2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

මේ රටට ජාතික ආණ්ඩු හරියන්නේ නෑ

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

• ආණ්ඩුව අපට සහාය දෙනවා; අපි කළගුණ සලකනවා
• තොණ්ඩමන් ආණ්ඩුවෙන් දෙන ලක්ෂ දෙකේ දීමනාව ගන්නවා
• අපි හැමදාම වැඩ කළේ සිංහල ජනතාව එක්ක එකතු වෙලා
• දින සීයේ වැඩසටහන යටතේ මම ගෙවල් තුන්සීයක් හැදුවා
• වතුකරයේ ඡන්ද විකුණලා අපි සැප ගන්නෙ නෑ
• තොණ්ඩමන්ලා හැමදාම හිටියේ මිනිසුන්ව මෝඩයා 
• අපේ ජනතාවට ඉඩම් ඔප්පුවක් දීම ලොකු ගෞරවයක්

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනක් ගතවෙලා. ඒ ගතවුණු අවුරුදු තුන ගැන කැබිනට් අමාත්‍යවරයකු ලෙස කොහොම තක්සේරුවකද ඉන්නෙ?

අවුරුදු තුනෙන් අවුරුදු දෙකක් ගිහිල්ලත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කළේ නෑ. ජනතාවට දුන්නු ලොකුම පොරොන්දුව තමයි හොරු ටික අල්ලනවා කියලා. ඒ හොරැ ටික අල්ලන්න බැරුව ගියා. ඒක තමයි ආණ්ඩුවට මඟහැරුණු තැන. ඒ වගේ මහ බැංකුව සිද්ධිය වගේ පොඩි සිද්ධි වුණා. ඊට පස්සෙ එහෙමම කාලය ගියා.

ඒ ගිය අවුරුදු දෙකනෙ. දැන් යන අවුරුද්ද මොකෝ?

දැන් අවුරුද්ද සංවර්ධනය වෙන අවුරුද්ද. කාටවත් නෑ කියන්න බෑ. අපි හැමතිස්සෙම කියන්නෙ ජනාධිපතිතුමා අගමැතිතුමා එකතුවෙලා යන්න ඕන. ජනතාව ඡන්දය දුන්නෙ රට වෙනස් කරන්න. ඒක වුණේ නෑ. දැන්වත් ඒ වෙනස කරන්න ඕන.

ඔබ වතුකරයේ ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙක්. දැන් මේ ආණ්ඩුවෙන් වතුකරයේ ජනතාවට ලැබුණේ මොනවද?

වතුකරයේ ජනතාව මේ ආණ්ඩුවට කැමතියි. හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයේ වතුකරයේ ජනතාවට ගෙවල් දෙනවා කිව්වට දුන්නෙ නෑ. අයවැයේදිත් කිව්වා. හැබැයි මේ ආණ්ඩුව කිව්ව දේ කළා. අපේ ජනතාවට ඔප්පුවක් ලබාදීම කියන්නෙ ලොකු ගෞරවයක්. මොකද, මේ මිනිස්සු අවුරුදු 200ක් ඉන්දියාවේ ඉඳන් ඇවිත් ලයිම් කාමරවල ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට කවදාවත් නොකරපු දෙයක් තමයි මේ ආණ්ඩුව කරන්නෙ. ඒ නිසා අපේ ජනතාවට මේ ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

ඔබ නියෝජනය කරන වතුකරයේ ජනතාව තොණ්ඩමන් මහත්තයත් නියෝජනය කරනවා. ඔහු පරම්පරා ගණනාවක ඉඳන් දේශපාලනය කරන්නෙ. ඔහු වතුකරයේ ජනතාවට කළ දෙයට වඩා වැඩියෙන් ඔබ කරලා තියෙනවද?

අනිවාර්යයෙන් මම කරලා තියෙනවා. එයාට කට ඇරලා කියන්න, කියන්න එක ගම්මානයක් හදපු එකක්. එක ගම්මානයක් හැදුවේ නෑ. එයාට වඩා අපි වැඩ කරලා තියෙනවා. ඉස්සර තොණ්ඩමන් කිව්වොත් තොණ්ඩමන්ට තමයි ජනතාව ඡන්දය දැම්මේ. ඊට වඩා කිසි කෙනෙක්ට ගන්න බැරිවුණා. හැබැයි එයාලට විරුද්ධව ආපු මම ඡන්ද ලක්ෂයකට වඩා ගත්තා. ඒ මිනිස්සු මම ගැන විශ්වාස කරලා තියෙනවා.

ඔබ කියන්නෙ තොණ්ඩමන් කිසිම දෙයක් කරලා නැද්ද?

මම කරපුවා එකින් එක කියන්නම්. මම පර්චස් 07 බැගින් ඉඩම් අරගෙන දුන්නා. ගම්මානයක් දුන්නා. මේ මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් ඔප්පුවක් දීලා නෑ. ඔප්පුවක් දුන්නේ අපි. ඒ නිසා ඔය කාටත් වඩා මම කළේ.

ඔච්චර කළා නම් ඇයි පහුගිය පළාත් පාලන ඡන්දයේදි තොණ්ඩමන් ඔබට වඩා ඉස්සර වුණේ?

ඒක වුණේ මෙහෙමයි. ආණ්ඩුවේ වෙච්ච මහ බැංකු සිද්ධි එක එක ඒවා මගේ ගිණුමට වැටුණා. මොකද, මම ආණ්ඩුවේනේ. ඒ වෙලත් මම දිනුවා නුවරඑළිය, කොත්මලේ, මස්කෙළිය, හැටන් වගේ තැන්. අරයා දෙකක් තුනක් දින්නෙ. ඒත් එයා මහින්ද මහත්තයා එක්ක බලය පිහිටුවාගත්තා. ඒක ලොකු ජයක් නෙමෙයි.

හැබැයි ඔහුයි ඔබයි අතර තියෙන්නෙ දේශපාලනයට එහා ගිය සටනක්. මොකක්ද ඒ?

නෑ මට එයා එක්ක කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. මම එයා එක්ක මුහුණට මුහුණ බලාගෙනවත් කතා කරලා නෑ. මට තියෙන්නෙ එයා අපේ ජනතාවට කරන තක්කඩි වැඩ ගැන ප්‍රශ්නයක්. මේ අය අවුරුදු 60ක් දේශපාලනය කළා. සීයා ගැන විශ්වාසය තිබ්බා. හැබැයි මේ අය මේ මිනිස්සුන්ව මෝඩයා කරගෙන හිටියේ. එතකොට එකපාර මේ මිනිස්සු කඩන්න බෑ. පොඩ්ඩ පොඩ්ඩ ගන්න ඕන. දැන් මිනිස්සු අපේ පැත්තට එනවා.

දැන් ඔය කියන ඉතිහාසය තුළ වතුකරයේ ජනතාවට නොයෙකුත් පොරොන්දු දුන්නා. හැබැයි ඒ ජනතාව එතැනමයි. ඒ ජනතාවට ඔබ නිවැරදි නායකයෙක් කියලා හිතෙන්නෙ කොහොමද?

ඒ මිනිස්සුන්ට තමන්ගෙ අයිතියට ගෙයක් ඕන. තවම ඉන්නෙ ලයිම් කාමර ඇතුළේ. මම ඇවිත් දින සියයේ වැඩසටහන යටතේ ගෙවල් තුන්සීයක් හැදුවා. ඒ විශ්වාසය මත තමයි මට ඡන්දය දුන්නෙ. කොළඹ ආපු ළමයෙක්ගෙන් ඇහුවම කියන්නෙ ඉන්න පළාත විතරයි. ගෙවල් කියන්නෙ නෑ. ඇයි? වත්තෙ කිව්ව ගමන් සවුත්තු වෙනවා. දැන් බය නැතුව කියන්න පුළුවන්.

දකුණේ මතවාදයක් හැදිලා තියෙනවා දෙමළ නායකයෝ ජාතිවාදය වපුරනවා කියලා. ඔබත් දමිළ නායකයෙක්. මේකෙ ඇත්තක් තියෙනවද?

මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා අද වෙනකල් ජාතිවාදය ගැන කතා කරලා නෑ. අපි කියන්නෙ මේ රට කඩන්න බෑ. ජාතිවාදය ගැන කතා කරන දෙමළ විතරක් නෙවෙයි, සිංහල මුස්ලිම් නායකයොත් ඉන්නවා. හැබැයි ඒ සුළු කොටසයි. අන්න මේ දේවල් නැතිකරන්න ඕනෙ. ඒවා නැතිකරන්න පුළුවන් ජනතාවට විතරයි.

දැන් ඔබ එකඟද 13ට අනුව පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල බෙදෙන්න ඕන කියලා?

මම ඒ ගැන කියන්න කැමැති නෑ. නමුත් බලතල දුන්නා කියලා විශේෂයක් නෑ. මේ ඔක්කොම ලංකාවේ පොලීසියෙනේ. ඒ නිසා සම්පන්දන් ඉන්න කාලෙම විසඳුමකට ගියා නම් හොඳයි. නැත්තම් ජාතිවාදය ඇවිස්සෙනවා.

දැන් අලුතින් හදන්න යන ව්‍යවස්ථාවට උතුරේ දමිළ නායකයෝ තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. ඒත් අපි දැකලා නෑනෙ මේ වතුකරයෙ නායකයෝ එවැනි යෝජනා ඉදිරිපත් කරනවා?

අපි හැමදාම සිංහල ජනතාව එක්ක එකතුවෙලා ගියේ. නිකම් යෝජනා ඉදිරිපත් කරලා ප්‍රශ්න ඇතිකරගන්න ඕනෙ නෑ. අපි ඒකට ජනතාවට සංවර්ධනය සිදුකරනවා. එහෙම නැතුව මටත් නුවරඑළිය දෙන්න කියලා යෝජනා දෙන්න පුළුවන්. ඒක හරිද?

එහෙම පාඩුවේ හිටියා වුණාට හැම ආණ්ඩුවෙම ඇමැතිවරු?

අපි මොනවා කරන්නද? අපිට අගමැතිකම දෙනවද රටේ? ආරක්ෂක ඇමැති දෙනවද? මුකුත් දෙන්නෙ නෑ.

එහෙම කියලා මේ ජනතාවගේ ඡන්ද මල්ල පෙන්නලා ඔබලා සැප විඳිනවා?

නෑ. එහෙම ඡන්ද විකුණලා අපි සැප ගන්නෙ නෑ. අපි ඉන්න ආණ්ඩුව එක්ක හොඳට ඉඳලා අපේ ජනතාවට යමක් දෙන එක තමයි ලොකුම අරමුණ. ඒක විකුණගෙන කන්න නෙමෙයි. අපි මෙහෙම ඉඳලත් බොහොම අමාරුවෙන් වැඩ කරගන්නෙ. මම කවදාවත් එහෙම විකුණලා නෑ ඡන්ද. කාගෙන්වත් සල්ලි ගත්තෙ නෑ. සල්ලි ගත්තා නම් මේ පැත්තට එන්නෙත් නෑ. අපිටත් ජාතිවාදය ඇවිස්සුවා නම් මීට වඩා හොඳට ඉන්න තිබුණා.

තොණ්ඩමන් මහත්තයා ඉන්නෙ විරුද්ධව. ඔහු ආණ්ඩුවට කැමැත්තක් නෑ?

නැත්තෙ මොකද? මුත්තු සිවලිංගම් ඉන්නෙ එයාලගේ. ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක දීමනාවක් දෙනවනෙ. ඒකත් එයා ගන්නවා.

ඔබ වගකීමෙන්ද කියන්නෙ?

ඔව් බය නැතුව ලියන්න. ඔහු ඒ ලක්ෂ දෙක ගන්නවා. එයා ආණ්ඩුව එක්ක ඉන්නෙ.

මේ ආණ්ඩුවට එන ලොකු චෝදනාවක් ජීවන බර ගැන තැකීමක් නෑ කියලා. වතුකරයේ ඉන්නෙ දුප්පත් ජනතාව. ඊළඟ ඡන්දයකදි ජනතාව ඉදිරියට යන්න පුළුවන් නේද?

ගිය ආණ්ඩුවට වඩා මිල අඩුයි. පොඩි වැඩිවීමක් තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුවට වඩා අඩුයි. ඒක මේ ආණ්ඩුව මාර්කට් කරන්නෙ නෑ. අනික මේ රටේ ලොකු ණය බරක් තියෙන්නෙ. ඒක ගෙවන්න එපැයි.

මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලයේ මීට වඩා හොඳට දේවල් වුණා කියලා විරුද්ධ පක්ෂය කියනවා?

ඔව්. එතුමා ණය අරගෙන සංවර්ධනය කළා. මේ ආණ්ඩුව එහෙම නෑ. ණය අරගෙන සංවර්ධනය කළොත් රට විකුණන්න වෙනවා. එදා මහා පරිමාණ දේවල් හැදුවා රටට පෙනෙන්න. ඒත් අද ඒවාවල දුක මිනිස්සු විඳිනවා.

පහුගිය කාලයේ ඔබත් එක්ක ඉන්න නායකයෝ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බවුණා?

ඒ ගියේ මේ පළාත් සභා මැතිවරණයට ඉක්මනට යන්න ඕන. ඒ ගැන කතා කරන්නයි ගියේ. අලුත් ක්‍රමය යටතේද පරණ ක්‍රමය යටතේද කියලා බලන්න. එතුමත් කියලා තියෙනවා අලුත් හරි පරණ හරි මොකක් හරි ක්‍රමයටකට යමු කියලා. වෙන මුකුත් කතා කරලා නෑ.

ඔබ ඉන්නෙ අලුත් ක්‍රමය ඕනෙ කියලද? පරණ ක්‍රමය ඕනෙ කියලද?

අපි අලුත් ක්‍රමයට විරුද්ධ නෑ. ඒක ඕනෙ. නමුත් බලන්න, අපි හැටන් දිනුවා. අපිට හතක් ආවා. තොණ්ඩමන්ට දෙකයි ආවේ. ඒත් කට්ටිය එකතු කරලා තොණ්ඩමන් සභාව පිහිටෙව්වා. ඉතින් ඒක සාධාරණද? ඒ නිසයි කියන්නෙ අපි පරණ ක්‍රමයට යන්න අලුත් ක්‍රමය හරියට අපි හදාගමු.

මේ ගැන ජනාධිපති සහ අගමැති එක්ක සාකච්ඡා කළාද?

ඔව්. අපි ඒ අයට කියලා තියෙනවා. ඒකනෙ අපි සීමානිර්ණය ඡන්දයට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය කළේ.

ඔබ, මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන් යන අමාත්‍යවරු එකතුවෙලා පක්ෂයක් හදාගත්තා. දැන් ඒ පක්ෂයට මොකද වෙන්නෙ?

වැඩේ හොඳට යනවා. කිසි ප්‍රශ්නයක් නෑ.

නායකත්වයට යම් සටනක් පටන් අරගෙන නේද?

කිසිම ප්‍රශ්නයක් නෑ. මනෝ ගනේෂන් තමයි අපේ නායකයා. අපි පිළිගෙන තියෙනවා. මගේ පක්ෂයේ නායකයා මම. සන්ධානයේ නායකයා හැටියට මනෝව පිළිගෙන හොඳ ගමනක් අපි යනවා.

ඊළඟ මැතිවරණයකදී ඔබලා වෙනමද තරග කරන්නෙ?

ඒක දැම්ම කියන්න බෑ. ඡන්දය තීරණය කළාමයි අපි තීරණය කරන්නෙ. ඒ එනකල් අපි කියන්නෙ නෑ.

ඒ කියන්නෙ එදාට ගැටෙන්නෙ ඔය එකතුවත් එක්කද?

එහෙම නෑ. අපේ පක්ෂවල වෙනම ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ඡන්දය එනකල් කියන්නෙ නෑ. ඡන්දය අද එනවා, හෙට එනවා කිව්වට එන්නෙ නෑනෙ. බලාගෙන ඉන්නවා එදාට බලමු.

ඡන්දය එන්නෙ නෑ කියලා ඇයි අපිට කියන්නෙ. ඔබ ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. නායකයන්ගෙන් අහන්න පුළුවන්නෙ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අලුත් ක්‍රමය කියලා. අපි කියනවා පරණ ක්‍රමය කියලා. එතැනනෙ ගැටුම තියෙන්නෙ.

ඔබලා නියෝජනය කරන ආණ්ඩුවෙනෙ ශ්‍රීලනිපය ඉන්නෙ?

ඔව්. එහෙම බැලුවොත් ජනාධිපතිතුමත් ඉන්නෙ?

දැන් ඔක්කොම අමතක කරලා පහුගිය දවසක සභානායකවරයා කිව්වා ඉස්සරහට එන්නෙ ජනාධිපතිවරණයක් කියලා. දැන් ඔබලා හිතන්නෙ අලුත් අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලද?

මගේ ප්‍රතිපත්තිය තමයි එක්සත් ජාතික පෙරමුණ නම් කරන්නෙ කවුද? අපි ඒ අයට සහයෝගය දෙනවා.

ඒ කියන්නෙ ඔබලගේ එකතුවවත්, ඔබලගේ පක්ෂයවත් නෙමෙයි තීරණය ගන්නෙ. එක්සත් ජාතික පෙරමුණ ගන්න තීරණයට එකඟයි?

දැනට මේ ආණ්ඩුව අපිට උපරිම සහයෝගය දෙනවා. ඒක නිසා ආණ්ඩුවට කෙළෙහිගුණ දෙන්න එපැයි. මේ අයගෙන් ඔක්කොම අරගෙන වෙන කෙනෙක්ට උදව් කළොත් අපේ මිනිස්සු ඡන්දය දාන්නෙ නෑ. මාව විශ්වාස කරන්නෙ නෑ.

ඔබ මහින්ද රාජපක්ෂ සමඟ වැඩකළ පුද්ගලයෙක්. දැන් ඔහුගේ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ දාන්න යන්නෙ. ඔබට ඔහුත් එක්ක එකතුවෙන්න අදහසක් නැද්ද?

ඒ ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඒ අයගේ මතය. මට කියන්න බෑනෙ එන්න එපා කියලා. තරග කරලා බලන්න ඕනෙ. තව අවුරුදු එකහමාරක් තියෙනවා. ඒ වෙනකල් මුකුත් කියන්න බෑ.

අපි දැකලා තියෙනවා මේ ආණ්ඩුවේ ඇතුළේ ගත්ත තීරණ එළියෙදී වෙනස් වෙනවා. කට්ටිය විවේචනය කරනවා. ඇයි මේ?

මෙතැන තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්නවලට ගැටෙනවා මිසක් වැඩක් වෙන්නෙ හිමිහිට. ඒක තමයි මෙතැන විනාශ වෙන්න හේතුව. ඒක අර 16 කණ්ඩායමේ වැඩක්.

ඒ කියන්නෙ දැන් එහෙම අය නෑ ආණ්ඩුවේ?

දැන් ප්‍රශ්නයක් නෑ. එකමුතුව යනවා.

හැබැයි ආණ්ඩුවක් ගන්න තීරණ එහෙම වෙනස් වෙන්න විදිහක් නෑ?

ඔව්. ඒක තමයි මෙතැන වෙලා තියෙන්නෙ. නායකයෝ දෙන්නෙක් නෙමෙයි තුන්දෙනෙක් හිටියත් කමක් නෑ. හැබැයි පක්ෂ තියෙන්න බෑ. එකට ගියොත් ප්‍රශ්න.

ඒ කියන්නෙ ජාතික ආණ්ඩු සංකල්ප හරියන්නෙ නෑ රටට?

නෑ. හරියන්නෙ නෑ. මමත් හිතුවේ මුලදී හරි කියලා. ඒත් ප්‍රශ්න විතරයි. ඒ නිසා මේක වැඩක් නෑ.

ඒ කියන්නෙ මෙතැනින් පස්සෙ ජාතික ආණ්ඩු ඕන නෑ?

මගේ පෞද්ගලික මතය එහෙම අවශ්‍ය නෑ. කවුරුහරි තනි ආණ්ඩුවක් හදනවා නම් ඒකට අපි උදව් කරනවා. එතකොට තමයි ශක්තිමත්ව යන්න පුළුවන් වෙන්නෙ. නැත්තම් කේලම් කියලා දෙගොල්ලො කොටවනවා.

►ගයාන් ගාල්ලගේ