2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

විපක්ෂයේ දේශපාලනය රාජපක්ෂ පවුලේ බූදලයක් වෙලා

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

විදුලිබල හා පුනර්ජනනීය රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

♦ පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් අපි වැරදි හදාගත්තා
♦ මෝදි හමුවුණු මහින්ද මහත්තයා අපේ වැඩපිළිවෙළ අනුමත කරල
♦ ජනබලයට ආ ජනතාව පාරේ: ලොක්කෝ තරුපහේ හෝටල්වල
♦ අපි එජාපයෙන් දාන්නෙ පොදු අපේක්ෂකයෙක්
♦ නැව් ආපු නැති වරායකට නැව් ගෙනාපු එක වැරදිද?
♦ ප්‍රචාරණය අතින් අපේ ආණ්ඩුව දුර්වලයි
♦ පොලීසිය රණවිරු දඩයමක නෑ: එහෙම චෝදනාවකුත් නෑ
♦ චෝදනා ඔප්පුවෙලා නෑ කියන එක හැම වැරදිකාරයෙක්ම කියනවා

දැන් ටික ටික ආණ්ඩුව ඇතුළේ කචල් එක එළියට එනවා නේද?

එහෙම ගැටලුවක් නෑ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය එකතුවෙන් වැඩ කරනවා වගේම හැලහැප්පිලිත් තියෙනවා. ඒ අවස්ථාවලට කියනවා අපි සංවරණ හා තුලන කියල. එතකොට මේ සංවරණ හා තුලන රහසිගතව ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදි සමහර ක්ෂේත්‍රවලදි ජනතාවට පෙනෙන්නත් පුළුවන්. මම හිතන්නෙ විනිවිද ආණ්ඩුවක මෙවැනි දෑ පෙනෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ නෑ ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් තියෙනවා කියලා. ඒකෙන් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න ලෙස ආණ්ඩුව ඉදිරියට යනවා කියලා.

අපි කවදාවත් දැකලා නෑනෙ ජනාධිපතිවරයා අගමැතිවරයා නැති වෙලාවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනවා?

නෑ. මීට කලිනුත් එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට තමන්ගෙ කාරණා පිළිබඳ උපදෙස් ගන්නත් කැබිනට් එක රැස් කරනවා. ඒවා සාධාරණ නීත්‍යානුකූල දෙයක්. ජනාධිපතිතුමා තීරණ ගන්නෙ තමන්ගෙ සාමාජිකයන්ගෙ අදහස් විමසලා. සාමාන්‍ය දෙයක් මේක.

හැබැයි ජනාධිපතිතුමා ඒ කැබිනට් එක රැස්කරලා කියන්නෙ රජය යටතේ තියෙන නීතිය පසිඳලන ආයතනවල අවුල් සහගත තත්ත්වය ගැන?

ඔබ කියන ආකාරයේ බරපතළ විවේචන සිදුව නැති බවයි අපිට වාර්තා වෙන්නෙ. අපිට ආරංචියි සංවාදශීලී රැස්වීමක් තිබිලා තියෙන්නෙ. එහෙම ගැඹුරු සංවාදයක් තිබිලා නෑ.

හැබැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා නේද පොලීසියේ වැඩපිළිවෙළ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රමවේදයකට යන්න උත්සාහ ගන්නවා කියලා අධිකරණයේ නඩු දමන්නෙ නැතුව හිර කිරීම සම්බන්ධයෙන්?

ඔබට වාර්තා වී ඇති තොරතුරු වැරදියි. ඔබ කියන ආකාරයේ තොරතුරක් නෙමෙයි වාර්තාවෙලා තියෙන්නෙ.

ඔබට අනුව එතැන කතාවෙලා තියෙන්නෙ කුමක්ද?

මේ රටේ නීතිය හා සාමය වඩාත් නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති ගැටලු පිළිබඳව වඩාත් පුළුල් ලෙස සාකච්ඡා වෙලා තියෙනවා. අපි මේ ගැන විමසලා බැලුවා.

හැබැයි චෝදනා එල්ලවන්නෙ පොලීසියට?

පොලීසිය එවැනි රණවිරු දඩයමක නෑ. එවැනි චෝදනාවක් නෑ. අපේ රටේ පොලීසිය යුද්ධයෙන් පසුව සිවිල් ජනතාවට එරෙහිව ඇතැම් අපරාධකරුවන් කරන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක ගවේෂණයක යෙදෙනවා. ඒ ගවේෂණය අනුව පියවර ගන්න පොලීසියට අයිතියක් තියෙනවා. ඒ අපරාධකරුවන්ගෙ තරාතිරම හෝ රැකියාව අදාළ නෑ.

හැබැයි ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පවසලා තියෙනවා පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු සහගත බව. විශේෂයෙන් රණවිරුවන් ගැන?

එහෙම කරුණක් සිද්ධවෙන්නෙ නෑ. අපරාධ හා සම්බන්ධ සැකකරුවන් පොලීසියට අත්අඩංගුවට ගන්න බලය තියෙනවා. එම පුද්ගලයන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න බලය තියෙනවා. යම් පුද්ගලයෙක් බන්ධනාගාරගත කරන්නෙ රක්ෂණාභාරයට පත් කරන්නෙ මහේස්ත්‍රාත් නියෝගයක් මත. මේ රටේ අධිකරණය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ප්‍රමාණවත් සාක්ෂිවලට විතරයි එහෙම කරන්නෙ. විශේෂයෙන් ළමයි එකොළොස් දෙනා සම්බන්ධ ඝාතනයෙදී ඒ පැමිණිල්ල කළේ හිටපු නාවික හමුදාපතිවරයා ඔහුගේ යටතේ හිටපු අය කළේ කියලා. මේ ළමයි ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒ නිසා අපි කියන්නෙ මේ ඝාතනයට සම්බන්ධ අයත්, මේවා වසන් කරන අයත්, සැකකරුවන්ට රැකවරණය දුන් අයත් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි.

ඇයි එහෙනම් ඇදෙන්නෙ මෙච්චර පැමිණිලි?

මේ රටේ නීතිය ශක්තිමත්. ජනාධිපතිවරයත් අගමැතිවරයත් මේ රටේ නීතියට යටත්.

හැබැයි ඔබ හිතනවද ජනාධිපතිවරයා මේ කටට එනවට කියන දේවල් කියල?

නෑ. මම හිතන්නෙ ජනාධිපතිවරයා කියන දේ ඔබත්, වාර්තා කරන අයත් වැරදියට ගන්නෙ. තමන්ගෙ හිතේ තියෙන සිතුවිලි සහ ආකල්ප අනුව තමයි ඒවා ගන්නෙ. හැබැයි ඒ ගැන දන්න පුද්ගලයකු වගේම ජනාධිපතිවරයා ළඟින් ඇසුරු කරන පුද්ගලයෙක් හැටියට මම දන්නවා ක්‍රියාදාමය ඉක්මන් කිරීමත් ඉක්මනින් නඩු පැවරීමත් යන කාරණා ගැන තමයි එතුමා නිතර කියන්නෙ. ඒ නිසා අපිත් ඉල්ලා සිටිනවා දැනට නඩු පවරලා තියෙන ඒවාවල ඉක්මනින් නඩු අහල සියලු දෙනාටම සාධාරණය යුක්තිය ඉටුකරන්න කියලා.

දැන් ඔබලගේ පක්ෂයේම සාමාජිකයෙක් වගේම ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක් වුණු සරත් ෆොන්සේකා මහත්තයා යුද හමුදාව විවේචනය කිරීම සම්බන්ධයෙන් ගැටුමක් ආරම්භවෙලා තියෙනවා. ඔහු කියනවා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා?

ඒ ප්‍රකාශය වර්තමානයේ ධූරය දරණ හමුදාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරල තියෙනවා. ඒ වගේ හමුදාවේ කිසිම අඩුකිරීමක් කරල නෑ. මේ රටේ ආරක්ෂාව, ඔත්තු සේවාවල ශක්තිය අඩුකරල නෑ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා පවා කිව්වා එවැනි තත්ත්වයක් නෑ කියල. එතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපේ හමුදාවේ වර්තමාන නායකයා ගැන විශ්වාසයක් තියෙනවා.

හැබැයි රටේ දේශපාලන අධිකාරිය මේ ආකාරයෙන් කරන ප්‍රකාශ ගැන කවුද වගකීම ගන්නෙ?

ඒ කියන අය වගකීම දරන්න ඕන. අපි නෙමෙයි.

නමුත් ආණ්ඩුවේ සාමූහික වගකීම යටතේ එවැනි ප්‍රකාශ කිරීම වැරදියි නේද?

එතැනින් එහාට මම කියන්න යන්නෙ නෑ. මගේ අදහස මම කිව්වා. ආණ්ඩුවට එරෙහි ප්‍රකාශ කරන මැතිඇමැතිවරු එක්කෙනෙක් නෙමෙයි කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අයගේ දේශපාලන ඉරණම රටේ පුරවැසියෝ තීන්දු කරයි.

හැබැයි මේ ප්‍රකාශ මත යහපාලන රජයේ පිපිරීම පේනවා නේද?

එහෙම නෑ. පුද්ගලයන් පුද්ගලයන් අතර ගැටුම් ඇතිවෙන්න පුළුවන්. පුද්ගලයන් පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් සමස්තයේම අර්බුදයක් ලෙස දකින එක වැරදියි.

හිටපු ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයේදී කිව්වා ඔහුගේ ඩොලර් බිලියන 18 තවම හොයාගෙන නෑ කියලා මේ ආණ්ඩුව. ඔහු මේ ගැහුවේ ආණ්ඩුවේ දුර්වලකමට?

එතුමානෙ කියන්නෙ ඔය කතා. කොහොම වුණත් අපරාධ 129කට අදාළව පරීක්ෂණ සිදුකෙරෙනවා. ඒ ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් හඳුනාගෙන නඩු පවරල තියෙන්නෙ. ඒ වගේම නඩු 20කට අධික ප්‍රමාණයක් මහාධිකරණයේ ගොනුකරලා තියෙන්නෙ. නඩු ඉක්මනින් අවසන් කිරීමට සහාය දැක්වීමයි රාජපක්ෂ මහත්තයා පළපුරුදු දේශපාලනඥයෙක් හැටියට කළ යුත්තෙ. රාජපක්ෂ මහත්තයට කියන්න පුළුවන්, ඔව් මට විරුද්ධ චෝදනා කිසිවක් ඔප්පු වෙලා නෑ කියල. ඒක හැම වැරදිකාරයෙක්ම කියන දෙයක්.

විපක්ෂය කියන්නෙ මේ අලුත් උසාවි එහෙම රාජපක්ෂවරු දඩමීමා කරගෙන ආරම්භ කළ ඒවා කියල. මේ දේශපාලන පළිගැනීම් කියනවා?

ඒකට හේතුවෙලා තියෙන්නෙ ඔවුන්ගේ විපක්ෂය කියන්නෙ රාජපක්ෂවරු. රාජපක්ෂවරු ගොඩනගපු විපක්ෂය ඕක. විපක්ෂයේ දේශපාලනය රාජපක්ෂ පවුලේ බූදලයක්. පේනවනෙ ඔහුට ඡන්දය ඉල්ලන්න බැරිවුණාම කියන්නෙ තමන්ගෙ සහෝදරයා දානවා කියල. ඉතින් එහෙම පරිසරයක් තියෙද්දි රාජපක්ෂවරු ගැන නොකියා වෙන මොනවා කියන්නද? ඔය පක්ෂයෙ නමවත් දන්නවද?

අපි දැක්කා ජනබල මෙහෙයුම විශාල උද්ඝෝෂණයක් සංවිධානය කළා විපක්ෂය. විශාල ජනතාවක් පැමිණියා. දැන් මේ දෙයින් පේනවා නේද ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගැහෙනවා. විපක්ෂ කණ්ඩායම් පීඩනය එනවා කියල?

විපක්ෂයේ සත්‍ය ස්වාභාවය මේ පාගමනින් හෙළිවුණා. පළවෙනි වතාවට විපක්ෂයේ පාගමන අසාර්ථක බව පිළිගෙන තිබුණා. ඒක කවුරුත් දන්න දෙයක්. මිනිස්සු අරගෙන එන්න පුළුවන්. ඒත් අරමුණක් නෑ, ජවයක් නෑ. මත්පැන් බීලා විනෝද වෙලා ගියා. නායකයෝ ටික හිල්ටන්, ෂැංග්‍රිල්ලා හෝටලයේ ජොලි කළා. ඒක තමයි විපක්ෂයෙ දේශපාලනය.

පහුගිය පළාත් සභා ඡන්දයේ ප්‍රතිඵලත් එක්ක බලද්දි ජනතාව ආණ්ඩුවට රතු එළියක් දුන්නා. ඒ බව මේ ආණ්ඩුව පිළිගත්තා කියල ඔබ හිතනවද?

ඔව්. අපි එය නිවැරදි කරගත්තා. අපි ග්‍රාමීය සංවර්ධනය කරන්න ගම්පෙරළිය වගේ වැඩසටහන් ආරම්භ කළා. පෞද්ගලික අංශයෙන් රැකියා ව්‍යාපාර ගොඩනගන්න එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ආරම්භ කළා. පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරන්න වැඩපිළිවෙළ සකස් කරල තියෙනවා. ඒ වගේම අපිට විරුද්ධව ඡන්දය වැටුණේ මේ දඬුවම් ලබාදීම ප්‍රමාද කිරීම නිසා. ඒ නිසා ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටෙව්වා.

ඉතිහාසයේ අහල තිබ්බේ එජාප ආණ්ඩුවක් ආපුවම අතේ මිටේ මුදල් ගැවසෙනවා කියල. ඒත් මේ පාර වැරදුණා නේද? මිනිස්සුන්ගේ සාක්කු හිස්?

අපි රට බාරගනිද්දි විශාල මූල්‍ය අර්බුදයක හිරවෙලා තිබ්බෙ. අපි දැන් ඒ අභියෝගය බාරගෙන විසඳමින් යනවා. එක පැත්තකින් ණය ගෙවනවා. අනෙක් පැත්තෙන් ආයෝජකයෝ ගේනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුදු දෙකකට කලින් ඡන්දය තිබ්බෙ මේ අර්බුදයෙන් ගැලවෙන්න. ඒත් අපි එයට මුහුණදෙමින් යනවා.

හැබැයි මොන දේ කිව්වත් ජනතාවට සහන සලසන්න ගෙනාපු තෙල් මිල සූත්‍රයට අනුව තෙල් ඉහළ ගියා විතරයි. පහළ බැස්සෙ නෑ?

මිල වැඩිවෙනවා වගේම අඩුවෙන්නත් ඕන. දැනට සිදුවෙන්නෙ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගණන ඉහළ යාම. ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල අඩුවෙනකොට දේශීය මිල අඩුවෙනවා.  ඒක විනිවිද භාවයෙන් යුත් ක්‍රියාවලියක්. අපි කියනවා මේ මිල සූත්‍රය ජනතාවට ඉදිරිපත් කරන්න. ගණන් හදන හැටි පෙන්නන්න කියල.

ඇත්තටම ආණ්ඩුව දැන් ඉන්නෙ මූල්‍ය අර්බුදයකනෙ?

අර්බුදයක නෑ. අපිට උරුම වෙච්ච අභියෝගයට මුහුණදෙමින් යනවා. එහෙම නැතුව දරාගන්න බැරි විදිහෙ ගැටලුවක් නෑ.

ඒත් යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී භාණ්ඩාගාරයේ මුදල් වෙන්කිරීමේ ගැටලු තියෙනවා නේද?

අභියෝග තියෙනවා. අභියෝග කළමනාකරණය කිරීමයි රජයක් කරන්නෙ. එහෙම නැතුව කිසිම රජයක් පහසුවෙන් මුදල් දීල නෑ.

ආණ්ඩුව කිව්වේ ආයෝජකයන්ගෙන් රට පුරවනවා කියල. එහෙම අරගෙන ආපු ආයෝජකයෙක් පේන්න නෑනෙ?

අපේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම තමයි ප්‍රචාරණයේ තියෙන දුර්වලකම්. අපි සමඟ එකඟවෙලා තියෙන ආයෝජන, ක්‍රියාත්මක වෙන ආයෝජන සම්බන්ධව කිසිම හෙළිදරව්වක් සිදුකරල නෑ. ඒත් ඉතිහාසයේ දැවැන්තම ආයෝජකයන් ඉන්නෙ අපිට.

විපක්ෂය කියන්නෙ ආයෝජකයෝ ගේනවට වඩා තියෙන ව්‍යාපෘති විකිණීමයි මේ ආණ්ඩුව කළේ කියල?

එහෙම කිසිම ව්‍යාපෘතියක් විකුණලා නෑ.

99 අවුරුදු බද්දට දීලා තියෙනවනෙ. රටවල් සතුටු කරන්න දීලා තියෙනවා කියල චෝදනා තියෙනව?

එහෙම කිසිම දෙයක් කරල නෑ. නැව් ආපු නැති වරායක් නැව් ගෙනෙන තැනට පත් කළේ අපි. ඒ රජයත් එක්ක සමගාමීව යන වැඩසටහන්. පෝර්ට් සිටි එක රාජපක්ෂ මහත්වරු විකුණල තිබ්බෙ චීනයට. අපි ඒ සින්නක්කරය නවත්වල බදු ගිවිසුමකට ගියා. ඉතින් රජයට මුදල් නොමැති නම් ආයෝජකයෝ සමඟ ගිවිසුම්වලට ගිහින් රටට හිතකර ආයෝජන රටට සිදුකිරීම හොඳ දෙයක්. ඔබට දැනගැනීමට කියන්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා මෝදි අගමැතිවරයා හම්බවුණාම අපේ මේ ගෙන යන වැඩපිළිවෙළ පෞද්ගලිකවම අනුමත කරල තියෙනවා. අපි සතුටු වෙනව එතුමා රට ඉදිරියේ නැතිවුණත් මෝදි ඉදිරියේ හරි පිළිගත්ත එක.

මහින්ද රාජපක්ෂ මහත්තයා කියල තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයට සහෝදරයෙක් දාන්නෙ කියල. ඒක අභියෝගයක් නේද?

ඒක එන විදිහ හොඳයි. මගේ මිත්‍ර වෙල්ගම මහත්තයා කියල තිබ්බා විපක්ෂයේ අයිතිය රාජපක්ෂවරුන්ට නෙමෙයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් අයිතියක් තියෙනවා. ඒක පිළිගත්තෙ නැත්තම් 2015 ඉගෙනගත් පාඩම රාජපක්ෂවරුන්ට විඳින්න වෙන බව. ඒ වගේම අලුත් මෛත්‍රීපාල කෙනෙක් එතකොට බිහිවෙනවා කියල. අපි නෙමෙයි කියන්නෙ වෙල්ගම මහත්තයා. එනිසා අපිට කියන්න තියෙන්නෙ මේ මෛත්‍රීපාලට වඩා හොඳ මෛත්‍රීපාල කෙනෙක් රටට ඉදිරියේ බිහිවෙනවා කියල.

ඒ කියන්නෙ අනාගතේ ඔබල තනි අපේක්ෂකයෙක් අරගෙන තනියම එන්නෙ කියල?

අපි එක්සත් ජාතික පෙරමුණෙන් එන්නෙ. තවත් පුළුල් කරගෙන එන්නෙ. ඉදිරියේදී තවත් පක්ෂ ගණනාවක් එකතු කරගන්නවා.

ඒ කියන්නෙ ඉදිරියේ පොදු අපේක්ෂකයෙක් නෙමෙයි?

නෑ. පොදු අපේක්ෂකයෙක්. ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්.

ගයාන් ගාල්ලගේ