2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකාකාරයෝ අසරණයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

කම්කරු සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය  ජෝන් සෙනෙවිරත්න 

මහ ලේකම්ලා අයිති නැති වැඩකරනවා 
යූ.ඇන්.පී.යත් එක්ක ඉන්න නිසා පක්ෂය සෝදාපාළු වෙලා  
ජනාධිපතිතුමාට යූ.ඇන්.පී.ය අත්හරින්න බැහැ  
ඡන්ද කටේ ආණ්ඩුවෙන් ගිහින් වැඩක් නැහැ. කලින් යන්න ඕනෑ 
යූ.ඇන්.පී.යෙ අගමැතිතුමාට විතරයි සම්මුති ආණ්ඩුව ඕන 
මම පක්ෂයට යෝජනා කළාට පස්සේ ගෝඨා වටේ පිරිසක් එකතුවුණා

පහුගිය කාලයේ කතාවුණා ඔබ පිරිසක් එක්ක ආණ්ඩුවෙන් යනවා කියලා. මොකද ඒ වැඩේට වුණේ? 

අපි ඇත්තටම ඒ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කළා. එහිදි එතුමා කිව්වා තව ටික කාලයක් ඉන්න කියලා. ඒ නිසා අපි කල්පනා කළා. ඒ අවස්ථාවේ තීන්දුවක් නොගෙන පසුව තීරණයක් ගන්න.

ඒ කියන්නේ යන්නම නෙමෙයි හැදුවේ. පොඩි ඩිමාන්ඩ් එකක් හදාගන්නද උත්සාහ කළේ?

නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. අපිට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව සම්බන්ධව කලකිරීමක් තියෙනවා. ඒ සියල්ලටම වඩා පක්ෂය ඉදිරියට ගැනීමේ උවමනාව ලොකුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හැටියට අපේ යුතුකමක් තියෙනවා. අනාගතයේ පක්ෂය නගා සිටුවන්න. ඒ නිසයි අපට උවමනා වුණේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා විපක්ෂයට ගිහිල්ලා පක්ෂය ගොඩනගන්න. දැන් ඉන්න ආණ්ඩුවේ අය කියයි පක්ෂයේ නැගීමක් තියෙනවා කියලා. ඒත් ගමට ගියාම එහෙම නෑ. ඒ එක්සත් ජාතික පක්ෂය එක්ක එකට කටයුතු කරන නිසා. එහෙමයි ස්වභාවය. හිතන්නකෝ අපේ ආණ්ඩුවකදී එක්සත් ජාතික පක්ෂය එකතු වුණා කියලා. අද ශ්‍රීලංකා එකට වෙච්ච දේමයි වෙන්නේ. අපිට ඕන වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉදිරියේදී ශක්තියක් ගොඩ නගාගන්න.

ඒ කියන්නේ ඔබලා විශ්වාස කරනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෝදාපාලුවට ලක්වෙලා කියලා?

එහෙම වෙලා තියෙන්නේ අපි මේ ආණ්ඩුවේ ඉන්න නිසා. අපි මේකේ ඉන්න ඉන්න සෝදාපාලුවට ලක්වෙනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බෑ. මොකද එතුමාට අවුරැදු හයක ජනවරමක් දීලා තියෙනවා. ඒ අනුව එතුමා ඉන්න ඕන. අපි ඒක තේරුම් අරගෙන ඉන්නේ. ඒත් අපි මැතිවරණ කටේ ඉවත්වුණාට වැඩක් නෑ. ඊට කලින් අපි ඉදිරියට යන්න ඕන. ඒ පක්ෂය නගාසිටුවන්න.

ඇත්‍තද කියන්නේ ඔය යන්න හිටිය කට්ටියත් දෙකට බෙදිලා කියලා?

එහෙම නෑ..

ඒත් ඔබලා යනවා යනවා කියලා අන්තිමට අරුන්දික මන්ත්‍රීතුමා විනය පරීක්ෂණයකට කොටුවුණා. ඇයි අරුන්දිකව බිල්ලට දුන්නේ? 

අරුන්දික මන්ත්‍රීවරයාට කිව්වා වැඩිය සද්ද කරලා කෑ ගහලා ඉන්න එපා, ඒක වැඩක් නෑ කියලා. මොකද ඒක හානිකරයි ජනාධිපතිතුමාටත් පක්ෂයේ ඉදිරි ගමනටත්. මේක කෑ ගහලා දඟලලා නෙමෙයි යන්න ඕන. කතා කරලා තමයි යන්න ඕන. ඒ යන්නේ පක්ෂය බේර ගන්න. නැත්තන් පක්ෂය සෝදාපාලුවට ලක්වෙනවා.

දැන් ඔබ කිව්ව පරිදි විපක්ෂයට ගියෙත් නෑ. ආණ්ඩුවේ ඉඳගෙන වැඩ. ඒත් පවිත්‍රා මන්ත්‍රීතුමිය රත්නපුරේ ජනතාව එක්ක වැඩ. මේකෙන් ඔබතුමාට ජනතා කැපිල්ලක් එයිද?

මම දන්නවා හොඳටම ජනතාව මා කෙරෙහි විස්වාසය තියලා තියෙනවා. ජනතාව දන්නවා මම ආණ්ඩුවේ හිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවංකව ආදරේ කරන මනුස්සයෙක් කියලා. පාක්ෂිකයන්ට ‍ළෙන්ගතු මනුස්සයෙක්. ඒ නිසා මම ජනතාව එක්ක ඉන්නවා.

ඔබ කියන විදියට ජනමතය පක්ෂයෙන් බැහැරට යනවා නම් ඇයි මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඒක පේන්නේ නැත්තේ?

ඒක තමයි මෙතන තියෙන අභාග්‍යය. නමුත් අපි හිතන්න ඕන ජනාධිපතිතුමාගේ පැත්තෙන්. එතුමට ආණ්ඩුව දාලා යන්න බෑනේ. එතුමා එක්සත් ජාතික පක්ෂයේ උදව්වෙන් තමයි ආවෙත්. ඒ වගේ ඡන්ද කාලේ දුන්නු ප්‍රකාශත් එක්කයි මේ ජාතික ආණ්ඩුව හැදුවේ. ඒ නිසා ජනාධිපතිතුමාට දොස් කියන්න බෑ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැන ගන්න ඕන පක්ෂයේ අනාගතය ගැන. ඒකයි අපි කියන්නේ මේ කණ්ඩායම් දෙක එකතුවෙන්න ඕන කියලා. ඒකට අපි ක්‍රමවේදයක් හදන්න ඕන.

ඔය කියන වගකීම තියෙන්න ඕන පක්ෂයේ ලේකම්වරුන්ට නේද?

පක්ෂයේ මහ ලේකම්වරු ගැන මම කතා කරන්නේ නෑ. ඔයිට වඩා ඒ දෙන්නා බුද්ධිමත්ව වැඩ කරන්න ඕන. පුළුල්ව කතා කරන්න ඕන. එහෙම වුණොත් මේ පක්ෂ දෙක එකතු කරන්න ලේසියි. ඔවුන් එහෙම කතා නොකරන නිසා අද සමගි කිරීමට මේක බලපාලා තියෙනවා.

ඔබ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. ඔබේ වචනෙවත් මහලේකම්වරු ගණන් ගන්නේ නෑ නේද?

පක්ෂයේ මහලේකම්වරු කරන ප්‍රකාශ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ යම් කැළඹිලි ස්වාභාවයක් ඇති වෙලා තියෙනවා. එ්ක කියන්න ඕන. රටේ ජනතාව පවා කතාවෙන දෙයක්.

ඔබ හිතන විදිහට මොකක්ද මේකට පිළියම?

එක්කෝ ඔය ලේකම්වරු පරිණතභාවයෙන් වැඩ කරන්න ඕන. නැත්‍තන් එකතුවීමේ අභිලාෂයෙන් වැඩ කරන්න ඕන. අපිට හිතෙනවා ජනාධිපතිතුමාගේ අදහස්වලින් තොරව හැසිරෙනවද කියලා ඒ අය කරන ප්‍රකාශ නිසා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශ කරන්නේ නෑ. එතුමටත් අවශ්‍ය කරන්නේ පක්ෂය සමගි කරගෙන ඉන්න.

ජනාධිපතිතුමා නොමඟ යවන පක්ෂයේ මහලේකම්වරු ඉන්නවා කියලද ඔබ කියන්නේ?

ජනාධිපතිතුමා එක ප්‍රකාශයක් කරනකොට මේ අය තව ප්‍රකාශයක් කරනවා. පක්ෂයක තීන්දු තීරණ ගන්න ඕන පක්ෂයේ සභාපති එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාව. මේ අය යම් යම් ප්‍රකාශ කරනවා තීන්දු අරගෙන මේ ලේකම්වරුන්ට අයිතියක් නෑ එහෙම කරන්න.

මේ කාරණාවෙදී හොඳම තැන තමයි පසුගියදා කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් සංවිධායක කමින් ඉවත් කිරීම. මොකද මේ වෙන්නේ?

ඒක නම් මටත් තේරුම් ගන්න බැරි දෙයක්. 

ඕවයින් වෙන්නේ ශ්‍රී ලංකා කාරයන්ට හොඳ ප්‍රාදේශීය නායකයො නැතිවෙන එකනේ?

ඔව්. ඒ නිසයි මම ප්‍රකාශයක් කළේ. මේ වැඩේ පක්ෂයට හානිකරයි.

මහින්ද පාර්ශ්වය කියන්නේ එක්සත් ජාතික පක්ෂය අත්අරින්න කියලා. ඒත් ජනාධිපතිතුමා ඒකට සූදානම් නෑ. මේකෙන් වෙන්නේ අර පොහොට්ටුව ප්‍රබල වෙන එක නොවෙයිද?

ජනාධිපතිතුමාට එජාපය අත්හරින එක අමාරු කාර්යයක්. ඒ එජාපයේ සහය දුන්න නිසා. දෙවැනි කාරණය එතුමා ආවත් මේ ඉන්න පිරිසත් එක්ක ශ්‍රී ලංකා ආණ්ඩුවක් පිහිටුවන්න හරි අමාරු තත්ත්වයක් තියෙන්නේ. රජයක් කරගෙන යන්න අමාරුයි. ඒත් ශ්‍රී ලංකා පාක්ෂිකයෝ විරුද්ධයි එජාපය එක්ක එකට ඉන්නවට. ඒ වගේම ඔවුන්ට තිබ්බ බලාපොරොත්තුවක් තමයි අපිට ආණ්ඩුවට ගිහින් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩකරන්න දුන්නේ නෑ. කොහොම වුණත් සම්මුති ආණ්ඩුවේ වගකීම ගැන උවමනාව තියෙන්නේ අගමැතිතුමාට විතරයි. යම් ප්‍රශ්නයක් ආවොත් අපි ඒ ප්‍රශ්නය අගමැතිතුමාට යොමු කළොත් අවංකව එතුමා ප්‍රශ්නය විසඳනවා. ඒක මම අවංකව කියන්න ඕන. එතුමා හැරෙනකොට වෙන කිසිම කෙනෙක් අපි සම්මුති ආණ්ඩුවක ඉන්නේ කියලා හිතලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නෙ නෑ. ඒකට ඕන තරම් උදාහරණ කියන්න තියෙනවා.

මේ හැම ප්‍රශ්නයක් අස්සෙන්ම ලකුණු වැටෙන්නේ මහින්ද රාජපක්ෂටද?

ඒ කියන්නේ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනී. ඒ නිසයි මම කියන්නේ නායකයෝ දෙන්න එකතු වෙන්න ඕන. දෙන්න එකට වාඩිවෙලා සාකච්ඡා කරලා ජනාධිපතිතුමා ආණ්ඩුව ගෙනියද්දි අනෙක් අය පක්ෂය නගා සිටුවන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕන.

මහින්ද රාජපක්ෂ ජනප්‍රිය වෙනකොට පක්ෂ හදන එක කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඇති තරමට නඩු නම් දෙනවා නේද?

සාමාන්‍යයෙන් ඕනම ආණ්ඩුවක් විපක්ෂයේ නායකයෙක් ජනප්‍රිය වෙනවට අකමැතිනේ.

ඇත්තද ශ්‍රිලනිපයට කැබිනට් එකේ හඬක් නෑ කියන්නේ?

එවැනි තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලයට වඩා ආණ්ඩුව ඇතුළේ ශ්‍රිලනිප අපිට තැනක් නෑ. අදහසකට ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ඉක්මනට ඉවත් වෙලා පක්ෂය සකස් කරමු කියලා.

හැබැයි ඔබට සැලකුවේ මහින්දට වඩා මෛත්‍රී නේද?

ඒක මට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.

ඔබ බලාපොරොත්තුවුණු සබරගමු සංවර්ධන අමාත්‍යංශය දුන්නේ මෛත්‍රීනේ.

ඇත්තටම එවැනි අමාත්‍යංශයක්දීම ගැන මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මම එතුමාට කිව්වා ප්‍රදේශයට සේවය කරන්න පුළුවන් අමාත්‍යංශයක් දෙන්න කියලා. ඒ අනුව තමයි එතුමා දුන්නේ. ඒත් ලබන අයවැයෙන් මුදලක් එකතුකරන තුරු මට මුකුත් කරන්න බෑ. මුදල් නෑ ඒකයි.

ආණ්ඩුවට එල්ලවන ලොකුම චෝදනාව තමයි බැඳුම්කර සිද්ධිය. විපක්ෂය කියන්නේ මේකේ පරීක්ෂණ කොමිසමට පමණක් සීමාවෙයි කියලා.
නෑ මම හිතන්නේ නෑ. මේ ගැන හොයන්න ශ්‍රිලනිප කමිටුවක් පත්කළා. ඒකේ මමත් හිටියා එතනදී තහවුරු වුණා විශාල පාඩුවක් වෙලා තියෙනවා කියලා. ඒ නිසයි අපි එතුමට කිව්වේ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒ කොමිසමේ වා‍ර්තා අනුව ඉදිරියේ නීතිමය පියවර ගනී.

විපක්ෂයෙන් කියන්නේ මේ අපරාධයට ඔබලත් වගකියන්න ඕන කියලා. මොකද මේ ආණ්ඩුවේ ඇමතිකම් ඔබලා දැරුවනේ.

අපි ඇමැතිකම් ගත්තේ පක්ෂයේ තීන්දුව මත. ඒ වසර දෙකක කාලයට. එම කාලය ඉවර නිසා තමයි අපි යමු කියලා කිව්වේ. සමහර අය ඉන්නවා වෙන ආකාරවලින් ඇමැතිකම් ගත්ත කට්ටිය. අපි නම් ජනතා ඡන්දයෙන් ආවේ.

ඡන්දය කල්දාන නිසයි ඔබලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙනවා කිව්වේ ඒත් පස්සේ පළාත් සභා ඡන්ද කල්දාන පනතට ඡන්දය දුන්න?

ඔව් දුන්නා. අපි මුල ඉඳල කිව්වා පළාත් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නම ඕන කියලා. ඒ වෙනස ගේනකොට අපිට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසයි දෙන්නේ.

පහුගිය කාලේ චෝදනාවක් ආවා සමහර ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ කියලා. ඔබත් එහෙමද?

මම මගේ වැඩටික කරනවා. ඇමතිවරයකු හැටියටත් ශ්‍රිලනිප අයකු හැටියටත්. මම ඒ පැත්තෙයි මේ පැත්තෙයි නෑ. කවදා හරි යනවා නම් කකුල් දෙකම අරගෙන ඒ පැත්තටම යනවා.

මහින්ද රාජපක්ෂ කකුල් දෙකම අරගෙන එන්න කිව්වෙ නැද්ද?

කකුල් දෙක මේ පැත්තේ තියෙන්නේ කියලා එයත් දන්නවා.

දැන් කවද්ද ශ්‍රිලනිප ආණ්ඩුවක් එන්නේ?

අපි එන්නේ ඡන්දයෙන්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. කුමන්ත්‍රණ කරලා ආණ්ඩු පිහිටුවන්නේ නෑ. අපි විස්සයි විස්ස ඡන්දය ගැනයි හිතන්න ඕන.

2020 ඡන්දයට මෛත්‍රීපාල ජනාධිපතිවරයා එකතු වෙනවා කියලා ශ්‍රිලනිපය කියනවා. ඒත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ නැවත එන්නේ නෑ කියලා.

එතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි වෙන්නේ. ශ්‍රිලනිපය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕන කියලා. එතනදී ශ්‍රිලනිප මතය තමයි ඔය අදහස.

ඔබ පහුගිය කාලේ ලොකු උත්සාහයක් ගත්ත ගෝඨාභයව ශ්‍රීලනිපයට ගන්න. මොකද ඒකට වුණේ?

(සිනාසෙයි) ගෝඨාභය යුද්ධයේදී විශාල සේවාවක් කරපු කෙනෙක්. මේ රටේ මධ්‍යස්ථ මතධාරියකු වශයෙන් විසඳුම් සොයන්න පුළුවන් කෙනෙක්. ඒක නිසයි මම කිව්වේ ශ්‍රිලනිපයේ ඉන්න සමහර අයගේ වැරදි එක්ක බලද්දි ඒ අවස්ථාවේ ගෝඨාභයව පක්ෂයට අරගෙන යම් තනතුරක් දෙමු කියලා. ඒ හරහා දෙවැනි නායකයකු කරමු කිව්වේ.

දැන් වැඩේ හරිද?

ඒ ප්‍රකාශය නිසා තමයි ගෝඨාභය ගැන දේශපාලන ඇහින් බලන්න ගත්තේ. දැන් ගෝඨාභය එක්ක රටේ පිරිසක් අනුගතවෙලා ඉන්නේ ඒ නිසයි.

ඒ කියන්නේ ගෝඨාභය රටේ ජනාධිපති හරි අගමැති හරි කරනවා ඔබලා?

ඒක කියන්න බෑ. පක්ෂයක් හැටියට තීරණය ගන්නේ.

ඇයි වෙන අය අගමැති කරන්න හදන්නේ ඔබත් හොඳ සුදුස්සෙක් නේ?

අනේ නෑ මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ.

ගයාන් ගාල්ලගේ