2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇතුළේ ගෝරි වැඩිකල් යන්නෙ නැහැ

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

ශ්‍රී ලංකාවට වමේ ව්‍යාපාරය ගෙනාවේ ඔබේ පියා. පිලිප් ගුණවර්ධන මහත්මයා. එහෙව් වමේ සැබෑ අයිතිය තියෙන්නේ අද ඔබට නේද?

වමේ ව්‍යාපාරයේ මූලධර්මය ජනතාවගේ ජයග්‍රහණ තවත් වැඩි දියුණු කිරීම. ඒ සඳහා 1956 පෙරමුණු ආණ්ඩුව ගොඩ නගන්න පුරෝගාමී නායකයෙක් හැටියට මගේ පියා කටයුතු කළා.

වමේ උරුමය ඇති ඔබ අද කටයුතු කරන්නේ දක්ෂිණාංශක දේශපාලනයත් එක්ක කියලා බැලුබැල්මට පෙනෙනවා?

වමේ උරුමය කියන්නේ එදා දිනාගත් ජයග්‍රහණ ඉදිරියට ගෙනයාම. ඒ ගමනට තමයි අපි මේ කැපවෙන්නේ. අපි අපේ පෙරමුණු හදලා දකුණ ගෙදර යවලා වමට බර, වම එක්ක හවුල් වෙන ආණ්ඩු ඇති කළා.

හැබැයි ඔබ අමාත්‍යධූර දැරූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඊට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව මේ සියල්ලම දක්ෂිණාංශක දේශපාලනයේ බලකණු?

නෑ. ඒ ආණ්ඩු දක්ෂිණාංශික ආණ්ඩු කියනවා නම් ඒ දේශපාලන බොළඳකම. මේ ආණ්ඩු ගොඩනැගුවේ වාමාංශිකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැම ප්‍රගතිශීලී ආණ්ඩුවක්ම රටේ ජනතාව පැත්තට ජයග්‍රහණ ගෙනාවේ එවැනි හවුල් ගොඩ නගලා. පොදු පෙරමුණ, සංධානය හා දැන් තිබෙන ඒකාබද්ධ විපක්ෂයත් එවැනි ප්‍රගතිශීලී පෙරමුණු.

 අපි මේ රටට නායකයෝ හැදුව පවුලක් 

ඒ කිව්ව පෙරමුණු සංධානවලට දකුණ එක්ක ගනුදෙනු තිබිලා නැද්ද?

නෑ. අපි දකුණ කරන දේවල් ප්‍රතික්ෂේප කරනව. මගේ පියාගේ ඉඳලා මම අද වෙනකම් කළ දේවල් සැලකිල්ලෙන් බැලුවොත් ඒ කාරණය පැහැදිලි වේවී. එකින් එකට කියන්න මේක වෙලාව නෙවෙයි.

1956 බණ්ඩාරනායකමැතිතුමා බලයට ගේන්න මහජන එක්සත් පෙරමුණ හැදුවේ, රෝදය ලකුණ හැදුවේ ඔබේ පියා. අද වෙනකොට ඒ මහජන එක්සත් පෙරමුණට මොකද වෙලා තියෙන්නේ?

මහජන එක්සත් පෙරමුණ ගොඩනැගුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංචමහා බලාවේගය එකතු කරලා. එතැන් ඉඳලා රට ඉස්සරහට යද්දී තවත් වමේ පක්ෂ එකතුවෙලා ඒක තවත් ශක්තිමත් කළා. අන්න එදා පංච මහා බලවේගය ශක්තිමත් කළ පක්ෂ හා නායකයන් තමයි අද ඒකාබද්ධ විපක්ෂය විදියට මේ ගමන් කරන්නේ.

හරි, දැන් මහජන එක්සත් පෙරමුණට මොකද වෙලා තියෙන්නේ?

තනියම බලයක් කිසිම පක්ෂයකට ලංකාවේ ගන්න බෑ. ඒක රනිල් වික්‍රමසිංහගේ දක්ෂිණාංශිකයත් පිළිගත්තා. ඒක බණ්ඩාරනායක මහතා, මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, මහින්ද රාජපක්ෂ මේ සියල්ලෝම පිළිගත්තා. ඒකයි ඔවුන් වම එක්ක අත්වැල් බැඳගත්තේ. මහජන එක්සත් පෙරමුණ එදා වගේම අදත් රටේ ප්‍රගතිශීලි ජනතාව වෙනුවෙන් වම ශක්තිමත් කිරීමේ පෙරමුණේ ඉන්නවා.

හිටපු ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසු දින සියයේ ආණ්ඩුවේ සමයේ පටන්ම ඔබයි පාර්ලිමේන්තුවේ විශාල හඬක් නැගුවේ. විපක්ෂය ලෙස නොනි වශයෙන් හෝ පෙනී සිටිමින් ඔබ ඇතුලු පිරිස විශාල හඬක් නැගුවා. හැබැයි අදටත් විපක්ෂ නායකධූරය තියා විපක්ෂය ලෙස කිසිම පිළිගැනීමක් හෝ දිනාගන්න බැරි වුණා නේද?

දක්ෂිණාංශික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරවාගැනීමට මේ ආණ්ඩුව ගෙනියන සැලැස්මේ මූලිකයෝ තමයි දැන් විපක්ෂය කියලා ඉන්නේ. එදා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගෙන එක්ක දර දිය ඇද්ද සම්බන්ධන් විපක්ෂ නායකතුමා සහ ජනවාරි අට වැනිදා මහින්ද රාජපක්ෂ පරාජයට පත්කරන්න කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ තමයි දැන් විපක්ෂයේ සංවිධායක වෙලා ඉන්නේ. ඒක හරි දේ නෙවෙයිනේ.

 සුභ සාධක කපන මේ ආණ්ඩුව හරිම භයානකයි 

ඔබ කොහොමද හරි දේ නෙවෙයි කියන්නේ. කථානායකවරයා ඇතුලු පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂය ලෙස ඔවුන් පවතින්නේ?

හරි. ඔබ බලන්න මන්ත්‍රී සංඛ්‍යාව. සම්බන්ධන් මන්ත්‍රීවරයාට ඉන්නේ 16යි. එයා විපක්ෂ නායක. ජනතා විමුක්ති පෙරමුණට ඉන්නේ හයදෙනයි. එයාලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මේ දෙකම එකතු කළත් 22යි. අපේ ඉන්නවා 51ක්. මම නම් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කථානායකතුමාට අංක ගණිතය වැරදිලා කියලා. අංක ගණිතය ආපහු ඉගෙන ගන්න වෙනවා. ආණ්ඩුව ගෙනියන්න විපක්ෂයේත් සහාය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් තමයි මේ.

ඔබේ රාජකීය විද්‍යාලයේ එක පන්තියේ මිත්‍රයා රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැතිවරයා. ඇරයුමක් එහෙම ලැබුණේ නැද්ද පන්තියේ මිතුරාගෙන් ඔහුත් සමඟ ආණ්ඩුවට ශක්තියක් වෙන්න එන්න කියලා?

ඇයි නැත්තේ. ආණ්ඩුවට එකතුවෙන්න, එයාලා එක්ක වැඩ කරන්න කියලා කතා කළා. එහෙම වුණාට එයාලා එක්ක එකතු වෙන්න කිසිම එකඟතාවයක් නෑ කියලත් එයාලා දන්නවා.

ගියානම් .. යාලුවා නිසා ඉහළ තනතුරු එහෙමත් ලැබේවි?

අපි යම් දේශපාලන ප්‍රතිපත්තිවල ඉන්නේ. ඔවුන්ගේ ප්‍රතිපත්ති හා අපේ ප්‍රතිපත්ති එකිනෙක පෑහෙන්නේ නෑ. මිත්‍රකම්වලට හෝ තනතුරු වරප්‍රසාදවලට දේශපාලන ප්‍රතිපත්ති යට කරන්නේ නෑ.

හැබැයි ඔබ ප්‍රතිපත්තිමය කාරණා මත එක්සත් ජාතික පක්ෂයට එකතු නොවුණාට ඔබේ පියා, ලංකාවට වාමාශික දේශපාලනය ගෙන ආ පිලිප් ගුණවර්ධන මැතිතුමා, ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවෙලා ඉතාම ප්‍රබල අමාත්‍යධූරයක් පවා දැරුවා නේද?

ඔව්. ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කියලා ඔබ නම තිව්වාට ඒක ඩඩ්ලිගේ තනි ආණ්ඩුවක් නෙවෙයි. ඒක හවුල් ආණ්ඩුවක්. ඒකට කිව්වෙත් හත්හවුල් ආණ්ඩුව කියලා. ඒ වගේම ඒක සුභසාධන රජයක්. අනෙක තමයි ඩඩ්ලි සේනානායක කියන්නේ ජනතාවගේ පොදු අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා ප්‍රතිඥා දුන්න අගමැතිවරයෙක්. ඊට පෙර ආණ්ඩුව කරගෙන ගිය කාරණාවලට විපක්ෂය විදියට ඉඳගෙන මගේ පියා ඇතුලු පිරිස හඬ නැගුවා. පසුව ආපු මැතිවරණයෙන් විපක්ෂය දිනුවා. ඒ ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න තමයි මේ හවුල හැදුවේ.

 මැති ඇමැතිලා තමන්ගේ ආණ්ඩුවටම බණින්න පටන් අරන් 

කොහොම හරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අමාත්‍යධූරයක් ඔබේ පියා අතීතයේ දරලා තියෙනවා?

එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කියන්නේ අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වගේ නෙවෙයි. දැන් ඉන්න එජාප නායකයන් පවා ඒකාලේ හිටිය නායකයන්ගෙන් ඉගෙන ගන්න ඕන. සිරිකොතේ ෆොටෝ ටික එල්ලගෙන හිටියට විතරක් මදි. එදා ඒ රජය එකම එක සංස්ථාවක් වික්කෙ නෑ රට ගෙනියන්න සල්ලි නෑ කියලා. තාත්තා දැරුවේ කර්මාන්ත හා ධීවර අමාත්‍යධූරය. සංස්ථා විකුණන්න ආපු හැම මිනිහාටම දොර පෙන්නලා බැහැලා යන්න කිව්වා.

එදා හිටිය අගමැතිවරයා කිව්වේ නැද්ද ඕක විකුණන්න කැමැතිවෙලා අත්සන් කරන්න, නැත්තම් බැහැලා යන්න කියලා?

කිසිසේත්ම නෑ. එදා මගේ පියා ගත්ත තීරණවලදි ඒ අගමැතිවරු එහෙම හැසිරුණේ නෑ. ඒ වගේම විදෙස් උපදේශකයන්ගේ ලණු කන්නත් රජයක් විදියට එදා ඔවුන් සූදානම් වුණේ නෑ. 

දැන් තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂ රජයක්. ඔබ එදා එක්සත් ජාතික පක්ෂයට හොඳ කියන්නා සේ මේ ආණ්ඩුවේත් හොඳ දකින්නේ නැද්ද?

එදා තිබුණේ සුභ සාධක රජයක්. දැන් තියෙන්නේ සුභ සාධනය අහෝසිකොට පෞද්ගලික අභිමතාර්තය අනුව ජනජීවිතය පාවෙන්න ඉඩ තියලා තියෙන ආණ්ඩුවක්. ඒක හරිම භයානකයි.

ඔබ ඔය කියන වාමාශික ප්‍රතිපත්ති උඩ මෑතකාලීන කිසිම රජයක් දිව්වේ නෑ. සෑම රජයක් පාහේම විදෙස් රටවල්වල ආයෝජකයන් සමඟ තමයි වැඩ කළේ. ඔබ කැබිනට් අමාත්‍යධූරයන් දැරූ මහින්ද රාජපක්ෂ රජයත්, ඊට පෙර චන්ද්‍රිකා කුමාරණතුංග රජයත් අඩු වැඩි වශයෙන් විදේශ රජයන් ආයතන එක්ක තමයි දිව්වේ. ඒ කාලේ මේ හඬ කොහේද තිබුනේ?

ආයෝජකයන් අලුත් දේවල් හදන්න රට රටවලින් එනවා. නමුත් ඒ ආවා කියලා රටේ කේන්ද්‍රීය ආර්ථිකය ඔවුන්ට පවරන එක කරන්නට බැහැ. රටේ බැංකු, අධ්‍යාපනය, නාවික ගුවන් කටයුතු, ආරක්ෂාව, රටේ භූමිය ආදී කේන්ද්‍රීය කාරණා රටේ මහජනතාවගේ රජය සතු වියයුතුයි. මේවා කිසිවක් ඒ එන ආයෝජකයන්ට බාරදෙන්න චන්ද්‍රිකාගේ රජයවත්, මහින්දගේ රජයවත් කටයුතු කළේ නැහැ.

වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා අමාත්‍යතුමන් දේශය සමඟම කිව්වා මහින්ද රාජපක්ෂ රජය සමයේ කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට ඉඩම් සින්නක්කරම හෝටලයකට පැමිණි විදෙස් ආයෝජකයන්ට ලියා දුන්නා කියලා?

හර්ෂ ඇමැතිතුමා ඒ කාලේ ගොඩක් කෑගැහුවා. දැන් ඒ කාලේ කිව්ව දේවල්වලට සම්පූර්ණයෙන් විරුද්ධ දේවල් තමයි කරන්නේ.

එතුමාගේ චෝදනාව නිවැරදිද... ඔහුට අනුව ගාලුමුවදොර ඉදිරිපිට ඉඩම් කොටස් දෙකක් සින්නක්කර විකුණන්නට ගොස් පසුව එක්සත් ජාතික පක්ෂයේ හඬ නැගීම නිසා කොටසක් පමණක් සින්නක්කර ලියලා දුන්නා කියා චෝදනා කරනවා?

රටේ කේන්ද්‍රීය කාරණා මෙහෙයවන්න ඕනෑ රජය. ඒක තමයි අපි එදා කළේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ මේ කිව්ව රටේ පාලනයට බලපාන කේන්ද්‍රීය කාරණයක් නෙවෙයි වරායක් ගුවන්තොටුපොළක් විකුණනවා වගේ වැඩක් නෙවේ. එදා එක්සත් ජාතික පක්ෂයම තමයි ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයට කොළඹ හදවතේම ඉඩම දුන්නේ.

 අස්වෙන ඇමැතිවරු දැන්ම කියන්නෙ නැහැ 

අර කිව්ව ඉඩම සින්නක්කර විකුණුවාද?

නෑ. ඒකේ කිසිම සත්‍යයක් නෑ. සත්‍යයක් කියලා පෙන්වන්න හැදුවත් ඒ කර්මාන්තය ආණ්ඩුවේ කර්මාන්තයක් නෙවෙයි. ඔය කියන ඉඩම සින්නක්කර ලියලා දීලා නෑ. එතන සුද්දාගේ කාලේ ඉඳලා තිබුණා පොළොවමත හා පොළොව යට හමුදා කඳවුරක්. ඒක එතැනින් ඉවත් කරලා වෙනතැනක හමුදා මූලස්ථානය ගොඩනැගුවා. සංචාරක ආකර්ශණය තිබූ ඒ භූමිය සංචාරක ව්‍යාපාරයට දුන්නා.

අද වෙද්දී ඒකාබද්ධ විපක්ෂය රටට එන විදේශ ආයෝජන නැති කරලා ඒවා කඩාකප්පල් කරන්න කටයුතු කිරීමේ කොන්ත්‍රාත්තුවක ඉන්නවා කියලා වර්තමාන රජය චෝදනා කරනවා?

විහිලුනේ කරන්නේ. ඔවුන්ට මතක නෑ 2003 රනිල් ආණ්ඩුවම තමයි මේ රටේ විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමේ පනත අහෝසි කළේ. ඒ කරලා රටේ විදෙස් ආයෝජන නැතිකළේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි පසුකාලීනව මේ පනත නැවත ඇති කළේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැන් පාර්ලිමේන්තුවෙන් පිටදි එහෙම මුණගැහුණොත් මොන මොන කාරණාද කතා කරන්නේ?

අපි රටේ දේවල් කතා කරනවා. විහිලු කතා කියනවා. කලා ලෝකය, නාට්‍ය කලාව, ජාත්‍යන්තර සිනමාව වගේම ජාත්‍යන්තර දේශපාලනය ආදිය ගැන කතා කරනවා. මම හිතනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලනයෙන් පිටතදි ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම උගත්. එකම කාරණය තමයි ඔහුගේ ප්‍රතිපත්තිය හා මගේ ප්‍රතිපත්තිය දෙකක්.

ඒකාබද්ධ විපක්ෂයට උප්පත්තිය දෙන්න මූලික වූ කිහිපදෙනා අතරේ ඔබ ප්‍රමුඛයි. ඉදිරියේදී ඒකබද්ධ විපක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස එසැවේවිද?

ඔව්. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී දේශපාලන පෙරමුණක් ලෙස ඉදිරියට එනවා.

ඉදිරියේදී පළාත්පාලන මැතිවරණය එන්නට තියෙනවා. ඒ වගේම පළාත් සභා තුනක අනිවාර්ය මැතිවරණ එන්නට නියමිතයි. ඊට ඔබ ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද, මහජන එක්සත් පෙරමුණෙන්ද එහෙමත් නැතිනම් පොහොට්ටුව පක්ෂයෙන්ද?

අපි අලුතින් දේශපාලන මහා පෙරමුණක් ගොඩනගනවා. ඔබ කිව්ව ඡන්ද විතරක් නෙවෙයි. තව තව ඒවාත් එන්න පුළුවන්.

සීමා නීර්ණය සම්බන්ධව මේ වෙද්දී රටේ කතාබහක් ඇතිවෙලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා සීමා නීර්ණ ගැටලුව එන්නේ මහින්ද රාජපක්ෂ රජය ඡන්ද දිනාගැනීමට විවිධ ඡන්ද කොට්ඨාශවල සීමාවන් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ නිසා කියලා?

ඒ තවත් මුසාවක්. ඒ කාලේ අපි සීමා ලකුණු කළ සෑම කොමිටියකම මැතිවරණ කොමසාරිස්ගේ නිලධාරියෙක් හිටියා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවල සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවල දිසාපතිවරු ආදී පිරිස හවුල් වෙලා තමයි ඕක කළේ. අපි ඒ වාර්තාව දුන්නා. දින සීයේ ආණ්ඩුව ආවා. කරෑ ජයසූරිය මැතිතුමා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යවරයා වුණා. එතුමාටත් මේ පැමිණිල්ල ඇවිල්ලා එතුමාත් කොමිටියක් පත් කළා. ඒ කොමිටියෙන් හොයලා බැලුවා අපේ ආණ්ඩුව කාලේ කළ පළාත් මායිම් ලකුණු කිරීම් හරිද වැරදිද කියලා. ඒ වාර්තාවේ අලුත් ඉල්ලීම් කිහිපයක් එකතු කරලා එතුමාත් අත්සන් කරලා යැව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට.

ඒ කාලේම මේක ජනාධිපතිවරයාට මේක ගියා නම් ඇයි තවමත් සීමා නීර්ණය ගැන කමිටුපත් කරගෙන දගලන්නේ?

ඒක තමයි කියන්නේ. ජනාධිපතිවරයා මේක ගැසට් කළා. ඒ එක්කම එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, ටී.එන්.ඒ.එකයි, මුස්ලිම් කොංග්‍රසයයි එකතුවෙලා කොමිටියක් හදලා ආපහු මේක බලන්න ඕන කිව්වා. ඒ කොමිටිය තමයි මේ දැන් දුවන්නේ. ඒ කොමිටිය බොරුවට දිව්වාට ඔවුන්ගේ වාර්තාවේ තියෙන්නෙත් අර මුල් කොමිටියේ කිව්ව සීමා නීර්ණයන්ම තමයි. මේක මේ පරාජයට භය නිසා හදාගත්ත දේශපාලන සූත්තරයක්.

පසුගිය සතියේ රටේ මාධ්‍ය වාර්තා කළා හිටපු ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන්ට කිව්වා කියලා 2017 වසරේ මේ ආණ්ඩුව පෙරළනවා කියලා. පෙනෙන මානෙක නම් එහෙම ආණ්ඩු පෙරළන තරමේ ඡන්දයක් නෑ. කොහොමද ආණ්ඩුවක් පෙරළන්නේ?

දැන් ආණ්ඩුව ඇතුලේ දරුණු ගැටුම්. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ අගමැති වුණාට මේ ආණ්ඩුව දුවන්න නම් ඒක ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ සහායත් ඕන. දැන් මේ ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු පවා එක්සත් ජාතික පක්ෂ නායකයා ගන්න තීරණයවලට එරෙහිව කතා කරනවා. එහෙම ආණ්ඩුවක් වැඩිකල් යන්නේ නෑනේ.

එහෙමයි කියලා මේක පෙරළන්න පුලුවන්ද?

ඒක විතරක් නෙවෙයි. දැන් ඇමැතිවරු තර්ජනය කරනවා මෙහෙම යනවා නම් අපි අස්වෙලා යනවා කියලා. දැනටමත් එක ඇමැතිවරයෙක් අස් වුණා.

ඉදිරියේදිත් තව අස්වෙන්නට නියමිතද?

ඔව්. නියමිතයි.

කවුද?

ඒක ඉතින් කුතුහලය තියෙන්න දැන්ම නොකියා ඉන්නම්.

හැබැයි එක්සත් ජතික පක්ෂයේ ඇමැතිවරු වගේම ආණ්ඩු පාර්ශවයේ නිදහස් පක්ෂ ඇමැතිවරුත් කියනවා තුනෙන් දෙකක බලයක් තියෙන මේ ආණ්ඩුව පෙරලන එක මහින්ද රාජපක්ෂ දකින හීනයක් කියලා?

ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් තුනෙක් දෙකක් තිබුණානේ. ඒ නිසා ඔය තුනෙන් දෙකේ කතාව වැඩක් නෑ. මහජනයාට රිදෙන කොට යූ.ඇන්.පී. එකේ හිරකාරයෝ වෙලා මන්ත්‍රීවරුන්ට ඉන්න බෑ. එළියට එන්න වෙනවා.

අර ඔබතුමන්ලාගේ ටොප් ටෙන් එකට දැන් මොකද වුණේ?

ඒක තව එන්න තියෙනවා.

රනිල් වික්‍රමසිංහ අගැමැතිවරයාට, විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල ආදී කිහිපදෙනාට හැරුණාම තවත් අයගේ නම් එළියට ආවේ නෑනේ?

අයවැය කාලය නිසා පොඩ්ඩක් අවධානය ඊට යොමු වුණා. ඉදිරියට සති දෙකෙන් දෙකට එනවා.

වර්තමාන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපති පුටුවට එන්න හැකියාවක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය රටේ බලය ඇල්ලු දවසක කවුද රටේ නායකයා වෙන්නේ?

ජනාධිපති නෙවෙයි, ඒකාබද්ධ විපක්ෂය මැතිවරණයට ගියේ මහින්ද රාජපක්ෂ රටේ අගමැති කරනවා කියලා. දැනටමත් එතුමා අගමැති වෙලා ඉවරයි. මොකද එදා අපේ අතේ ජයග්‍රහණය තිබුණා. අපිට තිබුණා 96ක්. රනිල් වික්‍රමසිංහගේ පෙරමුණට ආවා 105ක්. සුළු වෙනසයි. ඒ වෙනස සිද්ධ වුණෙත් අපේම අය අපිට කළ දේවල් නිසානේ.

මහින්ද රාජපක්ෂට පුලුවන්ද අද අගමැතිකම අරගෙන ආණ්ඩුවක් ගෙනියන්න?

පැහැදිලිවම. එදා මේ මන්ත්‍රීධූර 96ත් එක්ක මහින්ද රාජපක්ෂට කිව්වා නම් ඇවිත් අගමැතිකම භාරගෙන ආණ්ඩුවක් හදලා පෙන්වන්න කියලා අපි ඒක කරනවා. ඒකට අවශ්‍ය සියල්ලම අපේ ළඟ එදා තිබුණා.

ඔබේ පියාත් ඔබත් රාජ්‍ය නායකයෝ තනලා තියෙනවා. එදා තාත්තාට යන්න බැරිවුණ රාජ්‍ය නායකත්වයට පුතා යාවිද?

ඒක ජනතාව අතේ තියෙන දෙයක්. මම සතුටු වෙනවා මේ රටට නායකයන් තනන්නට දායක වීමට ලැබීම පිළිබඳව.

♦ ප්‍රසාද් අබේවික්‍රම