැදි පෙන්වලා හදන්න පුළුවන් ආණ්ඩුවක් නෙමේ. මමත් කෝප් කමිටුවේ ඉඳගෙන කොච්චර හෙළිදරව් කරනවාද? ඒත් හදන්න බෑ. හේතුව හොරකමටම පුරුදු වෙලා තියෙන්නේ.  බලය අරගෙන තියෙන්නේම හොරකම් කරන්න. මේවා මේ කියාදීලා පෙන්වලා දීලා නතර කරන්න පුළුවන් දේවල් නෙමේ. ආණ්ඩුවට කියලා දීලා වැඩක් නෑ. හැබැයි ජනතාවට කියලා දීලා හොඳ ආණ්ඩුවක් හදන්න පුළුවන්.

අපි දැක්ක දෙයක් තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේම හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා. හැබැයි සමහර දේවල්, සමහර නඩු ඉබේ ඉවත් වෙනවා. චූදිතයෝ නිදහස් වෙනවා. එතකොට මේවා දේශපාලන පළිගැනීම් වෙනවා නේද?

කෙළින් කියනවා නම් නීතිය පාලක පන්තියේ අවියයි කියලා. හරි පැහැදිලියි මේ වෙන්නෙත් ඒ දේමයි. තමන්ගේ අය බේරාගන්න, තමන්ගේ අය රැකගන්න කරන වැඩ. ඔය කට්ටිය දේශපාලන පළිගැනීම් කියල කියන්නේ මොකද ඒ අයත් දන්නවා එයාලගේ කාලේ ඔය වගේම දේවල් කළා කියලා. දැන් ඒ අයට අවිය නැති හින්දයි ඔය කෑගහන්නේ. ජනතාව නරඹන්නෝ බවට පත්වෙලා ඉන්නවා. මාධ්‍ය ප්‍රදර්ශකයෝ බවට පත්වෙලා ඉන්නවා. 

හැබැයි විරුද්ධ පක්ෂයේ අය කියන්නේ අධිකරණය ස්වාධීනයි. ආණ්ඩුව තමයි ප්‍රශ්න හදන්නේ කියලයි?

ඔය ඔහොම කියන්නේ නඩු වලින් නිදහස් වෙන වෙලාවට විතරයිනේ. නීතිය නම් ස්වාධීනයි. නීතිය කාගෙන්වත් ස්වාධීන නෑ.

මන්ත්‍රීතුමා මේ වෙනකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා ගැන විශාල ගැටලුවක් ඇතිවී තිබෙනවා. මේක විශාල ප්‍රශ්නයක් නේද?

මුදුනමට හෙණ වැදිලා තියෙන කොට පහළ තැන්වලට මොකද වුණේ කියලා අහන්න ඕනේ නෑ නේද? ජනාධිපති කියන දේත් අගමැතිවත් දන්නේ නැහැ සමහර වෙලාවට. ඔය කැබිනට් මණ්ඩලයේ එකමුතුවක් තියෙවාද?

හැබැයි මේ සියලු දේ අස්සේ ජනාධිපති ඝාතන සැලසුමකුත් ක්‍රියාත්මක වෙනවා නේද?

ඕවා ඉතින් පත්තර විකිණෙන්නේ නැති වුණාම හදන ප්‍රවෘත්ති.

මේවා අපි හදපු ප්‍රශ්න නෙමේ. ආණ්ඩුවෙන් සහ පොලිසියෙන් කියපු දේවල්?

මම මෙහෙම කියන්නම්කෝ. ඔය ප්‍රකාශෙ කළේ මම කියලා හිතන්නකෝ. මම තමයි ඔය කුමන්ත්‍රණය කළේ කියලා. මට මෙහෙම කතා කරන්න පුළුවන් වෙයිද එදාට. එදාට අපේ පක්ෂෙට වැඩකරන්න දෙයිද? පක්ෂෙ තියෙයිද? නිකමට හිතන්නකෝ. ඒ ටිකම හිතුවාම තේරෙයි මොකක්ද කියලා.

පහුගිය දවසක බැසිල් රාජපක්ෂ මහත්තයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා ආණ්ඩු පෙරළන වැඩකට නම් ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ ඇතුළෙන් කතාබහක්වත් යනවාද?

අපි ඒ මහත්තුරුන්ට කියන්න තියෙන්නේ ඒ මහත්තුරුන්ට මඩවළේ ඉන්නත් අයිතිය තියෙනවා. මඩ නාන්න අයිතියක් තියෙනවා. හැබැයි අපිට අයිතියක් නෑ ඒකේ නාන්න. අපි ඌරෝ එක්ක ලගින්නේ නෑ. ඒ මඩ නාන්න තියෙන අයිතියට අපි ගෞරව කරනවා. 

හැබැයි ජනතාව දන්නේ දේශපාලනයේදී මිතුරොත් නෑ හතුරොත් නෑ කියන කාරණය?

ඒ එයාලට. අපිට දේශපාලනයේ මිතුරොත් ඉන්නවා. හතුරොත් ඉන්නවා. ඒවා පුද්ගලික ගැටලු නෙමෙයි. ඔය කතාව තියෙන්නේ ප්‍රතිපත්ති නැති අයට. ප්‍රතිපත්ති තියෙන අයට ඔය කතාව අදාළ වෙන්නේ නෑ. නැත්නම් වෙන්නේ එහාට පනිනවා මෙහාට පනිනවා එක විතරයි. ජනතා විමුක්ති පෙරමුණට ඒක එහෙම නෑ.

විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ආණ්ඩුව දැන් කියනවා. මේ නිසා ආනයනය කරන භාණ්ඩ පවා සීමා පනවලා තියෙනවා. මෙවැනි දේවල් කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද?

මම මුලදි කිව්ව කාරණයට තමයි ඔයා නැවත ආවේ. ඔළුගෙඩි මාරු කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. රටට අවශ්‍යයි පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තිමය වෙනසක්. ඔබ ඔය කියන කාරණය ඔළුගෙඩි මාරුකරලා ආණ්ඩු මාරුකරලා හදපු ක්‍රමවේදයේ අවුල. ඒක තමයි අපි වෙනස් කරන්න ඕනේ කියන්නේ. තාවකාලික පැලැස්තර දාලා මේවා නතර කරන්න බෑ. මේ අය ආනයනය මුලදී වැඩිකරලා දැන් කියනවා අපනයනය වැඩි කරන්න කියලා. දැන් කිව්වට වැඩක් නෑ.

ඔවුන් කියන්නේ මේ ප්‍රශ්නයට හේතුව ගිය ආණ්ඩුව ගත්ත අධික ණය සහ ආර්ථික ප්‍රතිපත්තිවල අවුල කියලයි?

නෑ... නෑ... ඒ එක කාරණයක් විතරයි. ඕකට මූලික කාරණය තමයි අවුරුදු ගාණක ඉඳලා අරන් එන ප්‍රතිපත්ති. දැන් මේ ගොල්ලෝ කියන කාරණය බලන්නකෝ. බඩු මිල වැඩියි, හැබැයි ගිය ආණ්ඩුව තරම් නෑ කියලා. හොරකම වැඩියි, ඒත් ගිය ආණ්ඩුව තරම් නෑ කියලා. ජනතාව බලයට පත් කළේ ඕකටද? මේ අය බලය ගත්තේ එහෙම කියල නෙමේනේ? ඒකට හේතුව මේ ප්‍රතිපත්ති. ඇත්තම කතාව මේ ගැටලුවෙන් බේරෙන්න අපේ රටට විනිමය අවශ්‍යයි. මේ අය ඒක ගොඩගන්න කළේ අපනයනය වැඩිකරපු එක නෙමේ තිබ්බ රාජ්‍ය දේපල වික්ක එක. අවුරුදු ගණන් අපි හම්බ කරපු ආයතන මේ අය අවුරුදු ගාණක ඉඳන් වික්කා. මෙහෙම ගියාට පස්සේ ඉතුරු වෙන්නේ රටට පාංකඩ වගේ රස්තියාදු ගගහා පාරේ ඇවිදින මිනිස්සු ටිකක් විතරයි. 

හැබැයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න නම් දැන් භාරකාර ආණ්ඩු, සභාග ආණ්ඩු හදන කතාවක් යනවා?

හා... පුළුවන් නම් ඔය ආණ්ඩු හදලා ගොඩගන්න පුළුවන්නම්. ඔය ආණ්ඩු හදන්නේ ඒ දොගොල්ලන්ට හොරකම් කරන්න. ඔය ආණ්ඩුවලින් ආර්ථික අර්බුද විසඳන්න බෑ. රට හදනවා කියලානේ දෙගොල්ලොම ආවේ. අලුත් රටක්ද මොකක්ද කියලනේ ආවේ. දැන් ඔයාලටත් අමතකයි ඒවා නේද?


දැන් සියලු ප්‍රශ්න අමතක කරලා පක්ෂ දුවන්නේ අපේක්ෂකයෙක් හොයාගන්න ඊළඟ ජනාධිපතිවරණයට?

මොකටද නායකයෙක් හොයාගන්නෙ. රට පාලනය කරන්නද? රට අයාලේ යන්නද? අයාලේ යන්න නම් මේ අය හිටියාම ඇති. ඒ නිසයි අපි කියන්නේ රටට නායකයෝ ඕනේ. ඒ නායකයෝ ඕනේ මොකටද කියලා හොයන්න ඕනේ ජනතාව. මොකද මෙච්චර කල් වෙච්ච සෙතක් නෑනේ. 

ඔබ ජනතාවට චෝදනා කළාට සමහර අය ඡන්දෙදි ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ අය ලැයිස්තුවෙන් ඇතුළට ආවා?

ඒ මැතිවරණයේ තියෙන ගැටලුවක්. අපි හිතනවා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ජනබලවේගයක් අවශ්‍යයි. සමහර මිනිස්සු ඉවත් කළේ ඇයි කියලා අපිටත් ගැටලුවක් තියෙනවා. පොදුවේ කතා කරන්නෙ. දැන් මටත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මාව පැරැද්දුවෙ කියන එක. මම මොන වැරැද්දක් කළාටද? මම හොරකම් කරලා නෙමෙයිනේ. චෝදනා නැති මිනිස්සු එළවනවා. චෝදනා කන්දක් තියෙන මිනිස්සු ඇතුළට එනවා. මට කියන්න තියෙන්නෙත් බන්දුල ගුණවර්ධන මහත්තයා කිව්ව දේ. එයා කිව්වා පොල්ලෙලි යවනවාද? ප්‍රතිපත්ති යවනවාද කියලා තීරණය කරන්න ඕනේ කියලා. මොනවා වුණත් එතුමා කිව්ව දේ හරි. 

රටේ තියෙන ප්‍රශ්නත් එක්ක තීරණාත්මක තැනක ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඔබලා හිතනවාද ජනතාවගේ ඡන්දය දිනන්න පුළුවන් තැනකට ඒ තීරණාත්මක අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා?

ඇත්තම කාරණය අපි නෙමෙයි ජනතාව තමයි තීරණය කරන්නේ. ජනතා ව්‍යාපාරයක් හැදෙන්න ඕනේ. ජනතා පාලනයක් කියන්නේ ජනතා විමුක්ති පාලනයක් නෙමෙයි. අපි කියන්නේ ජනතාව පාලනයට සම්බන්ධ වෙන ක්‍රමයක්. අන්න ඒ ක්‍රමය හදන්නයි අපිට ඕනේ. ඒ හරහා ජනතාවට ප්‍රයෝජන ලැබෙන්නත් ඕනේ. ඒක අපි මෙවර කරනවා.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00