2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මේක එජාපයට විරුද්ධ කුමන්ත්‍රණයක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

බදුල්ල දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි

• ආණ්ඩුව ලබාදුන් නිදහස වැඩිදෙනෙක් දකින්නේ වැරදියට
• සාමූහික තීරණ ගන්නකොට වාසි අවාසි දෙකම තියෙනවා
• යහපාලනය හොඳ නෑ කියලා අපේ නායකයා කියලා නෑ
• ජනාධිපතිතුමා ආරක්ෂා කිරීම අපි වගකීමෙන් ඉටුකරනවා
• අපි කොහේද රටේ දේපළ විකුණලා තියෙන්නෙ?
• පොලිස්පති එක්කෝ නිවැරදි වෙන්න ඕන නැත්නම් ඉවත්වෙන්න ඕන

යහපාලන ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනක් ගතවෙලා. ප්‍රශ්න ලියා ගැනීමට වඩා ප්‍රශ්න පටලවා ගැනීම විතරයි මේ අවුරැදු තුනේම දැක්කේ. ඇයි ඒ?

ඔබතුමා කියන්නේ මොන ප්‍රශ්නද? රටේ ප්‍රශ්නද නැත්නම් වෙන ප්‍රශ්නද?

රටේ ප්‍රශ්න ආණ්ඩුවේ ප්‍රශ්න වගේම හැම ප්‍රශ්නයක්ම අනාගත්තා නේද?

මීට වඩා ප්‍රශ්න උග්‍ර වෙන්න තිබ්බා යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ නැත්නම්. එහෙනම් ඒකාධිපති ස්වරූපයේ ඉන්න පුද්ගලයකු බලයට ඇවිල්ලා රටේ පුරවැසියන්ට තමන්ගේ අදහස් කියා ගන්න බැරිව මාධ්‍යවේදීන්ට තමන්ගේ අදහස් කියාගන්න බැරිව විශාල පීඩනයක් දරන්න වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය දේපළ රටේ සම්පත් තනි පුද්ගලයකු වටායි යොමුවුණේ. ඒත් අද රටේ නිදහස ලබාදීම තුළ ඕනෑම කෙනෙක්ට ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේ නිදහස ලැබිලා තියෙනවා. රටේ ජනතාවට අමතක වෙලා තිබෙනවා 2015 ජනවාරි 08 වැනිදා ලැබුණු නිදහස නිවැරදි ලෙස භුක්ති විඳින්න.

නමුත් ආණ්ඩුවේ ප්‍රශ්න එකක්වත් හරියට විසඳාගන්න බැරිවෙලා තියෙනවා නේද?

නෑ. එහෙම නෑ. අපිට අපේ අදහස ඕනෑවෙලාවක නිදහසේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ නිදහස ගොඩක් අය දකින්නේ වැරදි විදිහට. ඒත් ඒක නෙමෙයි මේ තමයි හරි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිදහස නිසා තමයි සැබෑ රටට ආදරය කරන පිරිස් කණ්ඩායම් රටපුරා බිහිවෙමින් තිබෙන්නේ.

රටට ආදරය කෙසේ වෙතත් ආණ්ඩුවට එරෙහිව පිරිස් කණ්ඩායම් දැන් තැන් තැන්වල කල්ලි ගැහෙනවා?

නෑ. ඒ සිදුවෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ එක් පැතිකඩක්. ඉස්සර වගේ ඔවුන්ගේ අදහස් මර්නදය කරන්න ඔවුන්ව හිර කරන්න කවුරැත් දැන් නෑ. ඒ නිසා නිදහස තුළ ඔවුන්ගේ අදහස් වර්ධනය වෙලා උදාහරණයක් කියන්නම්. කවදාවත් අපි දැකලා තිබ්බාද ක්‍රිකට් මැච් ඉවරවෙලා පිට්ටනි සුද්ද කරපු මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒ එහෙම හැදුණේ මේ නිදහස ලස්සනට භුක්ති විඳින නිසා. ඒ විතරක් නෙමෙයි, විරෝධතා දක්වන අයට ගිහින් ජනතාවට විරෝධතා දක්වන තැනට අද නිදහස පුළුල් වෙලා.

හැබැයි ඒ විරෝධතාවය කොයි වෙලේ හරි ඔබලටත් එන්න පුළුවන් නේද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒක ඉස්සරහදී එන්න පුළුවන්. ඒක හොඳයි. මිනිස්සු ඇවිල්ලා කියයි දේශපාලනය කරන්න බැරිනම් ගෙදර යන්න කියලා.

ඔබ ඔය කියන්නේ සමාජ පරිවර්තනය ගැන. හැබැයි මේ ආණ්ඩුව ඇතුළේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය අවුලක් බවට පරිවර්තනය වෙලා නැද්ද?

ආණ්ඩුව ඇතුළේ එහෙම දේවල් වෙන්නේ බලය ලබාගැනීමේ අරමුණෙන්. ඒ වගේම මීට කළින් තිබුණ අදහස් සහ යෝජනා පොරොන්දු අමතක වීම තුළ. අපිට කියන්න පුළුවන් අපේ නායකයා නම් කවදාවත් යහපාලනය හොඳ නෑ කියලා කොහේවත් කියලා නෑ. විවේචනය කරලත් නෑ. අනෙක් නායකයෝ නම් තැන් තැන්වල විවේචනය කරනවා. හැබැයි ඒවලට ප්‍රතිචාර දක්වන විදිහ අපේ නායකයා වගේ නෙමෙයි අපි. අපේ තිබෙන ආවේගයත් එක්ක කැපකිරීමත් එක්ක කාට හරි මුල අමතක නම් මුල මතක් කර දීම බය නැතුව කරනවා.

ඔබ කියනවා ඔබේ නායකයා විවේචනය කරන්නේ නැහැ කියලා යහපාලනය. හැබැයි යහපාලනයේ නියමුවා වෙච්ච ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ චෝදනා කරනවා මේ යහපාලනයේ අවුල ගැන?

විධායක ජනාධිපතිවරයා එහෙම කියන එක ගැන නම් ඇත්තටම කනගාටුයි. සමහර වෙලාවට කැබිනට් මණ්ඩලය ඇතුළේ සාමූහික තීරණ ගන්නවා. ඒත් වැඩේ වැරදුණායින් පස්සේ ජනතා විරෝධය එනකොට ඇතැම් අය ඒකෙන් බේරෙන්න එක එක අයට චෝදනා කරනවා. මම කියන්නේ සාමූහික තීරණයක් ගත්තා නම් ඒකෙන් එන වාසි අවාසි දෙකම ගන්න ඕන. ඒකට හොඳම උදාහරණය තමයි ජනතාව පළාත් පාලන මැතිවරණයේදී ලබාදුන් පිළිතුර. ඒ අපට දුන්න පොරොන්දු නැවත ඉෂ්ට කරන්න කියලා.

හැබැයි මේ චෝදනා එල්ල වෙන්නේ විරුද්ධ පක්ෂයෙනුයි ආණ්ඩුවේම තවත් පිරිසකගෙනුයි එක්සත් ජාතික පක්ෂයට?

ඒකට හේතුව එක්සත් ජාතික පක්ෂයනෙ ප්‍රබල වෙලා තියෙන්නේ. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අවුල වෙලා තියෙන්නේ කවුද ඊළඟට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කියලා. අරයා දානවා මෙයා දානවා කියනවා. ඒත් ඒ අයම රණ්ඩු වෙලා ඒක යටපත් කරගන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රබල. ඒ බලය ලබාගැනීමේ අරමුණින් තමයි මේ සැලසුම් සහගත ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක මඩගැසිල්ලක්.

හැබැයි එක්සත් ජාතික පක්ෂයට එල්ලවෙන චෝදනා නම් පොඩිපහේ චෝදනා නෙමේ? දේපළ විකුණනවා.... රට විකුණනවා වගේ දේවල්?

කොහෙද අපි රටේ දේපළ විකුණලා තියෙන්නේ? පහුගිය ආණ්ඩුවේ විකුණපු අයම හීනෙන් නැගිටලා කියනවා විකුණනවා විකුණනවා කියලා. ඒත් අපි තමයි විකුණපු ඒවත් බේරාගත්තේ. රටේ ආරක්ෂක මූලස්ථානය පවා වික්කේ ඔය අය. රටේ තියෙනවා ඇතැම් දේපළ විනාශ වෙලා. ඒ දේපළ නැවත යාවත්කාලීන කරලා ජනතාවට ප්‍රයෝජන ගන්න තමයි වැඩපිළිවෙළ සකස් කරන්නේ. ඒවාට විදෙස් ආයෝජකයෝ පැමිණෙනවා. ඕක තමයි ඒ අය කියන්නේ අපි විකුණනවා කියලා.

හැබැයි මෙතැන පිළිගන්න වෙන්නේ ඔබලත් එක්ක හිටිය 16 දෙනාගේ කණ්ඩායම දැන් ඒ වෙච්ච දේවල් එකින් එක කියනවා?

ඔය 16 දෙනා පහුගිය අවුරුදු තුන තුළ මොනවත් කිව්වාද? කිව්වේ නෑ නේද? ඇමැතිකම් ගත්තා. වරප්‍රසාද ගත්තා. එහෙම අරගෙන එයාලා ආණ්ඩුවට විරුද්ධව වැඩ කළේ. අන්තිමට ඒවා අරගෙන යන්න ගියා. එයාලා ඇත්තටම කෑවේ ලණුවක්. එයාලාගේ දේශපාලනය මොකක්ද කියලා දැන් රටම දන්නවා.

අපි කවදාවත් නොදැක්ක විදිහට ආණ්ඩුවයි ආරක්ෂක අංශයි අතර යම් ගැටුමක් පටන් අරගෙන තිබෙනවා. මේ චෝදනා ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවෙන්මයි. රටේ ආරක්ෂාව දුර්වලයි කියලා තියෙනවා?

මම හිතන්නේ විවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් යන්නේ. විරුද්ධවාදීන්ගේ අසාර්ථකභාවය වසාගන්න තමයි මෙවැනි චෝදනා ගොඩනගන්නේ. දැක්කනේ පහුගිය දවස්වල ජනබලය කියලා දෙයක් කරලා ආණ්ඩු බලය ගන්න හැදුවා. අවුරුදු 30ක යුද්ධය නිමකරලා බලය අල්ලා ගත්ත අය නැවත බලය අල්ලාගන්න හදන්නෙත් ඒ යුද්ධය හරහාමයි.

නෑ මෙතැන වෙන්නේ ආණ්ඩුවේම ඇමැතිවරුනුයි මේ විවේචනය එල්ල කරන්නේ?

නෑ. සමහර අය යුදමය වශයෙන් ඔවුන් ලබපු අත්දැකීම් තමයි ඒ කියන්නේ. ඔවුන්ට මේ අඩුපාඩු පේනවානම් ඒක පෙන්වාදීම වරදක් නෙමෙයි.

පොලිස්පතිවරයාටත් එවැනිම චෝදනානේ එල්ල වෙන්නේ විරුද්ධ පක්ෂයෙන්?

හේතුව තමයි ඔහු නීතිය නිවැරුදි ලෙස ක්‍රියාත්මක කරලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙළ සකස් කරලා තිබීම. පහුගිය ආණ්ඩුවේ හිටිය අයට විරැද්ධව ඔහු නිර්භයව නඩු කටයුතු මෙහෙයවනවා.

මෙතැන තියෙන්නේ පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්නේ?

ඔව්. අපිත් පිළිගන්නවා පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ හැසිරීම තුළ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්කළ ක්‍රමයක් තමයි සිදුවෙමින් යන්නේ. පොලිස්පති කියන්නේ විකටයෙක් නෙමෙයි. පොලිස්පතිවරයා නිර්භීත ගාම්භීර පුද්ගලයෙක් විය යුතුයි.

හැබැයි එහෙම නිවැරදි වෙන පාටක් නැහැනේ?

අපිත් පිළිගන්නවා යම් ආකාරයක නිවැරුදිවීමක් විය යුතුයි කියලා. ඒ විනය ක්‍රියාමාර්ග යටතේ. හැබැයි එතුමාගේ සම්පූර්ණ කාර්යභාරය ගත්තාම පුංචි දෙයක් අල්ලාගෙන මෙහෙම ගහන එක වැරුදියි. ඒ මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අඩපණ කිරීමේ අරමුණෙන් පටන්ගත් දෙයක්.

ඔබ කියන්නේ වැරුදිකරුවන් හරි සැකකරුවන් හරි වෙන්න ඉන්න පිරිසක් විසින් මේ කරන දෙයක් කියලද?

පැහැදිලිවම. ඒ කණ්ඩායම විසින් කරන දෙයක්. මේ තර්ක ගොඩනගන්නේ ඒ අයනේ. ඔබට මතක ඇති විමල් වීරවංශ මන්ත්‍රීවරයා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට මහපාරේ ගහන්න යනවා. කවුද ඒ ගැන එදා කතාකළේ?

ඔබ මේ පොලිස්පතිවරයාගේ හැසිරීම සාධාරණීකරණය කරනවා නේද?

කොහෙත්ම නෑ. 

ත්තද ඔබලා පහුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාට යෝජනා කළා කියලා පොලිස්පතිවරයාව ඉවත් කරන්න කියලා?

මම ඒ රැස්වීමට සහභාගි වුණේ නැහැ. මම පෞද්ගලිකව දරන මතය තමයි පොලිස්පතිවරයාගේ හැසිරීම ගැටලු සහගතයි. ඒ නිසා එතුමා එතුමාගේ ගෞරවය රැකගෙන ඉවත් වෙන්න ඕන. නිවැරදි ලෙස කටයුතු කරන්න ඕන.

එතැනින් පස්සේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ජනාධිපතිවයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයවයි ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා? පොඩි චෝදනාවක් නෙමෙයි?

2010 දීත් 2015 දීත් එවැනි සිද්ධි නිර්මාණය කළා. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත්‍රණ කතාවේදී අපට මතක් වෙන්නේ එතුමා 2015 ජනවාරි 8 දිනලා කිව්වේ මම පරාද වුණා නම් අඩි 6ක් යට කියලා. එතකොට ඒ කණ්ඩායම කවුද? ඒවා දැනගෙන නෙමේද ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කරන්නේ. හැබැයි අපි ජනාධිපතිතුමා ආරක්ෂා කිරීමේ වගකීම බාර අරගෙන තියෙනවා.

මෙතැන ඔහු විතරක් නෙමෙයි හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා?

එතුමා දක්ෂ ආරක්ෂක වැඩපිළිවෙළක් එදා රටේ ක්‍රියාත්මක කළ නිලධාරියෙක්. පාලනයට නුසුදුසු පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන් ඉතාම සූක්ෂම ලෙස එතුමා ඉවත් කළා. මම හිතන්නේ නෑ එවැනි පුද්ගලයන්ට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය කවදාවත් එවැනි දේවල් කරයි කියලා. අපේ නායකයට වුවමනාව තියෙන්නේ මේ රටේ දෙයක් නොලැබුණු ජනතාවට දෙයක් ලබාදෙන එක.

හැබැයි මේ දේවල්වලට සාක්ෂි තියෙනවානේ? එතකොට බොරු වෙන්නේ කොහොමද?

සංවාද ගොඩනැගෙන්න පුළුවන් දුරකතනය හරහා. ඔහු සමහරක් විට තොරතුරක් ගන්න බලාගෙන එහෙම හැසිරෙනවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ පිළිබඳව දැන් විමර්ශන සිදුකරනවා. එදාට මෙහි ඇත්ත කතාව එළිවෙයි. මෙය සම්පූර්ණ දේශපාලන කුමන්ත්‍රණයක්.

ඒ කියන්නේ මේක ආණ්ඩුවට විරුද්ධව ආපු කුමන්ත්‍රණයක්?

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ආපු කුමන්ත්‍රණයක්.

දැන් චමින්ද විජේසිරි එජාපයට අලුත් පක්ෂ නායකයෙක් ඕනෑ කියන තැන නැද්ද?

අපි අලුත් නායකයෙක් ඉල්ලලා තියෙනවා. අපි ඒ නායකත්වය ඊළඟ ආණ්ඩු ලබාගැනීමට සහ ආණ්ඩු පාලනය කිරීමට යොදාගන්නා ආකාරය පිළිබඳව කතා කරලා තියෙනවා. අපි අරගලවල තාම ඉන්නවා. එය වෙනස් වෙලා නැහැ. අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. මැච් එක ගහන්න ඕන පිච් එක රෙඩි නම් විතරයි. දැන් අපි පුහුණුවීම් කටයුතු කරමින් ඉන්නේ මැච් එකට. බෝලේ දාන අයට බෝලේ පුරුදු කරලා තියෙන්නේ. ගහන අයට ගහන විදිහ පුරුදු කරලා තියෙන්නේ. මැච් එක දවසට බලාගන්න පුළුවන් මැච් දිනන්නේ කොහොමද කියලා.

කොච්චර පුරුදු වුණත් ටීම් එක දාන්නේ තේරීම් කමිටුවේ සභාපති විසින්? ඒ කියන්නේ පක්ෂ නායකයා? ලේසි වෙයිද?

ඔබ හිතන් ඉන්නේ එහෙමද? අපේ පක්ෂයේ තීරණයක් තියෙනවා ඊළඟ මැතිවරණයට ඉදිරිපත්වන නායකයා පිළිබඳව තේරීමේ අයිතිය පාර්ලිමේන්තු කණ්ඩායමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් හිමියි කියලා.

දැන් හොඳම නායකයා තෝරාගෙන ඉවරද?

ඒ නායකයාගේ වැඩපිළිවෙළ දැන් අපි හදලා තියෙන්නේ. වර්තමාන නායකයා ඒ නායකයා හදන තැනකට මේ පක්ෂය ගොඩනගලා තියෙන්නේ. ඉදිරියේදී එතුමා තීරණය කරයි පාලකයා කවුද කියලා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවාම අපි අහලා තියෙනවා අතමිට සරුවන යුගයක් කියලා. ඒත් මේ පාර ඒක වුණේ නෑ නේද? දැන් තියෙන්නේ බදු විතරයි නේද?

ඔබතුමාට අමතකයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැඩිකළ බඩු මිලට වඩා අඩු තැනක බඩු මිල තියෙන්නේ කියලා. වියදම් අඩුයි. තෙල් මිල වැඩිවීම සහ ඩොලරයේ අගය වැඩිවීම නිසා යම් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. රජයට ඇඟිල්ල දික් කළාට වැඩක් නෑ මොන ආර්ථික විද්‍යාඥයා වුණත්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ නිසා අද වනවිට ලෝකයේ බොහොමයක් රටවල් ආර්ථික ප්‍රශ්නයේ හිරවෙලා ඉන්නේ. හැබැයි ඔබට එකක් කියන්නම්. අපේ රටේ ආර්ථිකය දැන් ස්ථාවරයි.

හැබැයි ඔය කියන දේවල් ජනතාවට වෙළඳ පොළේදී අත්දකින්න වෙන්නේ නෑනේ?

ඔබ හොයලා බලන්න සංසන්දනය කරලා බලන්න කොච්චර වෙනසක් තියෙනවාද කියලා. මම යෝජනා කරනවා. ගොඩක් බලන්නේ නැතිව චෝදනා දානවා.

ඒ වුණාට දැන් බස් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. ගෑස් මිල ඉහළ ගිහිල්ලා. මේවාත් මේ ජීවන බරේම කොටසක් නේද? ඒකට රාජපක්ෂවරු වග කියන්න ඕන කියන එක උත්තරයක් නෙමේ නේද?

ලෝක වෙළෙඳපොළේ මිල තත්ත්ව මත තෙල් මිල වෙනස් වෙනවා. ඒකයි මෙතැන වෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඔය මොනදේ වුණත් ජනතාවට ගමට අපි විවිධ ව්‍යාපෘති අරන් ගිහින් තිබෙනවා. දැන් බලන්නකො රෝගීන්ට ගන්න බැරිවෙච්ච විශාල වටිනාකමින් යුත් බෙහෙත් අඩු මුදලට දැන් ගන්න පුළුවන්නේ. ඒක හොඳ නැද්ද? 

ඔබ සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවට එකඟද?

නෑ. කවදාවත් එකඟ නෑ. එහෙම සම්මුතිවාදයක්වත් යහපාලනයක්වත් එතැන නෑනේ. දැන් පේනවානේ සමහර දේවල්වලට අගමැතිවරයායි එක්සත් ජාතික පක්ෂය විතරයි වගකියන්න ඕන.

අවසාන වශයෙන් අහන්නේ කවුද ඊළඟ එජාපයේ අපේක්ෂකයා?

අපේ දැනට අපේක්ෂකයා අග්‍රාමාත්‍යවරයා. හැබැයි එතුමා ඉදිරිපත් වෙනවා නම් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉතාම ශක්තිමත් කරලා රටේ ජනතාව ඉල්ලන දෙවන පෙළේ නායකත්වය ශක්තිමත් කරන්න ඕන. මේක මගේ මතය. මම හිතන්නේ එහෙම නොකළොත් පසුබෑමට ලක්වෙනවා.

ගයාන් ගාල්ලගේ