2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ගැස්සිල්ල අපිට බණින තරමින් පේනවා

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ආණ්ඩුවේ ගැස්සිල්ල අපිට බණින තරමින් පේනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

♦ මේ ජනබලය පිටුපස්සේ බැසිල් මහත්තයත් හිටියා
♦ මේ අය ණය ගන්නේ රට හදන්න නොවේ මහබැංකු කොල්ලයේ පාඩුව වහන්න
♦ දේශපාලනය හැමදාම ඉගෙන ගන්න ඕන දෙයක්
♦ අගමැතිතුමා එදා කොළඹින් පැනලා හැංගිලා හිටියේ
♦ පා ගමනක නායකත්වය ගන්න ඕනෑ තරුණයෝ තමයි
♦ ජ.වි.පෙ.ඉන්නෙ ආණ්ඩුව රැකීමේ සටනෙයි
♦ ආණ්ඩුවේ සමහරු හිත හදාගන්න මාව බබෙක් වගේ පෙන්නන්න හදනවා

ජනබලය මෙහෙයුම නම් දැන් අවසන්. මොකක්ද මේ සටනේ අරමුණ?

පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් විපක්ෂයට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය කතානායකවරයා පිළිගන්නේ නැත්නම්, අපිට වෙනවා පාර්ලිමේන්තුවේ ජනබලය දියවන්නාවෙන් එළියට ගන්න. ඒක තමයි එදා අපි කළේ.

ඇත්තටම එදා අපේක්ෂා කළ දේවල් ඔබලාට සිදුකරගන්න හැකි වුණාද?

අනිවාර්යයෙන්ම. අපේ අරමුණ වුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනැල්ලා කොළඹ අඩපණ කරලා සාමකාමී සත්‍ය ක්‍රියාවක් කරන්න. මුළු ලෝකයක් දැක්කා විපක්ෂයක් හැටියට අපිට කරන්න පුළුවන් දේයි, ආණ්ඩුවට තියෙන විරෝධයයි. දවල් 12 ඉඳලා රෑ12 වෙනකල් සම්පූර්ණයෙන් කොළඹ ආර්ථික මර්මස්ථානය අඩපණ වුණා. එතනදි අපි දැනුම් දුන්නා ආණ්ඩුවට මැතිවරණ කල් නොතබා ඉක්මන් මැතිවරණයකට යන්න කියලා.

ඔබ කියනවා ආර්ථික මර්මස්ථාන අඩපණ කළා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එෙහෙම රටට කරන එක හොඳද?

රටේ ජනතාවගේ හඬට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම්, ආණ්ඩුව ජනතාවගේ මතය හෑල්ලුවට ලක්කරනවා නම් විහිළුවට ලක්කරනවා නම් රටේ ජනතාව මීට වඩා දැඩි තීන්දු ගන්න සූදානම්.

ඔබලත් එක්ක හිටිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කිව්වා කොළඹ පාලනයට ගන්නවා කියලා. හැබැයි හිතුව තරම් දෙයක් වුණේ නෑ නේද?

ආණ්ඩුව මොකක් හරි කියලා ඇඟ බේරගන්න එපැයි. එදා අගමැතිතුමා කොළඹ හිටියේ නෑ. මුදල් ඇමැතිතුමා රට ගිහින්. ජනාධිපතිවරයා කොළඹ හිටියේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු ආවේ නෑ. ඒ අය කොළඹින් පිට ගිහින් හිටියේ.

ඒ අය කොළඹින් පිට හිටියා. ඔබතුමා තරුපහේ හෝටලයක හිටියා....?

අපිට ඒ අය එවැනි චෝදනා කරනවා. අපි නෙමෙයි හැංගිලා හිටියේ එයාලා. එයාලා ජනබලයට බයවෙලා කොළඹ හැංගිලා ඉන්නකොට දැන් අපිට චෝදනා කරනවා. ඒකෙන් පැහැදිලියි ආණ්ඩුව කොච්චර කලබලද කියලා.

ඔබට හරියට කියන්න පුළුවන්ද කොපමණ සංඛ්‍යාවක් ආවාද කියලා?

ජනතාව විදිහට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගී වුණා කියලා තමයි අපේ ගම් මට්ටමේ සංවිධායකවරුන්ගේ දත්තවලින් පේන්නේ.

බස් කීයක් වගේ ආවාද?

බස් ප්‍රමාණය කියන්න එහෙම දැනුමක් නෑ මට. මොකද බස්වලින්, වෑන්වලින්, කෝච්චිවලින් සෙනඟ ආවේ.

ඔබලා ගෙන්න ගත්ත සෙනඟනේ....

අපි ගෙන්න ගත්ත සෙනඟ නෙමෙයි. කන්න බොන්න දීලා නෙමෙයි ගෙන්න ගත්තේ. ස්වේච්ඡාවෙන් සංවිධානය වෙලා ආපු සෙනඟක්.

ඔබ මෙහි සංවිධායක. ඔබ පිළිගන්නවද මේ පා ගමනේ අවසානයේ යම් සංවිධානය වීමේ අඩුපාඩුවක් තිබ්බා කියලා?

යම් යම් කුඩා අඩුපාඩුකම් වෙන්න ඇති. ලක්ෂ දෙකක ජනතාවක් සාමකාමීව මෙහෙයවනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. යූ.ඇන්.පී. එකේ අයයි, ජේවීපී එකේ අයයි එදා කොළඹ ගිනිතියන්න ආව වගේ ගමනක් නෙමෙයි අපි ආවේ. කොළඹ විනාශ කරන්න ආවා නම් සංවිධානාත්මකව වැඩේ කරන්න තිබ්බා. ඒත් අපි ආවේ සාමකාමී ගමනක්. ඒකෙන් ආණ්ඩුවටත් දන්වලා සාමකාමිව විසිර යන එක විශාල ජයග්‍රහණයක්.

නෑ... අපි කියන්නේ අවසානයේ ඇයි මිනිස්සු තැන් තැන්වල කොළඹ වීදි දිගේ හුදෙකලා වෙලා ඇවිද ඇවිද හිටියේ. එකතැනකට ගන්න බැරිවුණානේ...?

කිසිම ප්‍රශ්නයක් නෑ. ලක්ෂ දෙකක සෙනඟක් එකතැනකට ගැනීම ප්‍රායෝගිකව අමාරු දෙයක්. අපි කිව්වේ කොළඹ වටලනවා කියලා. ඉතින් ජනතාව කොළඹ තැන් තැන්වල හිටියා.

අපි දැකලා තියෙනවා ඊජිප්තුව, තායිලන්තය, පාකිස්තානය වගේ රටවල උද්ඝෝෂණ. ඔබලත් ඒවා අනුකරණය කළා. අනුකරණය කළාට ප්‍රායෝගිකව ඒවා කරන්න බැරිවුණා නේද?

අපි කිසිසේත් පිළිගන්නේ නෑ. ඒ රටවල කැරැල්ලක් ඇතිකරලා තමයි ආණ්ඩුව ගත්තේ. රාජ්‍ය නායකයා එළියට ඇදලා දාලයි බලය ගත්තේ. ඒත් අපි එවැනි දේකට සූදානම් වෙලා නෙමෙයි ආවේ. හැබැයි අපේ ජනතාවට කිව්වා නම් එවැනි දෙයක් කරන්න කියලා එහෙමනම් එවැනි දේකට සූදානම් වෙලා එනවා. ඒත් අපි ජනතාවට එන්න කිව්වේ සාමකාමීව උද්ඝෝෂණය කරලා මැතිවරණයක් ගන්න සටනකට.

දැන් මේ සටන ඉවරයි. ඊට පස්සේ.....

නෑ... මේ පළමු වෙඩිමුරය. තව තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට යනකල් තියෙනවා. ඒ මතයට ආණ්ඩුව අවධානය යොමු නොකර ජනතාවගේ හඬ හෑල්ලුවට ලක්කරනව නම් ඉදිරියේදී ජනතාව දැඩි තීන්දු ගන්නවා.

දැන් මෙච්චර දෙයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා එජාපය අහනවා?

මම මෙය සංවිධානය කරන්න නායකත්වය දුන්නා. සතපහක් වියදම් වුණේ නෑ. රටේ ජනතාව අමාරුවෙන් ගෙවල්වලින් කෑම උයාගෙන, සමහර අය බඩගින්නේ ඇවිත් තමයි මේ උද්ඝෝෂණයට සහභාගි වුණේ. සමහර අවස්ථාවල කොළඹ ව්‍යාපාරිකයෝ ස්වේච්ඡාවෙන් අපිට උදව් කළා. සමහර වෘත්තීයවේදීන් වතුර බෝතලයකින් පවා ආධාර කළා. එහෙමයි කළේ. ඔව්, එජාපයට පුරුදු සල්ලි දීලා මිනිස්සු ගෙන්නන එක. අපි සල්ලි දීලා සෙනඟ ගේන්නේ නෑ.

අපි දැක්කා මාධ්‍යවල, සමහර කට්ටිය තැන් තැන්වල බීලා වැටිලා ඉන්නවා. බොන්නත් දුන්නද?

කිසි තැනක අපි මත්පැන් පානය කරන්න අවසර දීලත් නෑ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හරහා මත්පැන් බෙදීමක් සිදුකරලත් නෑ. අපිත් දැක්කා සමහර මාධ්‍යවල යනවා. සමහර මාධ්‍යවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තොප්පි දාගෙන හිටපු අයත් හිටියා. ඒකෙන් තේරෙනවනේ.... ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් බොන්න දීලා මේ රුලියේදී රණ්ඩුවක් ඇතිකරගන්න යනව කියලත් කලින්ම තොරතුරක් ලැබිලා තිබ්බා. අපිට තියෙන සැකය ඒ අය කලින් බීලා වැටුණද කියලා.

රාජපක්ෂවරු ශ්‍රීලනිපයේ අක්මුල්. මේ ජනතාව රාජපක්ෂවරු නිසා ආවේ. ඒත් පාක්ෂිකයෝ ශ්‍රීලනිප මූලස්ථානයට හූ කිව්වා. ඒක හොඳ නෑ නේද?

තමන්ගේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයට පාවලා දීලා තියෙනවා නම් ජනතාව ඊට විරුද්ධව හඬක් නැගිම සාධාරණ දෙයක්. අද ඩාර්ලි පාරේ ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රීලනිප බෝඩ් එක විතරයි. අනෙක් සියලු දෙනා අපිත් එක්ක ඉන්නේ.

බැසිල් රාජපක්ෂ මහත්තය තමයි මේ පොදුජන පක්ෂයේ නියමුවා. ඒත් ඔහු නැතිවෙලේ ඔබ පක්ෂය තමන්ගේ යටතට ගන්න කරපු වැඩක් කියලයි මේ කියන්නේ...

බැසිල් රාජපක්ෂ මහත්තය කියන්නේ දක්ෂ සංවිධායකවරයෙක්. මේ ජනබලය වැඩේ කරන්න පිටුපසින් බැසිල් රාජපක්ෂ මහත්තය හිටියා. එතුමාගේ කාර්ය මණ්ඩලයත් සියයට සීයක් සහයෝගය දුන්නා. ඔය කටවල්වලින්ම තමයි මැයි දිනය වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්තයට බැන්නේ. එදා ඔහුට සංවිධාන හැකියාවක් නෑ කිව්වා. අද නාමල් රාජපක්ෂ නරකයි බැසිල් රාජපක්ෂ හොඳයි. ඊළඟ පාර තව කෙනෙක් දැම්මොත් කියයි නාමල් නැතුව බෑ කියලා.

ඇයි එහෙනම් බැසිල් රාජපක්ෂ මහත්තය විදෙස් ගතවුණායින් පස්සේ මේක කළේ?

මේ පස්වෙනිදා කියන දිනය තීන්දු කරන වෙලාවේ ඒ කමිටුවේ බැසිල් රාජපක්ෂ මහත්තයත් හිටියා. හැබැයි එතුමාට විදෙස් ගතවෙන්න පාස්පෝට් එක ගන්න උසාවි පහකින් අවසර ගන්න වුණා. එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෞද්ගලික හේතූන් මත විදෙස් ගතවුණා. අගෝස්තු 17 තියන්න තිබ්බ එක කල් දැම්මේ උසස් පෙළ නිසා. ඒ වෙලාවේ එතුමා කිව්වා මම නැතිවුණාට කමක් නෑ ඔයාලා කරගෙන යන්න කියලා.

මංගල සමරවීර අමාත්‍යවරයා කිව්වා ඔබ පොතක් පතක් කියවන්නේ නැති තරුණයෙක්. තවම බබෙක් කියලා. මේ වැඩෙත් නාමල් බේබිගේ බබා පාර්ට් එකක් කියලා තව අය කිව්වා...

එතුමන්ලා හිත හදාගන්න කියන දේවල්. එතුමලට මාව බබෙක් වගේ පේනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ගමන මට බබා කිය කියා එතුමලා සැප ගන්න ආණ්ඩුව ගෙදර යවන සටනයි. අන්න ඒ දේ මම කරනවා.

අගමැතිවරයත් කිව්වේ මේ පා ගමනින් පොහොට්ටුවේ රැස් බැස්සා කියලා...

අගමැතිතුමා එදා කොළඹ හිටියේ නෑ. කොළඹින් පැනලා ගිහින් හැංගිලා හිටියේ. එතුමා මාධ්‍යයෙන් තමයි ජනතාව දැක්කේ. ඒකයි එහෙම කියන්නේ. හැබැයි නව නායකත්වයක් බලාගෙන වැඩකරපු අයට එතුමා නම් කනේ පහරක් ගැහුවා 2030 වෙනකල් ඉන්නවා කියලා.

දැන් ඔබලගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් ඉන්නවා. ඒත් මේ පා ගමනේ නායකත්වය ගත්තේ ඔබ. අපිට හිතෙන්නේ ඊළඟ නායකත්වයට මේ පාර කැපිල්ලක්ද කියලා...

මේක මේ ආණ්ඩුව එළවන වෙඩිමුරය මිසක් පුද්ගලයෙක් නායකත්වයට ගේන්න හදන ජන අරගලයක් නෙමෙයි. අපේ අරමුණ මේ අදූරදර්ශී ආණ්ඩුව පලවා හැරීම. කොහොම වුණත් පා ගමනක නායකත්වය ගන්න ඕන තරුණයෝ. ඒ නිසා තරුණයන්ට නායකත්වය ලැබුණා.

ආණ්ඩුව පෙරළන්න තමයි එනවා කිව්වේ. ආණ්ඩුව කියන්නේ අපිට දැනුණේවත් නෑ කියලා.

ආණ්ඩුවට මොකද දැනුණේ නැත්තේ. සැප්තැම්බර් 04 වැනිදා ඉඳලා අපි මොනවද කරන්නේ කියලා හොයනවා. දැන් මේ පා ගමන ඉවරයි. තවමත් අපිට බැණ බැණ ඉන්නවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව කොච්චර හෙල්ලිලද කියලා. මේක ආණ්ඩු පෙරළීමේ ආරම්භයක්. ඒ නිසා මැතිවරණයක් එනකල් මේ සටන දිගටම ගෙනියනවා.

ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩු විරෝධියි, ඔබලත් ආණ්ඩු විරෝධියි. ඇයි ඔබ දෙගොල්ලට එකට යන්න බැරි?

ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ ආණ්ඩු විරෝධී සටනක නෙමෙයි ආණ්ඩු රැකීමේ සටනක.

හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ගිය ආණ්ඩුවේ කට්ටිය බේරිලා ඉන්නේ මේ ආණ්ඩුවේ කට්ටිය එක්ක තියෙන ඩීල් නිසා කියලා...

එතුමලා එහෙම කියන්නේ එයාලගේ ඩීල් එක අහුවෙයි කියලා.

දැන් ඔබලා ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. ආණ්ඩුව කියනවා ඔබලා නිසා රටම හිරවුණා කියලා. කවුද ඇත්ත කියන්නේ?

මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට ගත්ත හැම ඩොලරයක්ම ආයෝජනය කළා. ඒ වගේ අදාළ ණය වෙලාවට ගෙව්වා. හැබැයි මේ ආණ්ඩුව ආවත් හරි මහින්ද මහත්තයා අවුරුදු 10කට ගත්ත ණයෙන් සියයට 50ක් මේ ආණ්ඩුව දැනට අරගෙන තියෙනවා. අඩුම තරමේ එක පාරක් එක බෝක්කුවක් හදලා නෑ. මේ අය සංවර්ධනයට නෙමෙයි සල්ලි ගන්නේ. මන්ත්‍රීවරුන්ට යාන වාහන ගන්න. ආණ්ඩුව පවත්වාගෙන යන්න. ඒ වගේම මහ බැංකු කොල්ලයේ පාඩුව වහගන්න. මේ නිසා අපිට චෝදනා දානවා කිසිදෙයක් කරන්න බැරුව.

ඒකට විසඳුමකට රාජපක්ෂවරුම ද හරියන්නේ?

නෑ. මේ රටේ ජනතාව කල්පනා කරනවා කරන්න පුළුවන් අය කවුද කියලා. අනික රාජපක්ෂලා නෙමෙයි ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ ඉල්ලන්නේ රටේ මිනිස්සු.

හැබැයි මහින්ද රාජපක්ෂ කිව්වට එන්නේ වෙන වෙන රාජපක්ෂවරුන්ගේ නම්නේ දැන් එළියට?

එහෙම දෙයක් නෑ. ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමට ඉල්ලන්න බැරිනම් එතුමා පත් කරන ඕනෑම කෙනෙකුට නායකත්වයට එන්න පුළුවන්. රාජපක්ෂවරු කියලා විශේෂයක් නෑ.

දැන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එකතු කරන්න හදනවා. ඒක හොඳද? 16 දෙනා කරන්නේ ඒ දේ?

අස්ථාවර ආණ්ඩුවකට ජැක් ගහන එක හොඳ දෙයක් නෙමෙයි. 16 දෙනාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉක්මනින් ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට යන එක.

අවසාන වශයෙන් අහන්නේ ඔබට හිතෙනවද තව තවත් මේ දේශපාලනයට ඔබ පරිණත වෙන්න ඕන කියලා?

දේශපාලනය කියන්නේ එදිනෙදා ඉගෙන ගත යුතු දෙයක්. මගේ දේශපාලනයට අවුරුදු අටයි. මට නායකත්වය දෙන සහ උපදෙස් දෙන අය අවුරුදු 20-30-50 දේශපාලනය කරපු අය. ඒ අයගෙන් ඉගෙන ගෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන.

ගයාන් ගාල්ලගේ