2018 ජුනි 23 වන සෙනසුරාදා

මෛත්‍රී රනිල් කියන්නේ එකම දෙපැත්ත

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

ශ්‍රී.ල.නි.ප.ය මේ වෙනකොට තුනකට කැඩිලා. කට්ටියක් රාජපක්ෂවරු එක්ක. 16ක් ස්වාධීනව, 23ක් ආණ්ඩුවේ. ඔබ ඉන්නේ කොයි කණ්ඩායමත් එක්කද?

මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ආණ්ඩුව නියෝජනය කරනවා අපි.

ඇයි ඔබට මේ ආණ්ඩුවේ ඉන්න බෑ කියලා අර 16 දෙනාට වගේ හිතුණේ නැත්තේ?

මම කනගාටු වෙන්නේ රටේ දේශපාලනඥයන් තමන් හදාගත්ත පැලේ ඉන්නේ නැතුව දුවන එක ගැන. තමන් හදාගත්ත පැල තමන්ට වටිනවා. මෛත්‍රීපාල මහත්තයා ආවේ බොහෝම අසීරු ගමනක්. අපි කාලයක් දැක්කේ ප්‍රධාන පක්ෂ දෙක ගහගන්න එක. ඉතින් අපි ජාතික සංහිඳියාවක් හදනවා නම් මේ දේශපාලන පක්ෂ දෙකේ සංහිඳියාව හදන්නේ නැතුව බෑනේ. ඒ වගේ පරමාර්ථයෙන් තමයි දින සීයේ ආණ්ඩුවට එකතු වුණේ. අප්පච්චි මළා කිව්වේ නිකන් නෙමෙයි. මහින්ද මහත්තයා ගෙදර යනවා කිව්වා, බැසිල් රට ගියා. ඉතින් එතකොට අපි මේ පාක්ෂිකයොයි පක්ෂයයි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපි අපේ හිටිය ලේකම්වරයා ගෙනල්ලා පක්ෂයේ සභාපති කළා. ඒ නිසා අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.

අපිට ආරංචි ආණ්ඩුවේ ඉන්න 23 දෙනා ඉදිරියේ ලොකු දේශපාලන තීන්දුවක් ගන්න යනවා කියලා.

මොන පෙරළියක්ද? අපි මේ නම් පෙරළියට සූදානම් ඒක ආණ්ඩුවේ වැඩපිළිවෙළනේ ග්‍රාම ශක්ති එකත් එක්ක.

ඔබ මේ කියන පෙරළියත් එක්ක කට්ටියක් එජාපයට යන්න හදනවා කියලා අපිට ආරංචියි.

නෑ. එජාපයට එකතු වෙනවා කියන එක නෙවෙයි ඕනෑම වෙලාවක දේශපාලන කුණාටු හමන්න පුළුවන්. ඒ නිසා දේශපාලන පෙරළි වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. හැබැයි එක දෙයක් කියන්න ඕන. මෛත්‍රීපාල මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එක කාසියේ දෙපැත්ත වගේ. ඒ කාසිය  කොහොම උඩ දැම්මත් එක්කෝ ජනාධිපති එක්කෝ අගමැති.

ඔබට ස්ථිරවම කියන්න පුළුවන්ද පක්ෂය අත්හරින්නේ නැහැ කියලා?

එහෙම අදහසක් නෑ. එහෙම වුවමනාවකුත් නෑ. හැබැයි ශ්‍රීලනිපය සන්ධානයක් වෙන්න ඕන.

කට්ටියක් කියනවා මහින්ද නැතුව බෑ කියලා. 16 දෙනත් කියනවා මහින්ද නැතුව බෑ කියලා. ඒත් ඔබට එහෙම අදහසක් නෑනේ මහින්ද රාජපක්ෂ එක්ක ගමනක් යන්න?

ඒ කට්ටියකගේ අදහසනේ ඒක. මගේ අදහස නෙමෙයි.

ඒ කියන්නේ රාජපක්ෂවරු එක්ක අනාගතයක් නැද්ද?

නෑ. නෑ. එහෙම නෙවෙයි. අපි සන්ධානයන් එකතු වෙන්න ඕන. අපි එකට ඒකාබද්ධ වෙලා යන්න ඕන. පුද්ගල බද්ධ දේශපාලනය මගේ නෑ.

හැබැයි ප්‍රසන්න රණතුංගත් ඒ වගේ බැසිල් රාජපක්ෂත් නොකියා කියනවා පොහොට්ටුවේ සාමාජිකත්වය ශ්‍රීලනිපයේ අය ගන්න ඕන කියලා. නැත්නම් ඔවුන්ව ගන්නේ නෑ කියලා. ඒක නියෝජ්‍ය කතානායකවරිය තෝරද්දී පෙනුණා.
ඔව් බැසිලුයි ප්‍රසන්නයි හිතනවා ඇති එහෙම බලය ගන්න පුළුවන් කියලා. ඔයිට වඩා වෙනස් මතයක මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නෙත්. දේශපාලනය කියන්නේ මිතුරන් වගේම හතුරන් සමඟත් වැඩ කරන්න ඕන. එහෙම නැතුව අරයා මෙයා එක්ක බෑ කියලා වරද්ද ගන්න නරකයි.

ඔබ ඔහොම හිතුවට බොහෝ දෙනා කියන්නේ නැවත ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා.

ඔව්. ඒගොල්ලන්ගේ මතයනේ. එහෙම කියලා මේ පක්ෂය දිය කරන්න බෑනේ. අපිට පසුගිය ඡන්ද ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන 30ක් විතර ගන්න පුළුවන් වුණා. 

හැබැයි මෙමඟින් ශක්තිමත් වෙන්නේ එජාපයයි පොහොට්ටුවයි.

මම එක දෙයක් කියන්නම්. කිසිම පක්ෂයක් තවම ශක්තිමත් නෑ. මහා ජන රැල්ලක් නෑ. සන්ධානයක් අවශ්‍යයයි. පොදු අපේක්ෂකයෙක් ඕන.

ඔබට ඇයි එකවර රාජපක්ෂ විරෝධයක් ඇඟට ආවේ?

මම ද? කවුද කියන්නේ?

අපිට ආරංචියි රාජපක්ෂ කඳවුර අත්ඇරලා කියලා?

නෑ. එහෙම එකක් නෑ. මම කාගෙන්වත් බිහිවුණ කෙනෙක් නෙවෙයි. මම මැතිනිගේ ගෝලයා. මම කාගෙවත් ගෝලයෙක් නෙමෙයි. කාගෙවත් පස්සෙන් යන්නේ නෑ. යටි කුමන්ත්‍රණ නෑ.

ඇයි එහෙනම් බැසිල් රාජපක්ෂව ඔබ දැඩිව විවේචනය කරන්නේ?

බැසිල් මහත්තයානේ ආණ්ඩුව මෙහෙයුවේ.

ඉතින් ඒකට රාජපක්ෂලා සියලු දෙනාම පලිද?

හරි ඔයා අහනවා රාජපක්ෂවරැ එක්ක තරහා ඇයි කියලා. ගොඩක් දේවල් තියෙනවා. මම කියන්නම්.

එක තමයි මගේ මහ ඇමැතිකම අහිමි කරලා මට ඡන්දය ඉල්ලන්න දුන්නේ නෑ. දෙක මම දිනලා පාර්ලිමේන්තු ආපුවම මහ ඇමැතිවරයා හැටියට මට දුන්නේ නියෝජ්‍ය ඇමැතිකමක්. ඒකත් බන්ධනාගාර ඇමැති. තුන්වැනි එක තමයි අපේ පුතා ඡන්දය ඉල්ලපු වෙලේ මුළු ආණ්ඩුවම දාලා අපිට ගැහුවා. ඔක්කොම සංවිධායකවරු අපිට ගැහුවා. ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඡන්ද ගොඩ වැඩි කරන්න අපි ඔක්කොටම ගැහුවා. සුමේධගේ පුතාටත් ගැහුවා. ඉල්ලපු ඔක්කොටම ගැහුවා.
ඒ විතරක් නෙවෙයි ඡන්දය දවසේ හැන්දෑවේ එක පුද්ගලයෙක් මට කතා කරලා කියනවා “ඇමැතිතුමා අපි ඔබතුමාව බලාගන්නවා. ඔයාගේ පුතාවත් බලාගන්නවා. ඔබතුමාගේ ප්‍රශ්නත් අපි විසඳනවා” කියලා. මම බැලුවා ආණ්ඩුවේ ඉන්න ඇමැති කෙනෙක් වෙච්ච මාව මොකට බලාගන්නවද කියලා. හැබැයි ඒ වචනයෙන් මට පොඩි ශක්තියක් ආවා. මම පුතාට කතා කරලා කිව්වා පුතේ මනාපවලට මරාගන්න එපා. උඹ දිනනවා කියලා. හැබැයි මගේ පුතාගේ මනාප හොරකම් කළා. ඒත් මම ශෂීන්ද්‍ර රාජපක්ෂව බදාගත්තා. ඒ අප්පිරියාවෙන්. ඒත් ලෝකෙට පේන්න.

රාජපක්ෂලා ඇයි සොයිසලත් එක්ක මෙහෙම විරසකයක් ආවේ?

අනේ මන්දා. ඒක ඒ අයගෙන් අහන්න. හැබැයි මහින්ද රාජපක්ෂගේ ඡන්දයේදී ගුරුවරු 15,000ක් එක තැනට ගෙනාපු මිනිසා මම. මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමැති වෙලා ගුරුවරු 1000ක් ගෙනාවද කියලා අහන්න. ඒ විතරක් නෙමෙයි පළවෙනි ඡන්දයට බිබිලේ ටවුම මැද්දේ තිබ්බ ඉඩම වික්කා එතුමා වෙනුවෙන්. පළාත් සභාවෙන් ගත්ත මොන්ටෙරෝව වික්කා. බදුල්ල, මොනරාගල තාරැණ්‍යයට හෙටක් වෙනුවෙන් මම වියදම් කළේ.

ඔබ නාමල් රාජපක්ෂ එක්ක තරහද?

නෑ. නෑ.. මගේ අමනාපයක් නෑ.

එහෙනම් ශෂීන්ද්‍ර එක්ක තරහද?

ඔව්. ශෂීන්ද්‍ර එක්ක තරහක් තියෙනවා. මහින්ද රාජපක්ෂ පැරැද්දුවේ ඔහු. මොකද ඔහු හිතන්නේ මම රැකෙම්මා තොපි නැසෙම්වා කියලා. ශෂීන්ද්‍ර වෙනුවෙන් රටේ ජනාධිපති රුස්වීම් 5ක් මගේ ආසනයේ කළා. ඒ තරම් පවුලට ආදරේ ඇති මිහිහෙක්. ඒත් ඔහුට ඒ ආදරය තිබ්බේ නෑ.

මේ කාරණා අස්සේ පොහොට්ටුවේ තරගයක් යනවා 2020 දාන්නේ ගෝඨාභයද? බැසිල්ද? කියලා. 

අපිට අදාළ නෑනේ. අපිට කවුරු ආවත් එකයි.

මේ දෙදෙනාගෙන් කවුරු ආවත් ඔබ උදව් කරන්නේ නැද්ද?

පක්ෂයේ තීරණයක් තමයි ගන්නේ.

16 දෙනා ඇතුළු සියලු දෙනා කියන්නේ ගෝඨාභය තමයි පිළිතුර කියලා.

ඒ අයටනේ. අපිට නෙමෙයිනේ.

ඇයි ශ්‍රීලනිපය කියන්නේ නැත්තේ?

අපි වෙලාවට අපේ වර්ෂන් එක පෙන්නන්නම් තිරය ඇරලා.

ඒ කියන්නේ පොදු අපේක්ෂකයෙක්ද?

ඒක කියන්න මම පක්ෂ නායකයෙක් නෙමෙයිනේ. සුළු මුලෑදෑනියෙක්.

හැබැයි කට්ටියක් කියනවා ඊළඟ ජනාධිපතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා ඉදිරිපත් කරනවා කියලා.

ඔව්. ඒක තමයි බලාපොරොත්තුව. ඇයි එතුමා කිරෙන් බාල වෙලාද? අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි ජනාධිපතිතුමයි එකට මේ ගමන යන්න ඕනේ. ඒ මාස 18න් තමයි ගොඩ යන්න පුළුවන්. ඒකයි අපේ ප්‍රාර්ථනය.

ඔබලා ප්‍රාර්ථනා කළාට ජනාධිපතිවරයා පසුගිය දවසක ප්‍රසිද්ධියේ බැන්නා එජාපයට.

ජනාධිපතිතුමත් කියන්න පුළුවන් යූ.ඇන්.පී අයටත් කියන්න පුළුවන්. එක ගෙදර කෝලාහල වෙනවා.

රටේ ජනාවට හිතෙන්නේ ඇතුළේ කචල් කියලා.

කොහෙද කචල් නැත්තේ? පොහොට්ටුවේ කචල් නැද්ද? 16 දෙනා අතර කචල් නැද්ද? එජාපයේ කචල් ලේසි කචල්ද?

කවදාවත් නැතුව දේශපාලනඥයන්ට එළිපිට චෝදනා එල්ල වෙනවා ඇලෝසියස්ගේ සල්ලි නිසා. ඔබට මොකද හිතෙන්නේ?

මුදල් ආධාර හම්බෙනවා තමන්ගේකම නිසා. හැබැයි අරකෙන් අරගෙන මේකෙන් බේරන්නම් කියනවා නම් ඒක කැතයි. ඒක අකැපයි. ගත්ත කට්ටිය ගත්තා. කිව්වනේ. අනෙක් අය හොයාගන්න එපැයි.

ඔබටත් මුදල් ලැබුණද?

මට කියන්න තියෙන්නේ මෙච්චචරයි. මම මූණ දැකලා තියෙනවා. පුද්ගලයා එක්ක කතා කරලා නෑ. පුද්ගලයාගේ කිසි දෙයක් අරගෙනත් නෑ. 

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කිව්වේනම් ආණ්ඩුවේ 5 දෙනෙක් ඇලෝසියස්ගේ අරක්කු වික්කා කියලා.

එහෙම අය ඇති. අපිනම් සත පහක උදව්වක් ඔය මිනිස්සුන්ගෙන් අරගෙන නෑ.

හැබැයි කට්ටිය අහුවුණා නේද ඇලෝසියස්ගේ ගැටේට?

වෙන්න ඇති. මම දන්නේ නෑ. ගත්ත කට්ටිය දන්නවා ඇති. හැබැයි බිලියන 11 පොඩි හොරා ඇල්ලුවා. බිලියන 4000 හොරා ඇල්ලුවේ නෑ. ඉතිරි වෙලා තියෙන හොරකම හෙව්වේ නෑ.

ආණ්ඩුව ඔබලාගේ. ඇයි ඒක හොයන්නේ නැත්තේ?

ඒක තමා අපිටත් තියෙන ප්‍රශ්නය.

කවුද හොයන්න දෙන්නේ නැත්තේ?

ඒ මේවගේ තියෙන ක්‍රමවේදය. ප්‍රමාදය අධිකරණ ප්‍රමාදය.

ඒ වගේම රටේ ආර්ථිකය විශාල වශයෙන් පිරිහිලානේ. ඇයි මේ රජය සද්දයක් නැත්තේ?

කවුද කියන්නේ හරි ක්‍රමයට පාලනය කරන්නේ නෑ කියලා. ඒ කියන්නේ මාධ්‍යයයි, විපක්ෂයයි. රටේ මිනිස්සු පිළිගන්නවද? හැබැයි ගෑස්, තෙල්, බඩු මිල අඩු නැද්ද අපේ ආණ්ඩුවට වඩා?

අපි නෙමෙයි කියන්නේ ඔබේ ජනාධිපති. එතුමා කිව්වා ආර්ථිකය එතුමගේ අතට ගන්නවා කියලා.

ජනාධිපතිතුමා දකින පැත්තේ යම් නිරවද්‍යතාවයක් තියෙන්න පුළුවන්. සමහරවිට ජනාධිපතිතුමාගේ මාර්කට් එක තියෙන්න පුළුවන් මීට වඩා ඉහළ ඉලක්කයක. එතුමා දැක්ක ඉලක්කයට යන්න බැරිවෙන්න ඇති. ඒ නිසි එහෙම කියනවා ඇති. 

දැන් මේ ආණ්ඩුව ඔබලා හොඳයි කිව්වට රටේ මිනිස්සු ඉල්ලන්නේ රාජපක්ෂවරැනේ. ඇයි එහෙම ඉල්ලන්නේ?

ඇත්තවශයෙන්ම ඔවුන්ගේ ක්‍රියාත්මකභාවයක් තියෙනවා සාධනීය තත්ත්වයක්. ඇයි හිතන්නකෝ කවුරුහරි පාර්ලිමේන්තුවේ බණිනවා කියලා රාජපක්ෂවරුන්ට. ඔවුන් අනිත් පැත්තට ඇමතුමක් අරගෙන අහනවා ඇයි මල්ලි මට බණින්නේ කියලා. ඒ නිසා ඔවුන් නියම දේශපාලනඥයෝ.

අවසාන වශයෙන් මම අහන්නේ මෛත්‍රී මහින්ද එකතුව හදන්න ඇයි ඔබ කිසිම සද්දයක් නැතුව ඉන්නේ?

මම එකතු වෙනවට පක්ෂත් නෑ. විපක්ෂත් නෑ. දැන් බලන්න කපුකම කරන්න ගිය උන් රිංගුවා ගේ ඇතුළට.

ගයාන් ගාල්ලගේ